වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

‘නිළියකට පෙම් කළෙමි’ යන චිත්‍රපටය ගැන කෙටි තොරතුරක් කියා දෙන්නකෝ?
 

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල – කෑගල්ල

දයා රාජපක්‍ෂ ගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් සිරි කුලරත්න අධ්‍යක්‍ෂණය කළ ඩී. ජී. ආටිගල නිපද වූ මේ චිත්‍රපටයට පාදක වනුයේ පැරැණි වේදිකා නිළියක් හා ඇයට අවංකව ආදරය කළ රසිකයකු පිළිබඳ කතාවකි. ජෝ අබේවික්‍රම, ශි‍්‍රයානි අමරසේන, සොමී රත්නායක ආදීන් මෙහි චරිත නිරූපණය කළා. කලකට ඉහත දී “බාසු බට්ටාචාර්ය”, රාජ් කපූර් හා වහිඩා රෙහ්මාන් යොදාගෙන නිර්මාණය කළ ‘තීස්රි කසම්’ චිත්‍රපටයට පාදක වුණෙත් මෙබඳුම කතාවක්. නමුත් මෙම චිත්‍රපට දෙක අනුකරණයන් නම් නොවේ. මේ චිත්‍රපටයේ එන ගීත ආචාර්ය අජන්තා රණසිංහ විසින් රචනා කරන ලද ගීතයි.

වසන්ත ජයසිංහආරච්චි රංගන ශිල්පියා ගේ දක්‍ෂතාවන් පිළිබඳ ඔබේ අදහස කුමක්ද අර්ජුන්?

චන්දන වන්නිආරච්චි - දෙහිඅත්තකණ්ඩිය.

ඔහු දක්‍ෂ ලේඛකයෙක්. හොඳ නිවේදකයෙක්. හොඳ මිත්‍රයෙක්. හැබැයි හොඳ නළුවෙක් වෙන්න නම් තව කල් ගතවේවි.

දැනට ප්‍රචාරය වන චිත්‍රපට ගීත අතුරෙන් රසික පිරිස වැඩියෙන්ම පි‍්‍රය කරන්නේ පැරැණි චිත්‍රපට ගීතවලටයි. වර්තමානයේ චිත්‍රපට ගීතවලට පි‍්‍රය නොකරන්නේ ඇයි?

එල්. එම්. ප්‍රේමසේන පෙරේරා

ඥානා කුමාරි පෙරේරා - කළුබෝවිල

සිනමාව සම්බන්ධයෙන් අපට සිටින රසිකයන්ගෙන් වැඩි හරියක් ප්‍රේමසේන පෙරේරා මහත්මයාණෙනි ඔබ වැනි පිරිසක්. එමෙන්ම අපේ රටේ තරුණ පරම්පරාව සිනමා රසිකයන් ලෙස අද්දවා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා සිනමාවේ ගීත ලෙස ඉල්ලන්නේ මීට වසර විස්සකට තිහකට පෙර නිර්මාණය වුණ ගීත බවයි මගේ පෞද්ගලික හැඟීම. අලුත් පරම්පරාව ඇතුළත සිංහල චිත්‍රපට නරඹන්නට එන බහුතරය සිනමා රසිකයන් ලෙස හඳුන්වා දෙනවාට වඩා ඔවුන් විලාසිතාවට චිත්‍රපට නරඹන අයයි. සිනමා රසිකයෝ යනු චිත්‍රපට නළු නිළියන්ට ආදරය කරන චිත්‍රපට ගීත පි‍්‍රය කරන පිරිසක්. වර්තමානයේ අපේ සිනමාවේ එවැනි ප්‍රේක්‍ෂක පරම්පරාවක් නැති තරම්.

‘වැලිකතර’ චිත්‍රපටයේ නළු නිළියන් සහ කාර්මික තොරතුරු දක්වන්න.

