වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියාවේ මුල්ම සිනමා කමිටු වාර්තාව පිටු 3300යි
ඉන්දියානු සිනමා කතාව 19

ඉන්දියාවේ මුල්ම සිනමා කමිටු වාර්තාව පිටු 3300යි

1925 වසරේ දී ඉන්දියාවේ විසූ එංගලන්ත බිෂොප්වරයා ලන්ඩන් ටයිම්ස් පුවත්පතට ලිපියක් යැවීය.එහි සාරයවූයේ මෙපරිද්දෙනි.ඉන්දියාවට ආනයන වන සිනමා නිර්මාණ අතරින් විශේෂයෙන් අමෙරිකානු චිත්‍රපට බහුල වශයෙන් අන්තර් ගත කොට ගන්නේ මිනිමැරුම්,අපරාධ සහ දික්කසාදයන් හුවා දක්වන ඒවාය.එබැවින් මේ පිළිබඳ වහා පිළියම් සොයා ගත යුත්තේය. අමෙරිකානු චිත්‍රපටයන්ට එරෙහිව ඉන්දියාවේ පැණ නැගුණ විරෝධය හදිසි එකක් නොවිය. එහි මතවාදයන්ට පක්ෂව ඉන්දියානු නායකයන් පෙනී සිටිමේ වාසිය බ්‍රිතාන්‍ය පාලකයන් ලබා ගත්හ. එය ඇත්ත නම් ඔවුන් එමගින් එක ගලකින් කුරුල්ලන් දෙකක් නසා ගැනිමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමකි.

එයින් සිනමාව සම්බන්ධව කැපී පෙනෙන සිදුවීම නම් ඒ වන විට ඒ වනවිට ඉන්දියානු පමණක් නොව අධිරාජ්‍යයේ යටත් වැසියන් එංගලන්තයේ චිත්‍රපට වලට වඩා අමෙරිකානු චිත්‍රපට වලට වහ වැටෙමින් සිටිමය.මෙහි ප්‍රතිඵලය නම් 1927 වසරේ පිහිටුවනලද සිනමා විමර්ශණ කොමිසමය.මෙම කොමිසම වැදගත් පොලිස් නිළධාරියක්ගේ භූමිකාව රඟ දක්වනු ලැබුවේය.මේ වන විට ඉන්දියාවේ දේශපාලන වාතාවරණය අනුක්‍රමයෙන් වෙනස් වන ලකුණු පැහැදිලිව පෙනෙනන්ට තිබුණ යුගයයි.

එබැවින් එක් අතකින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව නැගි එන මතවාද වෙනස් කරලීමට ද මේ කොමිසම හරහා තීන්දු ගැනිමේ හැකියාව ඇති කරලන්නට බළධාරින් සිතා ගත්හ.එබැව්න් මදුරාසියේ සුපතළ නිතිවේදියකු වූ දිවාන් බහදූර් ටී.රංගචාරියර් මේ කොමිසමේ ප්‍රධානියා විය.පසු කලක දකණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නිෂ්පාදකයකු ව සිටි ( තී,වාල්වේ මායම්,බිල්ලා වැනි චිත්‍රපට රැසක් නිපද වූ) කේ.බාලාජි රංගචාරියර්ගේ මුණුබුරා විය.වර්තමාන චිත්‍රපට නිස්පාදක සුරේෂ් බාලාජි ගේ මුත්තා විය.රංගචාරියර් හැරුණු විට ඉන්දියානු මෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් ද එහි සාමාජිකයන් වූහ.

කමිටුව ඉන්දියානු සිනමා කර්මාන්තය පිළිබද ආදරයෙන් පත් කරන්නක් නොවූවත් රංගචාරියර් සිය රට වෙනුවෙන් යුතුකම ඉටු කළේ එදා මෙන්ම අදත් ඉතා වැදගත් සිනමා කමිටු වාර්තාවක් එළි දක්වමිනි.කමිටුව හමුවේ සාක්ෂි දීම සදහා 4325 ක් කැඳවූ අතර එයින් ප්‍රධාන වශයෙන් 353 දෙනෙක්ම ඉන්දියානු සිනමාවේ එම අවදියේ කැපි පෙනෙන චරිත විය. කමිටුව සිය වාර්තාව එළි දැක්වීමට මත්තෙන් චිත්‍රාගාර 13ක් ද සිනමාහල් 45 ක්ද අලුත්ම චිත්‍රපට 56 ක් ද නිරීක්ෂණය කළහ.මේ අතරින් 21 ක් ම ඉන්දියානු චිත්‍රපට විය.

