වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




3 5 ද ? 5 5 ද ?

3 5? 5 5 ?

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටය ‘සිරි පැරකුම්’ දැන් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල් පනස් පහක ප්‍රදර්ශනය අරඹා තිබේ.
ඒ චිත්‍රපට ප්‍රදර්ශනය හා බෙදා හැරීම පිටපත් තිස් පහකට සීමා කරමින් 2013 ජනවාරි 01 වැනි දින ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් නිකුත් කළ චක්‍රලේඛයත් අධිකරණය විසින් දුන් තීන්දුවත් කිසියම් අභියෝගයකට ලක් කරමිනි. එකම ක්ෂේත්‍රයක වෘත්තීය සගයන් දෙපිළකට බෙදී වාද විවාද කරගන්නා තරමට දැන් මේ අර්බුදය දුර දිග ගොස් ඇත. මේ පිළිබඳ සිය විවෘත මතවාදය ගෙනහැර දැක්වීමට සිනමා ශිල්පීන් කිහිප දෙනකුට අප ඇරැයුම් කළෙමු.

අධි ප්‍රතිචාර චිත්‍රපට සඳහා පනස් පහ ඕනෑ

ජැක්සන් ඇන්තනි

චිත්‍රපට සංස්ථාව,පනින්න පෙර සිතා බැලුවා නම් මේ ප්‍රශ්නය මේ තරම් දුර, දිග යන්නේ නෑ. රාජ්‍ය ආයතනයක් පොදු මහජනතාවට බලපාන ප්‍රශ්නයක් පිළිබඳ සෘජු ලෙස තීන්දුවක් ගන්න කොට සහ කලක් තිස්සේ පැවැති ක්‍රමවේදයක් කිසියම් වෙනසකට භාජනය කරන කොට දෙතුන් වතාවක් ඒ ගැන හිතන්න ඕනෑ. මේක මේ බඩු මිල වැඩි කරනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා ක්‍රාන්ති කාලයක් අවශ්‍යයි. පිටපත් තිස් පහේ සීමාව හා එකී තීන්දුව පිළිබඳ චිත්‍රපට සංස්ථා සභාපතිතුමාත් සමඟ අපි සාකච්ඡා කළා.

ව්‍යවහාරික සිනමාකරුවකු හැටියට මම ලබපු අත්දැකීම් මත මගේ තීන්දුව වන්නේ සමහර චිත්‍රපට සඳහා පිටපත් තිස් පහේ සීමාව හානි කර බවයි. ඒ සමහර චිත්‍රපට කියා මං අදහස් කළේ අධි ප්‍රතිචාර එහෙම නැත්නම් High Ratings Films ගණයට වැටෙන ඒවායි. එවැනි චිත්‍රපට හඳුන්වන්නේ Block Buster Films යනුවෙන්. හොලිවුඩ් සිනමාවේ වුණත් වසරකට එවැනි චිත්‍රපට තුන, හතරකට වඩා හැදෙන්නේ නෑ. උදාහරණයක් විදිහට කිව්වොත් Titanic, Gladiator වගේ චිත්‍රපට.

වැඩි වියදමක් දරා, වැඩි ගුණාත්මක බවින් යුතු,වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය දිනාගත්, සිනමා ශාලා පිරෙන, දින සියය පනින මෙන්න මේ ලක්ෂණ සහිත අධි ප්‍රතිචාර චිත්‍රපටවලට පිටපත් තිස් පහේ සීමාව ප්‍රමාණවත් නැහැ. වර්තමාන සිනමා ක්ෂේත්‍රය තුළ බලපවත්නා මිල සූත්‍රයට අනුව මිලියන අසූවක් පමණ වියදම් කළ චිත්‍රපටයක් දින සියයක් ඇතුළත ශාලා තිස් පහක පමණක් ප්‍රදර්ශනය කිරීමෙන් නිෂ්පාදකයා පාඩු ලබනවා. ‘අබා’ චිත්‍රපටය ඇසුරෙන් ලබාගත් අත්දැකීම් අනුවයි මං මේ ප්‍රකාශය කරන්නේ.