පාලක සමන් පෙරේරා - හැඳල, මිල්ලගහවත්ත පාර

ගාමිණී ෆොන්සේකා, සුවිනීතා වීරසිංහ, ජෝ අබේවික්‍රම, දයානන්ද ජයවර්ධන, ජී. ආර්. පෙරේරා, දේවිකා කරුණාරත්න, බුද්ධි වික්‍රම, නවනන්දන විජේසිංහ ආදීන් රංගනයෙන් දායක වූවා. චිත්‍රපටයේ සංගීතය සෝමදාස ඇල්විටිගලයන්ගෙන්, තිර නාටකය තිස්ස අබේසේකරගේ, එහි කැමරාව, සංස්කරණය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ඩී. බී. නිහාල්සිංහගෙන්.

කොළඹ නගරයේ තවමත් චිත්‍රපට ප්‍රදර්ශනය වන පැරැණිතම සිනමා ශාලාව මොකක්ද? ඒ වගේම මරදාන එල්ෆින්ස්ටන්හි අවසන් වරට ප්‍රදර්ශනය වූ චිත්‍රපටය කුමක්ද?

ඩඩ්ලි ගෝමස් - මොරටුව - කටුබැද්ද

ඔබේ මුල් ප්‍රශ්නයට පිළිතුර නම් මරදාන ඔලිම්පියා සිනමා ශාලාව විය යුතුය. ඊට පසු රීගල් හා කොටහේන කිංස්ලි සිනමා ශාලා පිළිවෙලින් පැරැණිම සිනමා ශාලා ලෙස ගිණිය හැකියි. දෙවැනි පැනයට පිළිතුර යසපාලිත නානායක්කාරගේ යුක්තිය ද ශක්තිය ද චිත්‍රපටය.

එදා නළු නිළියන් දැක බලා ගැනිමට රසිකයන් මහ පාරේ පවා පෙළ ගැසුණා. අද එහෙම නැත්තේ ඇයි?

සුජාතා ගුණවර්ධන – කඩවත

අනේ සුජාතා ඔයා අහලා නැද්ද නිතර දකින කුකුළගේ කරමලේ සුදුයි කියලා.

වෙසතුරු සිරිත චිත්‍රපටයේ අප දන්න නළුවන්, නිළියන් සිිටියේ දෙන්නයි. ඩී. ආර්. නානායක්කාර හා අයිරාංගනී විතරයි. අනෙක් අය ලංකාවේ අයද?

සුදත් නිශාන්ත – මීගමුව

ඒ ඔක්කොම අය ලංකාවේ.

ජනකාන්ත නළු ජීවන් කුමාරණතුංගගේ ලිපිනය පළ කරන්න.

පී. වයි. අනුලාවතී කුඩගම – අවිස්සාවේල්ල

ජීවන් කුමාරණතුංග, 26, නන්දිමිත්‍ර පෙදෙස, බලපොකුණ පාර, කොළඹ 05.

අතිශයින් ජනප්‍රිය සටන් නළුවෙකු වූ බෲස්ලී ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලැබ තිබේද?

සුරවීර නාකන්දල – ධර්ගා නගරය

බෲස්ලි අතිශය ජනප්‍රිය සටන් නළුවකු වුවත් ඔහු දක්ෂ නළුවකු වුණේ නැහැ. එම නිසා ඔහු සම්මාන ලබා නැහැ.

අඹරේ අද නැත පුන්සඳ- කෑලි කැපෙන ගනඳුර මැද යන ගීතය ගායනා කරනු ලබන්නේ කවුද?

මැණිිකේ විල්වල – කෑගල්ල

සේන ෆොන්සේකා සමඟින් දයා නෙල්ලම්පිටිය.

1963. 4. 10 ආරම්භ කරන ලද සරසවිය පුවත්පතේ පිටපතක් ලබා ගත හැකිද?

කේ. පී. රේමන් සිල්වා - බොරගොඩවත්ත

එහි පිටපත් එළියට ගත හැක්කේ පරණ පුවත්පත් එකතුª කරන්නෙකු ළඟ තිබුණොත් පමණයි. ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හෝ ලේක්හවුස් ආයතනයේ පුස්තකාලයේ එම පුවත්පත ඔබට දැක ගත හැකියි.

කලාශූරී ලතා වල්පොල සමඟ මිල්ටන් පෙරේරා ගී ගයා තිබෙනවාද?

රේමන් ලියනගේ – මුදුන්ගොඩ

දන්නා තරමින් නැහැ.