රංගචාරියර් කමිටු වාර්තාව මුද්‍රිත පිටු 3300කින් යුක්ත විය.කමිටුවේ සාක්ෂි දීම සදහා මුලින්ම කැදවන ලද්දේ ඉන්දියානු සිනමාවේ පියානන් වන ඩී.ජේ පාල්කේය.ඔහුගෙන් විමසන ලද මුල්ම ප්‍රශ්ණය වූයේ වර්තමාන ඉන්දියානු සිනමාව පිළිබද ඔහුගේ අදහස කවරක්ද යන්නයි. මුල්ම ඉන්දියානු චිත්‍රපටය රාජා හරිශ්චන්ද්‍ර නිපදවා ඒ වන විට වසර 14 ක් ගත වුවද ඉන්දියානු සිනමා කර්මාන්තය ගොඩ නැගෙන්නට පටන් අරන් වසර දහයක් වත් හරිහැටී ගෙවි නැත.පාල්කේ සිය මුල්ම පිළිතුර ලෙස දක්ව සිටිනුයේ ඒ වන විට ඉන්දියානු සිනමාවේ තත්වය යහපත් නොවන බවකි.එහි කාර්මික තත්වය හෝ නළු නිළියන්ගේ රංගනය පිළිබඳ හෝ අන්තර්ගතය හෝ පිළිබඳ තමන් කිසිසේත් සෑහිමකට පත් නොවන බවය.

එයට පිළියම ලෙස ඔහු ඉල්ලා පවසන්නේ සිනමාව ඉගෙන ගන්නට ඉන්දියාවට පාසලක් අවශ්‍ය බවය.එමෙන්ම ඒ වන විට පවතින සිනමාව මිනිසුන්ගේ ආකල්ප නරක් කරන්නක් බැව් ඔහු පවසයි. එහෙත් ඔහු චිත්‍රපට වාරණ මන්ඩලයක අදහස ප්‍රත්ක්ෂප කරයි.ඒ වෙනුවට ඔහු චිත්‍රපට තත්වය විභාග කරන මණ්ඩලයක් ඉල්ලා සිටී. ඔහු එමගින් බලාපොරොත්තු වනුයේ වාරණයක් නොව වර්ගීකරණයකි.

මේ වනවිට ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය විදේශ නළුවන් වනුයේ ඩග්ලස් ෆෙයාර්බෑන්ක්,චාලි චැප්ලින් සහ හැරල්ඩ් ලොයිඩ් ය. එහෙත් ඉන්දියානු ගැහැණු බොහෝ විට නැරඹුවේ දේව කතා සහිත චිත්‍රපයටයන්ය. එවුන් බහුතරය චිත්‍රපට නරඹන්නේ පවුලේ සාමාජිකයන් සමගය. එහෙත් සාපේක්ෂව ගත් කළ වඩා හොඳ සිනමාහල් ප්‍රදර්ශණය කරන ලද්දේ බටහිර චිත්‍රපට පමණී. ඉන්දියානු චිත්‍රපට සදහා හොඳ වෙළද පොලක් ඒ වන විට ඉන්දියාව ඇතුළත වර්ධනය වුව ද සිනමා ශාලා සම්බන්ධව ගත් කළ එය හොඳ තත්වයක නොවීය.

ඉන්දියානු සිනමා කමිටුව හමුවේ සාක්ෂි දෙන බොම්බායේ සිනමාහල් හිමියකු කියා සිටිනුයේ ඉන්දියානු චිත්‍රපට තිර ගත වද්දී තමන්ගේ සිනමාහල් වලට හානි සිදු වන හැටි විස්තර කරන්නේ මෙපරිද්දෙනි."මා ලංකා දහන් චිත්‍රපට තිර ගත කරද්දී එයින් එක් සතියක් ඇතුළත රුපියල් දහ අට දහසක් ආදායමක් ලැබුවා. හැබැයි ඒ මුළු මුදලම සිනමාහල අලුත් වැඩියා කරන්නට මට වැය වුණා.අපේ ඉන්දියානුවන් බුලත් කෙළ ගසමින් සිනමාහල ඉතා අපවිත්‍ර කළා.එමෙන්ම ඔවුන් චිත්‍රපටයක් නරඹන්නට පැමිණි පසු හරියට හැසිරෙන්නට වත් දන්නේ නැහැ.ඔවුන් සමග ගැටෙන්නටත් මට සිදු වුණා. එබැවින් මා එතැන් පටන් ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශණය නතර කළා.දැන් මට හොද ආදායමක් වගේම සිනමාහලේ නඩත්තුවත් පහසුයි.'