කෝටි අටක් වියදම් කර තැනූ ‘අබා’ චිත්‍රපටය ආරම්භක සිනමාහල් තිස් අටක ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් දින සියයක් පුරා ප්‍රදර්ශනය වුණත් මේ මිල සූත්‍රය අනුව ලැබුණ ආදායම මුළු වියදමෙන් 40% ට අඩු ප්‍රමාණයක්. ඉතින් එබඳු චිත්‍රපට සඳහා පිටපත් තිස් පහක් ප්‍රමාණවත් නෑ. නමුත් ලංකාවේ එවැනි චිත්‍රපට හැදෙන්නේ අතළොස්සයි. මෙන්න මේ නිසා බහුතරයකගේ ඉල්ලීම වන පිටපත් තිස්පහේ සීමාවට මම එකඟ වුණා.

ඒත් මේ තිස් පහේ තීන්දුව ගන්න කොට සෝමරත්න දිසානායක ඔහුගේ චිත්‍රපටය නිර්මාණය කොට ඉවරයි. එම චිත්‍රපටය අධි ප්‍රතිචාර ලබන චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශක මණ්ඩලය සහ එය නැරැඹූ සියලුම ප්‍රේක්ෂකයෝ මේ වන විට තීරණය කර ඉවරයි. මේ තීන්දුව ගන්නා විට සාදා නිම කොට තිබූ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය ඉහත කොන්දේසියෙන් නිදහස් කරන්න යැයි මා විසින් ඉල්ලීමක් කරනු ලැබුවා.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ අර්බුදයට පිළියම් සොයන්නට සිනමා ශිල්පීන් කැඳවපු අවස්ථාවේ මම වාඩි වුණේ පනස් පහ හොඳයි කියන අයගේ පැත්තෙවත්, තිස් පහ හොඳයි කියන අයගේ පැත්තේවත් නෙවෙයි. හරි මැද. එහෙම ඉඳගෙන තමයි මම අර වගේ ප්‍රකාශයක් කළේ. වසරකට අධි ප්‍රතිචාර චිත්‍රපට දෙකක් පිටපත් පනහේ සීමාව අබිබවා ප්‍රදර්ශනය කිරීමේ අවසරය ලබාදෙන ලෙසත් මම එහිදී ඉල්ලීමක් කළා. ඒ පිළිවෙතට වැඩි පිරිසක් ආකර්ෂණය වුණා.

චිත්‍රපට සංස්ථා සභාපතිවරයා මේ නියෝගය පනවන්නට පෙර චිත්‍රපටකරණය පිළිබඳ, සිනමාකරුවන් පිළිබඳ, සිනමාවේ අනාගතය දෙස මීට වඩා විචක්ෂණශීලීව බැලුවා නම් මේ ප්‍රශ්නය මෙතරම් අර්බුදයකට යන්නේ නෑ. මෙවැනි දේවලින් වන්නේ චිත්‍රපටකරුවන් බේදභින්න වීමයි. ඒ බේදභින්න වීම අනාගත සිනමාවට අවාසියි.

මේක අතුරේ යනවා වගේ වැඩක්

සුනිල් ටී. ප්‍රනාන්දු

මම මේ වෙලාවේ කියන්න ඕනෑ කගෙවත් කේන්දර චිත්‍රපට සංස්ථාවට හදන්න බෑ. ඒ වගේම බඩේ ඉන්න දරුවට කේන්දර හදන්නත් බෑ. මේ ප්‍රශ්නයට මම මැදිහත් වෙන්නේ නිෂ්පාදකයකු හැටියට. නිෂ්පාදකයෝ නැතිනම් චිත්‍රපට හැදෙන්නේ නෑ. අධ්‍යක්ෂවරයා,නළු නිළියන්ගේ සිට කාර්මික ශිල්පියා දක්වා සියලු ගෙවීම් කරන්නේ නිෂ්පාදකවරයා. මගේ මතයට අනුව ප්‍රදර්ශනය කළ යුතු පිටපත් ප්‍රමාණය තීරණය කරන්න ඕනෑ නිෂ්පාදකවරයායි. නිකං සභාපතිවරයකුට ඒ ගැන තීරණය කරන්න බෑ අනිවාර්යයෙන්ම. තමන් වියදම් කළ මුදල බේර ගෙන, ලාභයක් ලබන්නේ කොහොමද කියන තැන ඉඳන් තමයි ඕනෑම නිෂ්පාදකයෙක් මේ ප්‍රශ්නය දිහා බලන්නේ. නිෂ්පාදකයා බංකොලොත් වෙනවා කියන්නේ සිනමාවේ පරිහානිය.

