වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රොහාන්ගෙ හිනාව නවත්තන්න මට බනින්නම වුණා

රොහාන්ගෙ හිනාව නවත්තන්න මට බනින්නම වුණා

ජය ශ්‍රී ‘ආදරේ’ ගැන කතා කරයි

ජය ශ්‍රී කියන්නේ අපේ රටේ සංගීත කතා පොතේ වෙනමම තැනක ඉහළට ලියැවුණු කණ්ඩායමක්. විදෙස් රටක ජීවත් වුණත් අපේ කියලා කටපුරා කිව හැකි මේ පිරිස නිරන්තරයෙන්ම උඩුගම් බලා පිහිනන කල්ලියට ඇතුළත්. වෙනස්ම ආරවල, වෙනස්ම සංගීත රටාවන්, සංගීත භාණ්ඩ යොදා ගනිමින් තමන්ගේ නිර්මාණකරණයේ යෙදන ඔවුන් චිත්‍රපට පසුබිම් ගායනයටත් ඉතා සමීපයි.

පසුගිය දවසක ඉතාමත් කාර්යබහුලව ලංකාවට පැමිණි රෝහිත හා රොහාන් ඉතාමත් ඉක්මනින් ඔස්ට්‍රියාව බලා පිටත් වුණේ අලුත් නිර්මාණයක් අපට තිළිණ කරමිනි. ලංකාවේදී හමුවන්නට නොහැකි වුව ද විශ්වීය ගම්මානයක් වූ ලෝකයේ, නවීන තාක්ෂණය අනුව සංවාදයකට ජය ශ්‍රී එක්කර ගන්නට අපට හැකි වුණා.

ආදරේ ගීතය ගැනත් ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් ජයශ්‍රී අපිත් එක්ක කතා කළේ මෙහෙමයි.

රෝහිත කාලෙකට පස්සෙ . . .

ඔව් . . . ලංකාවට ඉතාමත් හදිසියේ ඇවිත් ගියා. ඒ ආවේ අපේ අලුත්ම ගීතයේ වැඩ කටයුතු ටික පිළිවෙළක් කරන්න. අපේ රටේ හිටිය ටික කාලෙදි වෙහෙසුණේ ඒ ගීතය වෙනුවෙන්. ඒ කෙටි නිවාඩුවේදී ප්‍රසංග කිහිපයකටත් සහභාගි වුණා. අපි ඉක්මනට ආවත් හැමෝටම අලුත් ගීතයක් ඉතිරි කරලයි ආවේ.

මෙවර මාතෘකාව ආදරේ . . .?

ඔව් . . . මං හිතන්නේ ආදරේ කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. අපි දුර රටක තනි වුණාම ලංකාවේ රසිකයන්ගේ උතුරා පිටාර ගලන ආදරේ, රසිකත්වය අපට දැනෙනවා. ඒ වගේම මේ ආදරේ අපි හැමෝම මොන විදියෙන් හරි විඳල තියෙනවා. ඒ නිසා අලුත් ගීතය ආදර ගීතයක් වීම සතුටක්. මොකද අපි විවිධ මාදිලිියේ නිර්මාණ කරන කණ්ඩායමක්. ‘පිටරට විස්තර මේව්වා’ වගේ ගීත තියෙන්නේ වෙනස් තැනක. සුදු ඇඳුමින් වගේ ගීත තියෙන්නේ වෙනම තැනක. ඉතිං මං හිතනවා මේ ගීතය තියෙන්නෙත් වෙනම තැනක කියලා.

මේ ගීතය හරහා ආදරයේ භාවිතය ගැන තමයි අපි කතා කළේ. ආදරේ කියන්නේ සුපිරිසිදු සියුම් දෙයක්. කෙනකුගේ ජීවිතය ඇති හෝ නැති කරන්නට ආදරේට පුළුවන්. මේ ගීතය හරහා ඒ පණිවුඩය අපේ යහළුවන් දෙන්නා උත්සාහ කළා.

ගීතයේ පදමාලාව අතට අරගෙන වෙනස්ම දෙයක් කරන්නට හිතුවා. රෙගේ සෝල් මියුසික් තමයි මේකට යොදා ගත්තේ. සාලිය වීරසේකර, ගාමික ද සිල්වා කියන සොහොයුරන් තමයි මේ ගීතය යථාර්ථයක් බවට පත්වන්නට වෙහෙසුණේ.

ඉස්සර වගේ නෙවෙයි අද සංගීතය අභියෝගයක් ගෙනෙන වෙහෙසකර කටයුත්තක්?

ඇත්ත. ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නට නම් අපි ශක්තිමත් විය යුතුයි. එතකොට වෙහෙසක් දැනෙන්නේ නැහැ. මේ ගීතය කරද්දී වුණත් අපි ඕනෑවට වඩා දේවල් හිතුවේ නැහැ. අපට අවශ්‍ය වුණේ රසිකයාට හොඳ දේ දෙන්නටයි. ඒ කටයුත්ත සාර්ථකයි කියල අපි හිතනවා.