මේ සාක්ෂිය පිළිබඳ රංගචාරියර් සිය කමිටු වාර්තාවේ කියා සිටිනුයේ තමන්ගේ රටේ සිනමාව තමන්ගේ හොඳම සිනමාහල් මගින් ප්‍රත්ක්ෂප කරවීම නැවත සළකා බැලිය යුතු කාරණාවක් බවය.එමෙන්ම චිත්‍රපට කර්මාන්තයේ ආයොජනයන් තවමත් සුරක්ෂිත නොවන බව මේ කමිටු වාර්තාව කියා සිටී.එමෙන්ම චිත්‍රපට කර්මාන්තයෙන් ලාබ උපයන්නන් පවා දෙවන වර යළි ආයෝජනයක් සදහා සළකා බලනුයේ කලාතුරකින් බවත් එමගින් හෙළි දරව් කෙට කියා සිටියි.

මේ හේතුවෙන් ඉන්දියානු සිනමාව ට බොහෝ දෙනා ආයෝජනය කරන්නට පුරුදුව සිටිනුයේ කළු සල්ලි සුදු කිරීමේ අභිලාෂයෙන් බවත් එය දීර්ඝ කාලිනව මෙන් කෙටි කාලිනව අන්තරාදායක බැව් වාර්තාව කියා සිටියි.මේ පිලිබඳව ඉම්පිරියල් ෆිල්ම් වෙනුවෙන් සාක්ෂියට පැමිනෙන අර්දේශර් එම්.අයිරානි ගෙන් කමිටුව ප්‍රශ්න කරයි.අයිරානී එයට පිළිතුරක් ලෙස ගෙන එන්නේ රජය ඉන්දියානු සිනමා කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීම අත්‍යාවශ්‍ය බවය.

ඒ වෙන විටත් ඉන්දියානු සිනමා කර්මාන්තය පවතිනුයේ ළදරු අවධියේ බැව් අයිරානිගේ මතයයි. එබැවින් ඉන්දියානු සිනමා කර්මාන්තය සදහා ක්‍රමවත් ආයෝජන සැලැස්මක් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.එමෙන්ම මේ කර්මාන්තය හමුවේ සාක්ෂි දෙන සිනමා කර්මාන්තයේ බොහෝ දෙනාගේ මතය වනුයේ 1916 වසරේ එංගලන්තයේ සිනමා රැඟුම් පාලක පනත උපයෝගි කරගනිමින් තැනුනු ඉන්දියාවේ සිනමා වාරණ නීති තව දුරටත් වළංගු විය යුතු නැති බවයි.මේ සම්බන්ධයෙන් ඉන්දියානු චිත්‍රපට වෙළද සහ සිනමාහල් සංගමයේ සාමාජික ආර්.සී.එස් බරුචා,මදාන් ෆිල්ම්ස් වෙනුවෙන් ජේ.ජේ.මදාන් සහ එන්.සී.ලහිරේ වැදගත් හෙළිදරව් කිරීම් වල යෙදෙති.

බ්‍රිතාන්‍ය සිනමා පනත අනුගමනය කළ ද බ්‍රිතාන්‍ය චිත්‍රපටයන් වූ චයිනිස් බංග්ලෝ,ද ඉලෙවන් කමන්ඩ්මන්ට්ස්. සහ ට්‍රයම්ප් ඔෆ් ද රැට් යන චිත්‍රපට එංගලන්තයේ දී තහනම් වුව ද ඉන්දියාවේ ඒවා තහනම් නොවූ අයුරු පෙන්වා දෙයි.එමගින් ඔවුහු අවධාරණය කරනුයේ රැඟුම් පාලක මණ්ඩලයේ දෙබිඩි පිළිවෙතයි.බරුචා ඉන්දියාවේ දී ඉන්දියානු සිනමා කෘති වෙනුවට බ්‍රිතාන්‍යයන් සිය චිත්‍රපට ප්‍රදර්ශණයට වැඩි ඉඩක් ලබා දෙන බැව් පෙන්වා දීමට සමත් විය.ඔහුගේ මතය අනුව බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ දී තුන් වේලටම ඉංග්‍රීසි චිත්‍රපට ප්‍රදර්ශණය කරවන බවය.

