වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මං හැම වෙලාවෙම අලුත් වෙන කෙනෙක්

මං හැම වෙලාවෙම අලුත් වෙන කෙනෙක්

අංජු හිමායා බණ්ඩාර

සිකුරාදා හැන්දෑවට ස්වර්ණවාහිනී නාලිකාවේ Good Af ternoon Sri Lanka වැඩ සටහනත් රැගෙන එන ඇය අංජු හිමායා බණ්ඩාර. හිම කඳුළු, වන්දනා, සුදු ගින්දර ඇතුළු ටෙලි නාට්‍ය පහළොවක පමණ තමන්ගේ දස්කම් දැක් වූ ඇය මේ දිනවල කතාබහට ලක්වන්නේ නිවේදිකාවකගේ භු®මිකාව හරහායි.

මේ අංජු සමඟ කළ කතාබහකි.

* මං කැමැතියි නිවේදිකාවක් කියලා ඔබ හඳුන්වන්නට?

මම ඒ භූමිකාවට ඉතාමත් කැමැතියි. කලාවට සම්බන්ධ වීමත් සමඟම නිවේදිකාවක වීමේ සිහිනයත් මට තිබුණා. විවිධ අවස්ථාවලදී නිවේදිකාවක ලෙස කටයුතු කළත් ඒ ක්ෂේත්‍රයේ ස්ථාවරවීම මගේ අරමුණක් වෙලා තිබුණේ. සිකුරාදා ස්වර්ණවාහිනි නාලිකාවේ සවස 2 සිට 4.30 දක්වා  Good Afternoon Sri Lanka  වැඩ සටහන හරහා ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගන්නට මට හැකි වුණා.

* නිවේදිකාවක් වන්නට මෙතරම් ඔබේ බලාපොරොත්තුවක් තිබුණේ ඇයි?

අපේ සමාජයේ යහපත් බව රඳවා පවත්වා ගැනීමට නිිවේදකයකුට හෝ නිවේදිකාවකට බොහෝ දේ කළ හැකියි. යහපත් වචන, යහපත් ආමන්ත්‍රණ හරහා සමාජයට ආමන්ත්‍රණය කිරීමට ලැබීම වාසනාවක් කියලයි මට හිතෙන්නේ.

නිවේදන වෘත්තිය ඉතාමත් පරෙස්සමෙන් හසුරුවා ගත යුතු භාවනාවක් වගේ කියලයි මට හිතෙන්නේ. ඒ් වගේම ඒ සඳහා හොඳ හැදෑරීමක් ද තිබිය යුතුයි. ලෝකය ගැන වගේම අපේ රසිකයන්ගේ හෘද ස්පන්ධනය ගැනත් නිවේදකයාට දැනුමක් තිබිය යුතුමයි. ඒ හැදෑරීම හරහා අප ඉදිරියේ සිටින පුද්ගලයාට උසස් රස වින්දනයක් ලබා දෙන්නට හැකි වේවි.

* නිවේදන කටයුතු සමඟ රංගනයෙන් ඉවත් වුණාද?

නැහැ. මේ දිනවල සමන් කුමාර ලියනගේ ගේ පෙම් සිත දැහැමියි, නිශාන්ත වීරසිංහගේ චන්ද කින්නරාවී, දීපානි අබේරත්නගේ සංසාර චාරිකා ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ගිහාන් රෝහණගේ මං අවලංගුයි ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශනය වේවි. හිරුට මුවාවෙන් නව නිෂ්පාදනයේ ජයමිණි ගේ චරිතයත් ලැබී තිබෙනවා. නිවේදන කටයුතු අතරේ රංගනයෙන් ඈත්වෙන්න මගේ අදහසක් නැහැ.

මං මේ ක්ෂේත්‍ර දෙකටම ඉතාමත් ආදරෙයි. ඒ නිසා නිවේදන කලාව සහ රංගන කලාව යන ක්ෂේත්‍ර දෙකම නියෝජනය කරමින් කලාවේ රැඳී ඉන්නට හිතක් තිබෙනවා.

* චිත්‍රපට සඳහා දායක වෙන්න හිතක් නැද්ද?

රාස්ස කැලේ, තුෂාරා වගේ චිත්‍රපට සඳහා මම දායක වුණා. ඉන් රාස්ස කැලේ තවමත් තිරගත වුණේ නැහැ.

* කලා ජීවිතේ ගැන තෘප්තිමත්ද?

ඇත්තටම ඔව්. අපේ රටේ කලාව ඇසුරු කරන්නට ලැබීම වාසනාවක්.

* ඔබ පොත්පත් කියවන චරිතයක්ද?

ඔව් . . . ඉඩ ලැබෙන හැම වෙලාවකදීම මම පොත පත කියවනවා. වැඩිපුරම කැමති පරිවර්තන පොත පත කියවන්නටයි. ඇත්තම කිව්වොත් පොත් කියවීම මගේ විනෝදාංශයක්.

* නිවේදිකාවක් කියන්නේ තරමක් භාරදූර වගකීමක්. ඔබ ඒ වගකීමට සුදුසුය කියල හිතනවද?

වගකීමක් දරන්න සුදුසුකමක් තිබිය යුතුමයි. ඒ වගේම ඒ සුදුසුකම සපුරා ගන්නට හැදෑරීමත් අත්‍යවශ්‍යයි.

* හිම කඳුළු ටෙලි නාට්‍යයේ කෞෂි, වන්චනා ටෙලි නාට්‍යයේ තාරුකා සාමාන්‍ය සරල චරිත තමයි ඔබට ලැබුණේ. කලාත්මක නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

මෙහෙමයි. මං රඟපෑ චරිත සියල්ලටම එක ලෙස ආදරෙයි. මං වඩාත් කැමති සරල සාමාන්‍ය යථාර්ථවාදී චරිතවලටයි. එදිනෙදා සමාජයේ දකින්නට ලැබෙන චරිත සමඟ ගනුදෙනු කරන්නට මං වඩාත් කැමැත්තක් දක්වනවා.

නමුත් ඕනැම චරිතයක් ලැබුණොත් භාර ගන්නවා.

* ක්ෂේත්‍රය ගැන මොකකද හිතෙන්නේ?

ඉතාමත් අවබෝධයෙන් සිහි බුද්ධියෙන් ඇවිද යා යුතු දිගු දුෂ්කර මාවතක්.

* බොහෝ නිවේදිකාවන්ට නැෙඟන චෝදනාවක් තමයි වචන හිඟ බව. ඔබටත් කවුරුන් හෝ එහෙම චෝදනාවක් කළොත්?

ඕනෑම කලාවක් ප්‍රගුණ වන්නේ කාලය සමඟයි. මගේ බොහෝ අඩුපාඩු ඇති කියලා මං දන්නවා. ඒවා හදාගන්නට හැමෝගේම අදහස් අවශ්‍යයි. වචන හිඟ බව ඇති වෙන්නේ හරි කියවීමක්, හැදෑරීමක් නැති වුණාම කියාල මං හිතනවා. ඒ නිසා හැකි හැම විටම මං මගේ ශබ්ද කෝෂයට අලුත් දෙයක් එක්කර ගන්නට උත්සාහ කරනවා.

මේ කෙටි කතාවේ අවසානය?

මේ වෙලාවේ මට උදවු දුන් හැමෝටම ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම විශ්වනාත් විජේසූරිය, බුද්ධික කුලසේකර සහ මනෝජ් දිසානායකටත් ස්තුතිය පුද කළ යුතුමයි.