ලක්ෂ සීයකිනුත් චිත්‍රපටයක් හදන්න පුළුවන්. ලක්ෂ පන්සීයකිනුත් හදන්න පුළුවන්. නමුත් කවුරුවත් පාඩු විඳින්න කැමැති නෑ. මේක අතුරේ යනවා වගේ වැඩක්නේ. අර මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි කියනවා වගේ උපරිම ලාභයක් ලබා ගැනීම තමයි කාගේත් යටි හිතේ චේතනාව. තමන්ගේ චිත්‍රපටය ගැන තිබෙන විශ්වාසය උඩ තමයි පිටපත් පනහ ද, හැට ද නැතිනම් සීයද කියලා තීරණය කරන්නේ. තමන්ගේ චිත්‍රපටය ගැන විශ්වාසයක් නැති නිෂ්පාදකයෙක් ඉන්නවා නම් එයා ගහයි පිටපත් පහළොවක්.

අපි ඉස්සර අමාරුවෙන් චිත්‍රපටයක් හදලා අමාරුවෙන් ලාබ ගන්නවා. අද අමාරුවෙන් චිත්‍රපට හදන්නත් බෑ, පෙන්නන්නත් බෑ. ආර්ථික සමාජ රටාව උඩු යටිකුරු වෙලා තියෙන්නේ. හැබැයි ඒකෙන් අදහස් කළේ අද චිත්‍රපට හදනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් කියන එක නෙවෙයි. මේක අවදානම් වැඩක්. හරියට අතුරේ යනවා වගේ. පිටපත් මුද්‍රණයට විශාල මුදලක් ඕනෑ. ප්‍රචාරය සඳහා විශාල මුදලක් යට කරන්න වෙනවා. තමන්ට යට කරන්න පුළුවන් මුදල මත තමයි සියල්ල තීරණය වෙන්නේ.

මම කියන්නේ අපට දැනට හොඳ මට්ටමේ තිබෙන සිනමා ශාලා අනූවේම පිටපත් ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් ඒක තමා හරි. ඒ පික්චර් එක දුවන හින්දනේ අනූව ගහන්නේ. නොදුවන නිසානේ පිටපත් පහළොවක් ගහන්නේ. අද සිනමා ශාලාවල මිනිස්සු එන්නේ නැති යුගයක්. එතකොට සිනමා ශාලාවලට මිනිස්සු කැන්දවන චිත්‍රපට හදන එක ද වැරැදි. කර්මාන්තයේ රඳා පැවැත්මට ප්‍රේක්ෂකයෝ සිනමා ශාලා කරා පැමිණිය යුතුයි. දැන් මේ සභාපතිතුමා කියන විදිහට පෝලිමේ තියෙන ජරා චිත්‍රපටත් පෙන්නලා ඉන්න සෙනඟත් නැති කරන්නයි හදන්නේ. ඒකයි මේ ප්ලෑන් එක.

අවුරුදු ගණනක් පරන, දුවන්නේ නැති චිත්‍රපට පෙන්නුවට මිනිස්සු බලන්නේ නෑ අද. අපි කියමුකෝ පිටි කිරි කියලා. ඒකට කල් ඉකුත්වීමේ දිනයක් දාලා තියෙනවා ඒ දවසට කලින් පරිහරණය කරන්න කියලා. එක්ස්පයර් වුණොත් කුණු ගොඩට දාන්න ඕනෑ. මෙන්න මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන අතිගරු ජනාධිපතිතුමන් මැදිහත්වෙලා ‘සිරි පැරකුම්’ චිත්‍රපටය පිටපත් පනස් පහක් ප්‍රදර්ශනය කිරීමට අවසරය ලබා දී තිබෙනවා. එය ඉතාමත් කාලෝචිත පියවරක්. මගේ ‘දෝණි’ චිත්‍රපටයේත් පිටපත් පනස් පහක් මම ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුª වෙනවා. මේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේදී එය ප්‍රදර්ශනයට එක් කරන්නට පුළුවන් වේවි.