ඉන්දියානු සිනමා කමිටු වාර්තාව සිය නිගමනයන් අතර පෙන්වා දෙන තවත් කරුණක් වූයේ සිනමා කර්මාන්තයෙන් රජය විශාල ආදායමක් ලබන්නට සමත් වන නමුත් ඒ වෙනුවෙන් පෙරළා තඹ දොයිත්තුවක හෝ ප්‍රති උපකාරයක් නොකරන බවය.ඉන්දියානු සිනමාව පවතිනුයේ ව්‍යාපාරිකයන්ගේ හැකියාව මත විනා රජයේ උපකාරයෙන් නොවන බව එය හකුළා දක්වයි.ඉන්දියානු සිනමාවේ කර්මාන්තයට සහ උපදේශණයට වර්ධනයට සහ මග පෙන්වීමට රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බැව් කමිටු වාර්තාව අවධාරණය කළේය.

එමෙන්ම වඩා නවින සිනමාහල් ඉදිකිරිමටත් සංචාරක සිනමාහල් පිළිබඳ සොයා බැලීමත් එමෙන්ම ඒවායේ වැඩි දියුණුවත් චිත්‍රපට නිෂ්පාදනය සදහා රාජ්‍ය ණය පහසුකම් සැපයිය යුතු ආකාරයත් කියා සිටින්නේ ද සිනමා කමිටු වාර්තාවයි.එමෙන්ම චිත්‍රපට සඳහා ත්‍යාග ප්‍රදානොත්සවයක් මෙන්ම සිනමා සංරක්ෂනාගාරයක් ද ඉන්දියාවේ ආරම්භ කළ යුතු වග ද එහි සටහන් වෙයි.එමෙන්ම දළ සේයා පටල ඇතුළු චිත්‍රපට කර්මාන්තයට අවශ්‍ය ආනයන ද්‍රව්‍ය තීරු බද්දෙන් නිදහස් කළ යුතු වගද කමිටුව නිර්දේශ කරයි.එමෙන්ම ආදායම් නොලබන නමුත් ඉතා වැදගත් වාර්තා හා අධ්‍යාපනික චිත්‍රපට නිපදවීම සඳහා රජය වහා මැදිහත් විය යුතු ආකාරය පිළිබඳ එහි පෙන්වා දෙයි.

ඉන්දියාවේ සිනමා වාරණය වඩා ලිබරල් ප්‍රතිපත්තියක් ඇසුරෙන් යළි ගොඩ නැංවිය යුතු බව කමිටුවේ අදහස ව තිබිණ.ඉන්දියාවේ කොයි යම්ම කෙනෙකු හෝ චිත්‍රපට නරඹන්නට යන්නේ පාඩම් ඉගෙන ගැනීමට නොවේ. ප්‍රංශ විප්ලවය පිළිබඳ ඇති සිනමා කෘතියක් නරඔන්නට යන ප්‍රෙක්ෂකයා එයින් මත්ව විප්ලවයක් කරන්නට සැරසෙනු ඇතැයි සිතීම මුලාවකි. එහෙත් අමෙරිකානු චිත්‍රපට වුවමනාවටත් වඩා ප්‍රදර්ශණය මගින් සිනමා කර්මාන්තයටත් සාමාන්‍ය මිනිස් ආකල්ප වලටත් යම් බලපෑමක් එල්ල වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.එහෙත් සමහර අමෙරිකානු චිත්‍රපට වලව වඩා බ්‍රිතාන්‍යයෙන් සහ යුරෝපයෙන් ආනයන චිත්‍රපට දුර්වල සහ පහත් ඒවා බවත් සඳහන් කළ යුතුය.

