වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට ගීත පමණක් ගයන අපේ අපූරු සංගීත කණ්ඩායම

චිත්‍රපට ගීත පමණක් ගයන අපේ අපූරු සංගීත කණ්ඩායම

වීණාධාරී ගැන අපූරු කතා

මේ සටහන ලියැවනුයේ සංගීත කණ්ඩායමක් ගැනය. එය හුදෙක් අප නිතර නෙත ගැටෙන වර්ගයට අයත් නොවන එකකි. තවදුරටත් හඳුන්වා දුන්නොත් මෙවන් වූ සංගීත කණ්ඩායමක් මෙරට ඇත්නම් ඒ මෙය පමණි.

වීණාධාරි.

මේ ඒ අපූරු සංගීත කණ්ඩායමේ නමය.

වීණාධාරියෝ ගයන්නේ වයන්නේ චිත්‍රපට ගීත පමණකි. එහෙයින් ලංකාවේ ප්‍රථම සහ එකම සිනමා සංගීත කණ්ඩායම යැයි මෙයට විරුදාවලියක් තැබුවහොත් වරදක් නැත. කණ්ඩායම් සංගීතයේ නව නැම්මක් ඇති කළ වීණාධාරී බිහි වූයේ ලලිත් නවමුණි ආරච්චිගේ සිතෙහිය. ඔහු මෙහි නායකත්වය ගෙන කටයුතු කරන්නේය.

වීණාධාරී මැවුණු අන්දම සහ ඒ කණ්ඩායම ගැන තවත් විස්තර ලලිත් සරසවිය සමඟ බෙදා ගත්තේ මේ අයුරිනි.

මගේ ගම අනුරාධපුර, විජයපුර. අපේ ගෙදර වැඩිහිටියෝ අපව රැගෙන සතියකට සැරයක් චිත්‍රපට බලන්න එක්කගෙන යනවා. ඉස්සර හැදුණු චිත්‍රපට ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. පුදුම ලස්සනක් ඒවායේ තිබුණේ. ගීතත් ඊට දෙවෙනි නැහැ. කාලයක් තිස්සේ මෙහෙම චිත්‍රපට බලපුවාම ඒ කෙරෙහි මසිත ඇදිලා ගියේ නොදැනුවත්වමයි. විශේෂයෙන් චිත්‍රපටවල ගීතවලටයි වඩාත් ප්‍රිය කළේ.

මං ඔබේ කතාවට පුංචි බාධා කිරීමක් කරනවා. බහුතරයකට චිත්‍රපට නරඹා ඇති වන්නේ නළු පිස්සුවක්. ඔබට එහෙම සිතුණේ නැතිද?

ඇත්තම කිව්වොත් කවදාවත් නළුවකු වන්න හිතුවේ නැහැ. ගීතවලටයි ඇලුම් කළේ.

හරි දැන් කියාගෙන ආපු කතාවේ ඉතිරිය කියමුකෝ.

ඉස්සර චිත්‍රපට අවසන් වුණාම එහි ගීත අඩංගු පොත් පිංචක් විකුණනවා. ඒක ගෙදර අය මට අරන් දෙන්නේ නැහැ. ඉතින් මං ගෙදරට හොරෙන් බේකරිවල වැඩ කරලා සල්ලි හොයාගෙන ඒ පොත ගන්නවා. ඔන්න ඔය කාලෙදිමයි චිත්‍රපට ගීත පමණක් ගයන සංගීත කණ්ඩායම ගැන මුල් වස්තුªබීජය සිතේඇති වුණේ. මේ කියන්නේ අසූව දශකයේ මුල් කාලයේ සිදුවීමක්.

ඊට පස්සේ?

අධ්‍යාපන වැඩ කටයුතුවලින් අනතුරුව මං කොළඹ ආවා. වසර ගණනාවක් වෙනත් සංගීත කණ්ඩායම්වල හිටියා. ඒ අතරතුරදී වීණාධාරි නිර්මාණය කරන්න ප්ලෑන් කළා. හරියටම මීට අවුරුදු පහකට පමණ පෙර වීණාධාරී ඇරැඹියා.

ඔබ කරන්න හදන්නේ යම් අභියෝගාත්මක කාර්යයක් කියලා ඒ දවස්වල හිතුණේ නැතිද?

හිතුණා, හිතුණා. මොකද අපේ සංගීත ලෝලීන් සංගීත කණ්ඩායම් සහ ඒවා ගායනා කරන ගීත ගැන මවා ගත්තු චිත්‍රයක් තියනවා. ඒවා අතරට වීණාධාරී ආවොත් මොන වගේ පිළිගැනීමක් ඇතිිවේවිද කියලා හිතුණු වාර අනන්තයි. මන්ද යත් නව පරපුර් ජනප්‍රිය ගීත අප ගයන්නේ නැති නිසා. ඒත් කණ්ඩායම පටන් අරන් සති දෙක තුනකදී කන්දක් තරම් වැඩ ලැබුණා. ඒවායින් වැඩි හරියක් මංගල උත්සව.