මේවාට වඩා ප්‍රශ්න අපට තියෙනවා

පද්මසිරි කොඩිකාර

පසුගිය අවුරුදු පනහක දේශීය සිනමා ඉතිහාසය දෙස ආපහු හැරී බැලුවොත් 2011 වර්ෂය තමයි අඩුම චිත්‍රපට සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වූ වසර හැටියට සැලකෙන්නේ. ඒ කියන්නේ චිත්‍රපට දහසයයි. මෙවැනි පසුබිමක් තුළ හිඳගෙන තමයි අපි චිත්‍රපටයක් පිටපත් තිස් පහකට සීමා කළ යුතුයි කියා පවසන්නේ.

අද සිනමා ප්‍රදර්ශන මණ්ඩල පහක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ එක මණ්ඩලයකටවත් සිනමාහල් පනස් පහක් නෑ. ඒ අඩුව පුරවන්න වෙන මණ්ඩලයකින් සිනමාහල් ගත්තාම ඉතිරි මණ්ඩල හතර අඩපණ වෙනවා. එක නිෂ්පාදකයෙක් තමන්ගේ චිත්‍රපටය පිටපත් පනස් පහක් දාන කොට අනෙක් අයට බැරි වෙනවා තමන්ගේ චිත්‍රපට පෙන්වන්න. අපි විරුද්ධ මෙන්න මේ තත්ත්වයට.

චිත්‍රපට ශාලා බොහෝ ප්‍රමාණයක් අද වැහිලා ගිහින්. ඒවා නැවත විවෘත කරන්න. අලුතින් සිනමාහල් හදන වැඩ පිළිවෙළකට යන්න. එතෙක් අපි මේ තිස්පහේ සීමාවේ ඉමු. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ, ආචාර්ය ධර්මසේන පතිරාජ, ආචාර්ය මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු සිනමාවේ ප්‍රවිණයන්ගේ ඉල්ලීමත් එයයි. අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය මේ සියලුම දෙනා කියන්නේ එකම කතාවයි.

එක්කෙනෙකුගේ, දෙන්නෙකුගේ වුවමනාවට තමයි මේ පිටපත් පනස්පහ දක්වා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ප්‍රවණතාවය මතු වුණේ. චිත්‍රපට සංස්ථාව 2012 ජූලි මාසයේ පුවත්පත් දැන්වීමක් නිකුත් කළා, 2013 ජනවාරි පළමුවැනිදා සිට පිටපත් සංඛ්‍යාව තිස් පහකට සීමා විය යුතුයි කියා. ඒ පිළිබඳ චක්‍රලේඛයකුත් නිකුත් කළා. පසුව යම් යම් අය මේ තීරණයට එරෙහිව උසාවි පවා ගියා. චිත්‍රපට සංස්ථාවට මේ නඩුව සඳහා රුපියල් මිලියන දෙකකට වඩා වැඩි මුදලක් වැය වුණා. අවසානයේ අධිකරණය දුන් තීන්දුවත් පිටපත් තිස් පහකට සීමා කරන්න කියලයි.

මේ තීන්දුව නොසලකා තමයි ‘සිරි පැරකුම්’ චිත්‍රපටය පිටපත් පනස් පහක් ප්‍රදර්ශනයට එක් කළේ. එය අධිකරණයටත් කළ අපහාසයක්. මේ සිදු වූ ඓතිහාසික වැරැද්ද මුළු සිනමා කර්මාන්තයම අනුමත කරන්නේ නෑ. ඉදිරියේදී අපි අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු බලධරයන් මේ පිළිබඳ දැනුම්වත් කරනවා. දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපතිවරයා හැටියට මම මේ අකටයුත්ත වෙනුවෙන් දිගටම සටන් කරනවා. කෙනෙකුගේ දෙන්නෙකුගේ වුවමනාවට නෙවෙයි කර්මාන්තයේ පොදු යහපත උදෙසායි අප කටයුතුª කළ යුතුª වන්නේ.

අපේ සටන චිත්‍රපටයක් සිනමාහල් තිස් පහකට සීමා කිරීම නෙවෙයි, හැමෝටම පනස් පහේ සීමාවට යන්න පුළුවන් නම් අපි කැමැතියි. ඒත් මේ ඒකට වේලාව නෙවේ. මේවා ප්‍රශ්න නෙවෙයි . අද අපේ සිනමාව දරුණු ලෙස කඩා වැටිලා. දවස ගානේ සිනමාහල් වැහෙනවා. මේවාට විසඳුම් නෑ. මෙන්න මේවා විසඳගන්න අප වහාම ක්‍රියාත්මක විය යුතුයි. මොනවා කරන්නත් සිනමාවක් තියෙන්න එපායැ.

