වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මම රඟපෑම පටන් ගත්තේ පාසලෙන්

මම රඟපෑම පටන් ගත්තේ පාසලෙන්

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ උද්දකරාමපුත්ත තවුසා වූ කැලුම්

වන්දනා නඩේ හැමෝම මට වැන්දා

රංගන ශිල්පිියකුට කෙතරම් චරිත ලැබුණත් ඉතිහාසගත චරිත හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ වගේ කලාතුරකින් ලැබෙන චරිතයක් නිරූපණය කරන්න වාසනාව ලද රංගන ශිල්පියෙක් ගැනයි මේ කතාබහ. ඔහු නමින් කැලුම් ප්‍රේමසර රාජාභරණ. ඔහුට නිරූපණය කරන්න ලැබුණේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ උද්දකරාමපුත්ත තවුසාගේ චරිතයයි. සිදුහත් කුමරු මාර්ගඵල සොයායන ගමනේදී හමුවන සුවිශේෂ චරිතයක් වූ උද්දකරාමපුත්ත තවුසාණන්ගේ චරිතය නිරූපණය කරන්න ලැබීමත් වාසනාවක්.

මෙවැනි ඉතිහාසගත චරිතයක් ලැබීම ගැන මොකද හිතන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මුලින්ම මා තෝරා ගත්තේ සිදුහත් කුමරු දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවටයි. ඒ දවස්වල මම ටිකක් මහතයි. ඒ වෙනුවෙන් ඇඟ කෙට්ටු කරගන්න ඕනෑ වුණා. ඒ වෙනුවෙන් දවස් 22 ක් විතරයි මට තිබුණේ. අධිශක්ති බීමයි, යෝගටුයි කාලා මම කෙට්ටු වුණා. කෑම කෑවේ නෑ කියලා ලොකු හානියක් වුණේ නැහැ. කොහොම හරි මට දුෂ්කර ක්‍රියාව කරන අවස්ථාව නොවෙයි උද්දකරාමපුත්ත තවුසාගේ චරිතය තමයි නිරූපණය කරන්න ලැබුණේ.

මිට පෙර ඔබේ දායකත්වය ලද නිර්මාණ ගැනත් දැනගන්න කැමැතියි?

නිල් දිය මල්, හැන්දෑව, සාගරය සිනහ විය, ඉරට උඩින්, භවතරණ, පුංචි අපිත් බය නැහැ ටෙලි නාට්‍ය වගේම සිරි පැරකුම් චිත්‍රපටයටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා.

මේ හැම නිර්මාණයකම ලද චරිතවලට වඩා උද්දකරාමපුත්ත චරිතය වෙනස්?

ඔව්. එය මට විශේෂ චරිතයක් වුණා. මම ඒ චරිතයට පණ පෙව්වේ හරිම ආසාවෙන්. රඟපාන විට බොහොම සුන්දර අත්දැකීම්වලට එහෙමත් මුහුණ දෙන්න සිදු වුණා. සිතුල්පව්වේ තිබුණු රූගත කිරීමේදී බමුණෙක් විදියට වෙස් ගන්වල ඉන්න කොට වන්දනා නඩයක් එතැනට ආවා. කැමරා උපකරණ ළඟ පාතක තිබුණේ නැහැ. මට නිකමට හිතුණා මේ මිනිස්සු දැන් වඳියි කියලා. හිතුව වගේම හරි. ඒ වන්දනා නඩය මට දණගහල වැඳලා උඩට ගියා. උඩට යනකොට මොකද වුණේ කියලා ඔවුන්ට වැටහෙන්න ඇති. ආපහු යනකොට මුණ බලන්නෙවත් නැතුව යන්න ගියා.

කැලුම් ඔබ රංගනයට අත්පොත් තබන්නේ?

පාසලෙන්. ගම්පොල දැල්පිටිය රෝමානු කතෝලික විද්‍යාලයෙන් තමයි මම මුලින්ම වේදිකාවට පය තැබුවේ. දවසක් විවිධ ප්‍රසංගයට ළමයි පුහුණු කරනවා හොරෙන් බලාගෙන සිටියා. ඒක දැකපු අක්ක කෙනෙක් ඇවිත් ඇහුවා රඟපාන්න පුළුවන්ද කියලා. ‘පිපෙන මල්’ කියන නාට්‍යයේ පෝලියෝ හැදුන ළමයෙක් ඇවිදින විදිය ඒ අක්කා ළමයකුට උගන්වනවා. එයාට ඒක කරන්න අමාරු වුණා.

මම කිව්වා මම කරන්නම් කියලා. මම ඒ විදියට ඇවිදල පෙන්නුවම මාව ඒ නාට්‍යයට තෝරා ගත්තා. ඊට පස්සේ එකේ නම ‘කණ කොක් සුද’ කියලා නම් කළා. ඒක තමයි මගේ මුල්ම රංගනය. එතකොට මට වයස අවුරුදු 13 ක් විතර ඇති. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. තාත්තා නම් හොඳටම ඇඬුවාලු.

රංගනයට අමතරව ඔබ?

විවිධ අත්කම් නිර්මාණ කරනවා. ඊට අමතරව පොත් ලියනවා. කවි නිසදැස් ඇතුළත් කෘතියක් හා සමාජ ගවේෂණය කරල පොතක් ලියනවා. ඉදිරියේදී ඒවා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ ඉදිරි ගමන සැකසෙන්නේ?

රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුª වෙනවා. මේ වනවිටත් තවත් චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ඔස්සේ තවත් ඉදිරියට යන්න තමයි අදහස් කරන්නේ. ඒ වගේම මේ දක්වා දුරක් කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න සහාය දුන් සැමටම මගේ හද පිරි ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමැතියි.

කැලුම් ප්‍රේමසර රාජාභරණ - 0779473773