වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩ් සිනමාව රෝහලයි සිර ගෙදරයි

බොලිවුඩ් සිනමාව රෝහලයි සිර ගෙදරයි

සිරගෙය හා ශල්‍යාගාරය මේ දිනවල බොලිවුඩ් තරු හා තාරකාවන්ගේ නේවාසිකාගාර බවට පත් වෙමින් පවතින පාටය. සංජේ දත් සිරබත් කෑමට පටන්ගෙන තවමත් ගත වී ඇත්තේ කෙටි කාලයකි. සල්මන් ඛාන් සිටින්නේ නඩු තීන්දුවක් අබියසය.

මේ නාමාවලියට අලුතින් එක්වන තාරකාව දකුණු ඉන්දීය නිළි ලීනා මාරියා පෝල්ය. නවදිල්ලියේදී ඇය අත් අඩංගුවට ගෙන ඇත්තේ බැංකුවකින් හා මිනිසුන්ගෙන් කෝටි ගණනක මුදල් වංචාකාරී ලෙසින් ලබා ගැනීම නිසයි.

ලීනා වඩාත් ප්‍රකට ද්‍රවිඩ හා මලයාලම් සිනමා තාරකාවක් ලෙසටයි. මෑතකදී ඇය බොලිවුඩයට ද සම්බන්ධ වූවාය. ඒ ජෝන් ඒබ්‍රහම්ගේ ‘මැඩ‍්‍රාස් කැෆේ’ සිනමාපටයේ රඟපෑම නිසයි.

දිල්ලි පොලිසිය ලීනා අත් අඩංගුවට ගෙන ඇත්තේ නිවෙසේ පැවැත්වෙන සාදයකට ඇය කාර්යබහුල වෙමින් සිටියදීය. ඇය සමඟ එකට ජීවත්වෙන බලාජි ද මේ වරදට හවුල්කරවකු වන නමුත් පොලිසියට ඔහු අත් අඩංගුවට ගැනීමට හැකි වී නැත.

චෙන්නායිවලදී ද දෙදෙනා ජනතාවට වංචාකර ඇති අතර ඉහළ දේශපාලන නායකත්වයන් සමඟ පවත්වන සමීප සබඳතා නිසා සියල්ල අළුයට සැඟවුණු ගිනි පුපුරක් සේ සඟවාගෙන සිටි බව ලොවට රහසක් නොවීය.

ලීනා වැන්නියන්ගේ මෙවැනි ක්‍රියා කලාපයන්ගෙන් ප්‍රේක්ෂකයන්ට සිතා ගැනීමට ඇත්තේ ඔවුන්ගේ චෞර රංගනයන් තිරයට පමණක් සීමා නොවන බවයි.

රන්බීර් කපූර්ගේ හද පෑරූ සැත්කමින් රසිකයන්ගේ සිත් සුවපත් වූවා පමණි. ඊළඟට සැත්කම් ලේඛනයට එක් වූ තරුව වී සිටින්නේ සුපිරි නළු ෂාරුක් ඛාන්ය.

පසුගිය දා ෂාරුක් ඛාන් මූම්බායිහි ලීලාවතී රෝහලට ඇතුළත් වූයේ උරහිස් සැත්කමකට ලක්වීමටයි. රසික රසිකාවන් රෝහලින් පිටත සිට ෂාරුක්ට හදවතින්ම ඉක්මන් සුවය පතද්දී, එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබන පුතුª ආර්යන්, දියණිය සුහානා සහ ගෞරී ෂාරුක් සමීපයෙන්ම සිටියහ.

රා.වන් රූගත කිරීමේදී ෂාරුක්ගේ දකුණු උරහිසේ මාංසපේශියක් ඉරී ගොස් තිබේ. ඔහුට සැත්කමට ලක්වෙන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී තිබෙන්නේ මීට හය මාසයකට පෙරදීය. එහෙත් දම්වැලක් මෙන් එකට බැඳුණු රූගත කිරීම් නිසා ෂාරුක්ට සැත්කමකට තබා හුස්ම ගැනීමකටවත් ඉඩක් ලැබුණේ නැත. එහෙත් පමා කිරීමේ නොසැලැකිල්ලට ෂාරුක්ට පුරා මාස හයක් මුළුල්ලේම වේදනාවෙන් වන්දි ගෙවීමට සිදු විය.