සත්‍යය වසන් කොට ලැබූ වරප්‍රසාදය

එරංග සේනාරත්න

2013 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කළ ප්‍රදර්ශන පිටපත් 35 සීමාව හා රැඟුම් පාලක මණ්ඩල අනුමත දිනය පදනම් කොට ප්‍රදර්ශනයට අනු පෙළ ගැන්වීම දැනට පවතින සිනමාහල් හිඟය ඇතුළු ප්‍රශ්න කිහිපයක් වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව ගත් යහපත් තාවකාලික විසඳුමක් බව දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද මෙරට සිනමාවට කීර්තියක් ගෙන ආ සිනමාකරුවන් අති බහුතරයක් පිළිගෙන තියෙනවා.

මේ නීතිය ක්‍රියාත්මක කිරීමට හය මසකට කලින් ඒ කියන්නේ 2012 ජුනි මාසයේ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළ කර තිබුණා. ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ මුහුරත පවත්වන්නේ 2012 සැප්තැම්බරයේ. එසේ නම් මේ නීතිය ගැන එහි නිෂ්පාදක, අධ්‍යක්ෂවරු චිත්‍රපටය ඇරැඹිීමට පෙර නොදැන සිටියා යැයි කීම මුසාවක් නෙවෙයිද?

සිනමාවේ හා එහි නියැළෙන්නන්ගේ පොදු යහපත උදෙසා ක්‍රියාත්මක කළ මෙම නියෝගය නොසලකමින් ආත්මාර්ථකාමී පටු පුද්ගල වාසිය වෙනුවෙන් පෙනී සිටීම සැබෑ කලාකරුවා හා නමට කලාකරුවා කවුද යන්න හෙළි කරන්නක්.

ලෝකය පුරා ‘බ්ලොක්බස්ටර්’ (දැවැන්ත) ගණයේ චිත්‍රපට හැදෙන්නේ සීමිත (අභ්‍යන්තර) වෙළෙඳපොළකට නොවේ. ලෝක වෙළෙඳපොළක් ඉලක්ක කර ගනිමිනුයි.

මෙය තේරුම් නොගන්නා සෝමරත්නලා සන්තකම වියදම් කළා යැයි කියමින් ඒවා බේරා ගැනීමට පවතින නීති රීති කඩා සදාචාරාත්මක බවින් තොරව සහෝදර සිනමා ශිල්පීන්ගේ අයිතීන් පැහැර ගැනීම සාධාරණද? වෙළඳපොළ සීමාව හඳුනා නොගන්නා මොවුන් විසින් දරන ලද අවදානම වෙනුවෙන් සෙසු සිනමාකරුවන් වගකිවයුත්තෝ වන්නාහුද

පොදු විසඳුමක් ඕනෑ . . .

සුනිල් සෝම පීරිස්

පිටපත් තිස්පහේ සීමාවට ආවේ එක පුද්ගලයකුගේ මතයට නෙවේ. සිනමා කර්මාන්තය සුරක්ෂිත කරන විවිධ සංගම්, සන්ධාන එකට එක් වී ගත්ත පොදු තීරණයක් හැටියට. ජාතික චිත්‍රපට සංස්ථාව එම කාර්යයේදී පෙර ගමන්කරුවකු බවට පත්වුණා. පිටපත් තිස් පහේ සීමාවට අප එකඟතාව පළ කළේ පිටපත් පනස් පහ ප්‍රදර්ශනයේදී අනෙක් නිෂ්පාදකයන්ට සිදුවන අසාධාරණය දැකලා.

අද තියෙන සිනමා ශාලා එකසිය ගණනෙන් හොඳ මට්ටමේ සිනමාහල් තියෙන්නේ අනූවක් විතර. එයින් පනස් පහක් එක සැරේ එක චිත්‍රපටයකට වෙන් වුණාම සෙකන්ඩ් රන් එකකට ඉඩක් නෑ. අපි කියන්නේ පිටපත් පනස් පහක් නෙවෙයි හැටක් දැම්මත් කමක් නෑ. ඒත් එයා විතරක් නෙවේනේ ඉන්නේ. අපි කතා කරන්නේ එක පුද්ගලයකුගේ සුභසාධනය ගැන පමණක් නෙවෙයි.