මේ ගීතයට භාවිත කර ඇති රූප රචනය මෑත සම්ප්‍රදායෙන් බිඳී වෙන් වූ නිර්මාණයක්?

එහි ස්තුතිය සාලිය, ගාමික වගේම ඩ්‍රීම් ඉෆෙක්ට් ආයතනයේ ප්‍රසාද් රණසිංහ ඇතුළු සියලුමදෙනාට ලැබිය යුතුයි. මෙම ගීතයට කළ රූප රචනාව ඉතාමත් වෙනස් එකක්. මේක හරියට කෙටි චිත්‍රපටයක් කියලයි මට අදත් දැනෙන්නේ. ඒ තරමටම මේ රූප රචනාව තුළ නිධන්ගතව ගලාගෙන යන කතාවක් තිබෙනවා.

පරාජිත ආදරයක් නිසා උන්මත්තකයකු වූ තරුණයකු ගැන තමයි මේ කතාවෙන් කියැවෙන්නේ. අප මිතුරෝ දෙදෙනා ගාමික සහ සාලිය මේ කටයුත්තට චූලා දේවේන්ද්‍ර තෝරාගෙන තිබුණා. ඒ වගේම පුබුදු ගමගේ තමයි රූප රචනයේ තරුණයාගේ චරිතය නිරූපණය කරන්නේ.

රෝහිත මේ වීඩියෝව ඉතා ඉක්මනින් කළ කටයුත්තක් නේද?

මේ වෙනුවෙන් විශාල කාලයක් ගත කරන්නට අපට ඉඩ තිබුණේ නැහැ. වැඩ පටන් ගත්තේ උදේ පාන්දර. ඉවර වුණේ ඊළඟ දවසේ පාන්දර. අපි හැමෝම මේ වීඩියෝ සංග්‍රාමයට ඉතාමත් වෙහෙසුණා. හැබැයි හැමෝම එකා වගේ කටයුතුª කළා. නිදිමරාගෙන වැඩ කළා. ඒ නිසා අපේ වැඩේ සාර්ථකයි කියලා රසිකයෝ කියනවා.

ලංකාවේ වීඩියෝ ගැන මොනවද හිතෙන්නේ?

ඇත්තටම සතුටු විය හැකි නිර්මාණත් තිබෙනවා. නමුත් අපි හුරුවෙලා ඉන්නේ බජට් එකෙන් වැඩේ කුඩා, විශාල බව මනින්න. ලෝකේ ඉහළම පෙළේ සංගීතවේදීන්, ගායකයන්, සංගීත කණ්ඩායම් හැන්ඩි කැම් එකෙන් වීඩියෝ හදල තියෙනවා. නමුත් ඒ නිසා කොතනකවත් ප්‍රතික්ෂේප වෙලා නැහැ. ඒ නිසා මං හිතන්නේ බජට්, ලොකේෂන්, කැමරාව නෙවෙයි ගීතයක වීඩියෝවක වටිනාම දේ තමයි ගීතයේ අදහස තීව්‍ර කිරීම. අපි ඉන්නේ එතන.

කොහොමද අලුත් වීඩියෝවේ සුන්දර අත්දැකීම්?

ඉතාමත් සන්තෝෂයෙන් තමයි අපි කටයුතු කළේ. හැම වෙලාවෙම අපි හිටියේ හිනාවෙලා. මේ ගීතයේ තිබෙනවා ඉතාම දුක්බර දර්ශන. හැම වෙලාවෙම හිනාවේවී හිටිය නිසාම රොහාන් ඒ සංවේදී දර්ශනවලටත් හිනාවුණා. ඔහු කොතරම් හිනාව නවතා ගන්නට හැදුවත් පැරැණි දේවල් මතක්වෙලා හිනා එනවා. අන්තිමට බැරිම තැන මං හොඳටම බැනලා තමයි රොහාන්ගේ හිනාව අනවශ්‍ය තැන්වලදී නැතිකර ගත්තේ.

ජය ශ්‍රී කියන්නේ චිත්‍රපට පසුබිම් ගායනය සමඟත් සෘජු සබඳතාවක් තියෙන පිරිසක්?

ඔව් . . . ඉදිරියේදී බූඩිගේ නිම්නයක හුදෙකලාව සඳහාත් අපි ගීත ගායනා කර තිබෙනවා. තව කටයුතු කිහිපයකට ආරාධනාත් ලැබිලා තිබෙනවා.

ඉදිරිය කොහොමද?

ඉදිරියේදී ලංකාවේ රසිකයන්ට අලුත්ම දෙයක් තිළිණ කරන්නට හිතාගෙන ඉන්නවා. ඒක ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගයක්.