මුලදී ෂාරුක් සැත්කම සඳහා ලන්ඩනයට යාමට සිටියත් පසුව ඉන්දියාවේ ලීලාවතී රෝහලේදී සැත්කම සිදු කරන ලදී.

ෂාරුක් පසුගියදා කාර්යයබහුල වී සිටියේ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සමඟයි. ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ රූගත කිරීමේදී දකුණු උරහිස දරාගත නොහැකි තරමට දරුණු ලෙසින් වේදනාවට පත් විය. ෂාරුක්ගේ වම් උරහිස ද දුර්වලය. මීට කලකට පෙර වම් උරහිස ද සැත්කමකට ලක්කර තිබේ. නර්තන හා සටන් ජවනිකාවලදී ෂාරුක් මේ වේදනාකාරී දෑත් නිසා ඇති තරම් පීඩා වින්දේය. ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ ෂාරුක්ගේ 2013 වසරේ බලාපොරොත්තුවයි. ඔහු එතරම් වේදනාවක් විඳ තිබෙන්නේ එනිසාය.

ඈෂ් රන්බීර්ට පෙම් බැඳ

ඓශ්වර්යාගේ සිනමා ජීවිතයේ දෙවැනි ගමන ඇරැඹෙන්නට ආසන්නය. මේ නව ඇරැඹුමේදී ඇයගේ සුපෙම්වතා වන්නේ ළාබාල රන්බීර් කපූර්ය.

ඈෂ්, කවදත් රන්බීර්ගේ රංගනයට පෙම් බැඳී ලලනාවකි. එනිසාම ඈෂ් තිර රචනය කියවා රංගනයට දින නියම වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින බව කියවේ. මේ ප්‍රේම වෘතාන්තය ආදිත්‍ය චොප්රාගේ සිතෙහි ඇඳුණු ආදර සිහිනයකි.

ප්‍රියංකාගේ බොක්සිං

සිනමා රූගත කිරීම් නිසා සුපිරි තරුවකගේ දෑත් සැත්කමකට ලක්වෙද්දී තවත් සුපිරි තාරකාවකගේ දෑත් සවිමත් වන්නේ ද සිනමාපටයක් වෙනුවෙනි. ඒ අන් කිසිවකු නොව ෂාරුක්ගේ සමීපම හිතවතියක ලෙස කටකතාවකට ද ලක් වී සිටින ප්‍රියංකා චොප්රාය.

මේරි කොම්ගේ චරිතය රූගත කිරීමට තවත් වැඩි කාලයක් නැත. සිනමාපටයේ මේරි කොම් වෙන ප්‍රියංකා මේ දිනවල තම මාංසපේශී වර්ධනය කරගැනීමට යුහුසුළුව වෙහෙසෙන්නීය. මේරි කොම්ගේ චරිතය සඳහා ප්‍රියංකා සහ කත්‍රිනා අතර ද්වන්ධ සටනක් පැවතුණු බවට රාවයක් පවතී. කෙසේ වෙතත් සටනෙහි ජය ලැබී ඇත්තේ විවිධ චරිත නිරූපණයට අති දක්ෂ ප්‍රියංකාටය.

මේරි කොම් බොක්සිං ක්‍රීඩාවට ලෝක ශූරතා පහක්ම දිනූ රටේ පරමාදර්ශී කාන්තා චරිතයකි. ඒ චරිතය ප්‍රියංකා ජීවමාන කරනු නම් නිසැකයි. ඒ තවත් සම්මානයක් පිළිබඳ බලාපොරොත්තු ද දල්වමිනි.