අපට දැනගන්නට ලැබී තිබෙන විදිහට මේ පිටපත් පනස් පහ ප්‍රදර්ශනය කරන්නට අවශ්‍ය නිසා ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය හෝල්වලින් ගලවාගෙන. සම්භාවනීය ලෙස එය ඉවත් කරගෙන නව ප්‍රදර්ශනයකට යන බව නිෂ්පාදකවරුන් පවසා තිබුණා. චිත්‍රපටයක් වෙනුවෙන් එකවර පිටපත් පනස් පහක් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන අනෙක් අහිතකර බලපෑම තමයි එය සිනමා ශාලවෙන්, ශාලාවට සංසරණය නොවීම. ෆ්ලෝ ඩවුන්ස්වලට ඉඩක් නෑ. මේක මේ මිනිසුන්ට අං තට්ටු පලඳවලා කරන මහ ප්‍රෝඩාවක්.

2013 ජනවාරි 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේදීී පිටපත් තිස් පහකට සීමා කිරීමේ නීතිය පිළිබඳ සිනමා ශිල්පීන් මෙන්ම පොදු ජනතාව දැනුම්වත් කරමින් චිත්‍රපට සංස්ථාව මඟින් ඊට මාස හයකට පෙරාතුව පුවත්පත් දැන්වීම් පවා පළ කළා. එතකොට ‘සිරි පැරකුම්’ මුහුරත් උළෙල තිබුණේ ඊට පසුවයි. ඊට අදාළ සාක්ෂි අප සතුව තිබෙනවා.

සිනමාවේ අර්බුදයට මේ පිටපත් පනස් පහ විසඳුමක් නෙවෙයි. එය ප්‍රශ්න වැලක ආරම්භයක්. එක ප්‍රශ්නයක් විසඳන්න ගිහින් ප්‍රශ්න දහසක් ඇති කළා. රජයක් හැටියට තිබුණා අදාළ පාර්ශවයන් කැඳවලා කරුණු විමසලා සාධාරණ තීන්දුවක් දෙන්න. දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය සහ ශ්‍රීී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මේ පිටපත් පනස් පහ බෙදා හැරීම සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය පළ කර තිබෙනවා. ඇත්තටම පිටපත් පනස් පහ කියන්නේ දෙතුන් දෙනකුගේ වුවමනාවක් මිසක වැඩි දෙනකුගේ වුවමනාවක් හෝ පොදු මතය හෝ නොවෙයි.

වැටත් නියරත් ගොයම් කා නම් . . .?

උදය කාන්ත වර්ණසූරිය

දැනට, මෙරට සිංහල චිත්‍රපට පෙන්විය හැකි සිනමා ශාලා ප්‍රමාණය සැලකිල්ලට ගෙන සියලු සිනමාකරුවන්ට සාධාරණය ඉටුවන පරිදි, චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේදී පිටපත් තිස් පහකට සීමා කළ යුතුª බවට අධිකරණයෙන් පැන වූ නියෝගය පිළිබඳ අප සැවොම දන්නවා.

ඒත් එම නියෝගයට පිටුපා යමින් හා එකී අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක් කරමින් සිංහල චිත්‍රපට පෙන්විය හැකි සිනමාහල්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් එක් චිත්‍රපටයක් වෙනුවෙන් පමණක් වෙන් කරලා. එයින් පෙනී යන්නේ නීතියටත් ඉහළින් සිදුවන යම්, යම් අදෘශ්‍යමාන හස්තයන්ගේ අයථා බලපෑම් මේ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන බවයි.

කෙනකු, දෙන්නකු මෙවැනි අයථා ක්‍රියා කලාපයන් අගය කළත්, එය සිනමා කර්මාන්තයේ පොදු මතය නොවන බව අපගේ හැඟීමයි. ඇත්තෙන්ම අද මෙවැනි ඛේදවාචකයක් සිදු වන්නේ සිනමාවට පමණක්ම නොවෙයි. පෞද්ගලික හිතවත්කම්වලට කළ නොහැක්කක් නොමැති බව මේ කාරණය හරහා අපට වටහා ගත හැකි සත්‍යයයි.

වැටත් නියරත් දෙකම ගොයම් කයි නම් අපි මේ අමාරුව වෙන කාට හරි කියමු.