වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ක්ලැරන්ස් උපහාර ‘මෑණියනී’ එළි දකී

ක්ලැරන්ස් උපහාර ‘මෑණියනී’ එළි දකී

රුක්ෂාන් කරුණානායකගේ සංකල්පයක් පරම්පරා තුනක රස මුසුව

ක්ලැරන්ස් විජේවර්ධනයන්ට උපහාර පිණිස පරම්පරා තුනක සංගීත සංයෝජනයෙන් හැඩ වූ ගීත අනුවාදන සංයුක්ත තැටියක් දැන් නිකුත් වී ඇත. ‘මෑණියනි’ ලෙස නම්කර ඇති මෙය නව පරපුරේ සංගීත අධ්‍යක්ෂ සහ චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස් සංගීත කණ්ඩායමේ නායක රුක්ෂාන් කරුණානායකගේ සංකල්පයක් මත නිර්මාණය වූවකි. ‘මෑණියනි’ විශේෂත්වය වනුයේ ක්ලැරන්ස් විසින් පිහිටුවන ලද මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස් සහ මදාරා යන සංගීත කණ්ඩායම්වල සාමාජිකයන් කිහිප දෙනෙකු වාදනයෙන් දායක වීමයි.

මෑණියනි, සිහින ලොවක්, ගමෙන් ලියුමක් ඇවිල්ලා, සුදු මැණිකේ, සැන්දෑ වලාවන් ඇතුළු ක්ලැරන්ස්ගේ අතිශය ජනප්‍රිය ගීත 12 ක අනුවාදන මෙම සංයුක්ත තැටියේ අඩංගුය. ප්‍රවීණතම ඉංග්‍රීසි ගුවන් විදුලි නිවේදක විජය කොරයාගේ හඬමුසු වූ මෑණියනි සඳහා චානක පෙරේරා (මූන්ස්ටෝන්ස් / ගෝල්ඩන් චයිම්ස්, කොන්රඩ් ගුණරත්න, චන්ද්‍රලාල් ෆොන්සේකා, නිමල් පුංචිහේවා (සුපර් ගෝල්ඩන් චයිම්ස්) කෙනෙත් ද සිල්වා (මදාරා) සහ රුක්ෂාන්, සුගත් අසංක, ඩිල්ෂාන් විජේසේකර, චමින්ද පුෂ්පකුමාර, උදේශ කරුණානායක (චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස්) ප්‍රේමනාත් කොඩිතුවක්කු, මොහාන් ගුණරත්න යන සංගීතඥයින් වාදනයෙන් එක්ව ඇත. මෙහි සියලු පටිගත කිරීම් සිදුකර ඇත්තේ ගම්පහ උදේශාන් ශබ්දාගාරයේය.

රුක්ෂාන්ගේ සොයුරු උදේශ් මෙරට සිටින ලාබාලතම ඩ්‍රම්ස් වාකයකු වන අතර මෑණියනි හි ගීත හයකට ඔහු ඩ්‍රම්ස් වයා ඇත.

අවුරුදු 11 දී ලීඩ් ගිටාර් වාදකයකු ලෙස තම සංගීත දිවිය ඇරැඹූ රුක්ෂාන්, ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් හඳුන්වා දුන් සිංහල පොප් සංගීත ශෛලිය මතු පරපුර වෙත රැගෙන යාමේ පරමාර්ථයෙන් 2009 දී චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස් සංගීත කණ්ඩායම පිහිටුවා ගන්නා ලදී. එතැන් පටන් ඔහු ගීත රචකයකු, තනු නිර්මාපකයකු, සංගීත අධ්‍යක්ෂවරයකු සහ ශබ්ද පරිපාලකයකු ආදී භූමිකා නිරූපණය කරමින් නිර්මාණ චාරිකාවේ නියැළි සිටියි.

 තම සංගීත කණ්ඩායම තුළින් සිංහල පොප් ශෛලිය මුසු වූ නව ගීත රැසක් නිර්මාණය කර ඇති ඔහු වර්නන් පෙරේරා,භද්‍රජි මහින්ද ජයතිලක, රොනී ලීච්, නෙලු අධිකාරි, රූපා ඉන්දුමතී, නලීන් ජයවර්ධන, සුනිල් ශාන් ප්‍රනාන්දු, තිළිණි අතුකෝරාල, විමානි කපුරු බණ්ඩාර, චුලානි සුරවීර, සඳුනි රශ්මිකා යන ගායක ගායිකාවන්ට ද නව ගීත නිර්මාණය කොට ඇත. මෑණියනි, චයිම්ස් ඔෆ් සෙවන්ටීස් හි තෙවැනි සංගත තැටිය වේ. පියාණනි සහ ගමෙන් ආ කෙල්ලේ (භද්‍රජි මහින්ද ජයතිලක) ඔවුන් මීට ප්‍රථම නිකුත් කොට ඇත. රුක්ෂාන් ප්‍රමුඛ චයිම්ස් ඔෆ් සෙවන්ටීස් හැත්තෑව දශකයේ ගී අඩංගු ප්‍රසංග රැසක් ද මේ වන කොට ඉදිරිපත් කොට ඇත.