මංගල උත්සවයකදී වීණාධාරි සඳහා මොන වගේ පිළිගැනිමක්ද ලැබෙන්නේ?

මංගල උත්සවයක් අවසන් වෙද්දී අනිවාර්යයෙන්ම ගයන්න ඕන දෙපයට. එතකොට අපි වේග රිද්මේ චිත්‍රපට ගීත ගයනවා. එතකොට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එක සැරයක් නියම වැඩක් වුණා. මංගල උත්සවයක් අවසානයේදී ස්තුති කතාවක් කරනවානේ. එදා මංගල පාර්ශවයේ අයකු නැගිට්ට ගමන් තුති පිදුවෙ වෙන කාටවත් නෙවෙයි අපට. ඒ වගේම එක සැරයක් ජෝතිපාලයන්ගේ දිය කිඳුරිය සේ සාගරේ ගීතය සැරින් සැරේ දහ වතාවක් ගයන්න වුණා.

වීණාධාරි, බොහොම සොඳුරු නමක් නේද?

මමම තමයි ඒ නම තිබ්බෙ. ඒකෙ තේරුම වීණාව දරන්නී. ඒ කියන්නේ සරස්වතී දේවිය.

ඇයි පැරැණි ගීතවලට වැඩිපුර ඉල්ලීමක් තියෙන්නේ?

මං හිතන්නේ ඔවුන් ඒ නිර්මාණ දරුවෙක් වගේ හදපු වඩපු නිසා වෙන්න ඇති. අපිත් ඒවා ගයද්දී මිනිස්සු හරිම ආසාවෙන් අහගෙන ඉන්නේ.

නව පරපුර් අය අනුන්ගේ ගීත ගැයීම ගැන කණ්ඩායමේ අදහස මොකක්ද?

පැරැණී දේ පැරැණි ආකාරයෙන් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ආදිවාසීන් ආදිවාසීන් හැටියට හිටියොත්නෙ අපි කැමැති. ඩෙනිම් ඇන්දොත් එයාලා ආදිවාසීන් නෙවෙයිනේ. අන්න ඒ වගේ තමයි ගීතත්.

ඒ වුණත් ඔබලාත් විකුණන්නේ අනුන්ගේ නිර්මාණ නොවෙයිද?

ඒකට මං මෙහෙම උත්තරයක් දෙන්නම්. අපි පැරැණි ගීත කියනවා මිසක ඒවා විනාශ කරන්නේ නැහැ. ඒවා ඒ අයුරින්මයි කියන්නේ. උදාහරණයක් කියන්නම් අප මේ වන විට පෞද්ගලික විලාසිතා මන්දිරයක සතිපතා ගයනවා. ඒක වටේම සවුන්ඩ් සිස්ටම් එකකින් අපි ගයන ඒවා ඇහෙනවා. එක්තරා පුද්ගලයෙක් වෙනත් තැනක ඉඳලා අපි ගයනවා අහලා ඔහු හිතලා තියෙන්නේ ඒක රෙකෝඩිං එකක් කියලා. ඊට පසුව අප හොයාගෙන ආවා. ඔහු ඉදිරියේ නැවතත් ඔහු පෙර ඇසූ ගීය ගයන්න වුණා. අනතුරුවයි ඔහු විශ්වාස කළේ ඒක අප ලයිව් ගයපු එකක් කියලා.

වීණාධාරිහි පිරිවර ගැනයි දැන් මං අහන්නේ?

මගේ නංගි ඉන්නවා. ඇය ගීතාංජලී නවමුණි ආරච්චි, සංජය සූරියආරච්චි, සනත් පුෂ්පකුමාර, ප්‍රභාත් නයන, බී. එම්. පියනන්ද. මෙහිදී පියනන්ද ගැන වචනයක් කතා කළ යුතුමයි. ඔහුට තියෙන්නේ ඉන්දියාවේ අසහාය ගායක මොහොමඩ් රාෆිගේ වොයිස් එක. අපි ඔහුගේ හඬ කැසට් එකකට අරගෙන මොහොමඩ් රාෆිට යැව්වා. ඒක ඔහු අහලා ඔහුගේම අත් අකුරින් ලියමනක් එව්වා ඔහුගේ උපන් දිනයකට ඇවිත් ගීත ගයන්න කියලා. පියනන්දගේ කටහඬ හරිම මිහිරියි. පැරැණි හින්දි චිත්‍රපට ගීත ගයන්න ඔහු රුසියෙක්. ඒ වගේම ජානක බෝදරගම මහත්මාවත් මතක් කරනවා. ඔහු අපට ගොඩක් උදවු කළා.

කාට හෝ වීණාධාරි සම්බන්ධ කරගන්න ඕන නම්?

0718490152 තමයි අපේ අංකය.