එමෙන්ම විදේශ චිත්‍රපට ප්‍රදර්ශකයන් අනිවාරයෙන්ම ඉන්දියානු චිත්‍රපට සදහා මෙයට වඩා සැළකිල්ලක් දැක්විය යුතුව ඇත.එහෙත් ඉන්දියානු සිනමා වාර්තාව පිළිබඳ රංගචාරියර් ගේ ආකල්ප කෙරෙහි එහි සාමාජිකයන් වූ යුරෝපියන්ගේ මතවාද සමග ගැටුම් ඇති විය. එහි ප්‍රතිඵලය වූයේ මේ කමිටු වාර්තාවේ නිගමනයන් ක්‍රියාත්මක කිරිමට බ්‍රිතාන්‍ය පාලකයන් එකඟ නොවීමය. එහෙත් මේ වාර්තාව අදටත් ලෝකයේ ඉතා වැදගත් සිනමා කමිටු වාර්තාවක් ලෙස සිනමා කර්මාන්තයෙහි සළකනු ලබති . ඒ වන විට ලොව පුරා පැවැති ආර්ථික අවපාතයත් ඊළඟට එළැඹි දෙවන ලෝක මහා යුද්ධයත් මේ කමිටු වාර්තාව කුණු මුල්ලට දැමීමේ හේතු ලෙස නිදහසට කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නට බළධාරින්ට උපකාරයක් වූයේය.

මේ කමිටුව හමුවේ සාක්ෂි දුන් වඩා වැදගත් පුද්ගලයකු වූයේ හිමන්සු රායිය. ඔහු චිත්‍රපට කර්මාන්තය පිළිබඳ ප්‍රමානික දැනුමකින් යුක්ත වූවා පමනක් නොව චිත්‍රපට නිෂ්පාදනය සහ බෙදාහැරීම පිළිබඳ විදේශ අත්දැකීම් ඇත්තෙකු විය.ඒ වන විට ඔහු එඩ්වින් ආනොල්ඩ් ගේ ලයිට් ඔෆ් ඒෂියා කෘතිය ඇසුරෙන් ප්‍රෙම් සන්‍යාස් හෙවත් ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටය නිපදවා අත්දැකීම් සපිරි මිනිසකතු ව සිටියේය.වංශවත් වංග ජාතික පවුලක සාමාජිකයකු වන හිමන්සු ට එංගලන්තයේ දී අපූරු නාටය්‍ය කරුවෙක් ව සිටි නිරන්ජන් පාල් මුණ ගැසින.

පාල්ගේ පියා බිපින් චන්ද්‍ර පාල් ඉන්දියානු නිදහස් සටනේ පුරෝගමියකු විය. ඔහු සිය පුත්‍රයා එංගලන්තයට යවනුයේ නීතිය හැදෑරීමටය. එහෙත් එහි සිටි ඉන්දියානු නිදහස් සටනේ ක්‍රියාකාරින් වූ විනයක් දමෝදර් සවර්කාර් සහ මදන්ලාල් දින්ග්‍රා ආදින් සමග සම්බන්ධ වන නිරන්ජන් එහිදී ද විරෝධතා ව්‍යාපාරයන්ගේ හවුල් කරුවක් වෙයි.1889 වසරේ උපන් නිරන්ජන් එංගලන්තයේ නාට්‍ය ලිවීම අරඹන අතර ඔහු ශ්‍රීමත් එඩ්වින් ආනොල්ඩ් විසින් බුද්ධ චරිතය පාදක කර ගනිමින් රචනා කරන ලද ලයිට් ඔෆ් ඒෂියා කෘතිය පාදක කර ගෙන එංගලන්තයේ දී නාට්‍යයක් නිර්මාණය කළේය.ඔහු රචනා කරන ලද තවත් නාට්‍යයක් වූයේ ශිරාස්ය. මේ නාට්‍යය ද්විත්වයම එංගලන්තයේ අතිශය ජනප්‍රිය වූයේය.

නීතිය හදාරන්නට එංගලන්තයට පැමිණි හිමන්සු මේ නාට්‍යයන් සදහා දායක වනුයේ නළුවකු හැටියටය. ඔහු මුලින්ම රඟපෑවේ නිරන්ජන් පාල් ගේ ගොඩස් නාට්‍යයේය. මේ නාට්‍යයේ හිමන්සුගේ රංගනය බොහෝදෙනාගේ කතාව බහට ලක් විය. එහි ප්‍රතිඵලය වූයේ නීතිය හැදෑරීම පැත්තකට දැමූ හිමන්සු තම ජීවිතයම රංගනය උදෙසා කැප කිරීමට තිරණය කිරීමය.ඔහු ලයිට් ඔෆ් ඒෂියා නට්‍යයේ රංගනයට දායක වනුයේ එයින් පසුය. මෙ නාට්‍ය පිටපත ඇසුරෙන් චිත්‍රපටයක් තැනීමේ අදහස අනුව ඔහු නිරන්ජන් රචනා කරන ලද පිටපතත් සමග ජර්මනියට ගියේ එහි ඒ වන විට නමක් දිනා සිටි ෆ්‍රාන්ස් ඔස්ටන් මුණ ගැසෙන්නටය.ෆ්‍රාන්ස් හා ඔහුගේ සොහොයුරා පීටර් මුලින් සිනමාවට පිවසෙනුයේ ජංගම සිනමා ශිල්පින් හැටියටය.

මතු සම්බන්ධයි


පසුගිය සතියේ පළ වූ මෙම ලිපියේ සංස්කරණයේදී අත්‍යවශ්‍ය කරුණු කිහිපියක් බැහැරව ගිය බැවින් දේශීය සිනමා සන්ධානයේ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙලෙස පළ කරයි

ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ස්ථාපිත කරන ලදුවගරු අධිකරණය විසින් තහවුරු කරන ලද චිත්‍රපට පිටපත් 35 සීමාව වෙනස් කිරීම අනුමත නොකිරීම

සිනමා කර්මාන්තයේ ගැටලු පිළිබඳ 2012 වසරේ මැයි මස දේශීය සිනමා ශිල්පීන්ගේ විධායක සභා රැස්වීමේ සාකච්ඡාවට අනුව සිනමාහල් අඩුව නිසා ඇති වී තිබෙන ප්‍රශ්නවලට කෙටි කාලීන විසඳුමක් වශයෙන් දේශීය චිත්‍රපට පිටපත් සංඛ්‍යාව 35 දක්වා අඩු කිරීමට යෝජනා ස්ථිර වූ අතර, පසුව මේ පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් ඇතුලු නිලධාරි මහතුන් දැනුවත් කළෙමු.

එහි ප්‍රතිඵලය වූයේ සිනමා කර්මාන්තයේ නියැලි සියළු දෙනාගේ යහපත වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව 2013. 01. 01 දින සිට ප්‍රදර්ශන පිටපත් 35 කට සීමා කිරීම පිළිබඳව 2012 ජූනි මස පුවත්පත් දැන්වීම් පළ කර අප කර්මාන්තයේ සියලු දෙනා දැනුවත් කිරීමයි. මෙය අභියෝගයට ලක් කරමින් 2012 පෙබරවාරි මස එක් චිත්‍රපට නිෂ්පාදකයෙකු ජාතික චිත්‍රපට සංස්ථාවට එරෙහිව අධිකරණය වෙත ගොස් චිත්‍රපට සංස්ථාවේ තීරණය වෙනස් කරන ලදී.

ජාතික චිත්‍රපට සංස්ථාවේ තීරණයට මාලිනී ෆොන්සේකා මන්ත්‍රීතුමිය, අතිගරු ජනාධිපතිතුමාගේ සිනමා කර්මාන්තය පිළිබඳ උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය මහතා, දේශිය සිනමා ශිල්පීන්ගේ සන්ධානය, සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ඇතුළු විශාල පිරිසක් සහය පල කළ අතර, ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මෙම අධිකරණ කටයුතුª සඳහා රු, මිලියන දෙකකට වැඩි මුදලක් වැය කළේය. මේ අනුව ගරු අධිකරණයේ තීරණය වූයේ පිටපත් ප්‍රමාණය 35 කට සීමා විය යුතු බවයි.

චිත්‍රපට සංස්ථාවේ සහ දේශිීය සිනමා කර්මාන්තයේ වගකිව යුත්තන් සියළු දෙනාගේ අවශ්‍යතාවය නොසලකා හරිමින්, ගරු අධිකරණයේ තීරණයට එරෙහිව යමින් ඉහත කී චිත්‍රපට නිෂ්පාදකයා විසින් තමාගේ අවශ්‍යතාවය පමණක් ඉටුකර ගනිමින් චිත්‍රපට පිටපත් 55 ක් නිකුත් කර ප්‍රදර්ශනය කිරීම දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ බලවත් විරෝධය මෙයින් පළ කරමු.

පද්මසිරි කොඩිකාර

සභාපති

දේශීය සිනමා ශිල්පීන්ගේ

සන්ධානය වෙනුවෙන්