වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය චිත්‍රයක් පසුපස දුක හිතෙන කතාවක්

සරසවිය චිත්‍රයක් පසුපස දුක හිතෙන කතාවක්

ප්‍රවීණ චිත්‍ර කතා ශිල්පී බන්දුල හරිස්චන්ද්‍ර විස්තර කරයි

ජාතික කලා පෙරමුණ මෙහෙය වූ චිත්‍ර ප්‍රදර්ශන සඳහා මා චිත්‍ර ඇඳ ජයග්‍රහණ රැසක් ලැබීම ඇරැඹුවේ වයස අවුරුදු පහළොවේදී පටන්ය. වයස අවුරුදු විසි දෙකේදී මා මුල් වරට චිත්‍ර කතාවක් අඳිනු ලැබුවේ වීදිය බණ්ඩාර නමිනි. මෙම කතාවේ කොටස් දහයක් පමණ ඇඳ අවසන් කළ මා එය පුවත්පතක පල කර ගැනීමේ ආශාව නිසාම එයින් කොටසක් කපා එවක තිබූ රිවිරැස පත්තරයට තැපැල් කර හරිනු ලැබුවේ කෙසේ හෝ එහි එය පළ කර ගැනීමේ අදහසිනි.

දිනමිණ, සිළුමිණ, ලංකාදීප පත්තරවලට මා මෙය යොමු නොකරනු ලැබුවේ මම වැනි ආධුනිකයකු ගේ නිර්මාණයක් එවැන්නක කොහෙත්ම පළ නොවන බව හොඳාකාරව දන්නා නිසාමය. එවක රිවිරැස පත්තරයේ විශේෂාංග කර්තෘවරයා වූයේ පියල් වික්‍රමසිංහයන්ය. මම වීදිය බණ්ඩාර කතාව රැගෙන විත් පියල් වික්‍රමසිංහයන් හමුවීමි. එහෙත් ඔහුට අවශ්‍ය දිනකින් අවසන් වන කතාවක් බව මට අවබෝධයක් තිබිණි. ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ක්‍රමයක් නොවීය. එවක විකට චිත්‍ර ශිල්පිියකු ලෙස නම් දරා සිටි හෙන්රි තෙන්නකෝන් මගේ මිතුරකු විය. මම ඔහුගෙන් උපදෙසක් පැතුවේ ඒ පිළිබඳ දැනගැනිීමටය. ඔහු මට කදිම අදහසක් ගෙන ආවේය.

ඒ වීදිය බණ්ඩාර සමඟ ලේක්හවුසියේ වෙසෙන ඔහුගේ හොඳ යාළුවෙක් මුණ ගැසීමට යාමටය. ඒ අනුව පසුවදාම ඔහු කැටුව මා කොළඹ ලේක්හවුස් පැමිණියේ කුමක්වේදෝයි දෙගිඩියාවෙනි. මා මිත්‍ර හෙන්රි ඔහුගේ මිතුරාට පණිවිඩයක් යැව්වේය. ටික වේලාවකින් මිතුරා ආවේය. ඒ අන් කවරකු නොව දිනමිණ පත්තරයේ සිටි ජයවිලාල් විලේගොඩය. විලේගොඩ හෙන්රිගේ පාසල් මිතුරෙකි. විලේගොඩ මා ඇඳ තිබූ වීදිය බණ්ඩාර කතාව රැගෙන ආයතනය ඇතුළට ගියේ ඔහු එනතුරු එතනම රැඳී සිටින ලෙස පවසමිනි. පැය භාගයකින් පමණ පැමිණි ජයවිලාල් මාව කැඳවාගෙන ගියේ දිනමිණ ප්‍රධාන කර්තෘතුමන් වෙතය. ඔහු ඇම්. ඒ. ද සිල්වා මහතාය.

ඔහුද මට පැවසුවේ රිවිරැස පත්තරයේ පියල් වික්‍රමසිංහ කියූ දේමය. එහෙත් ඒ සඳහා ඔහු යෝජනාවක් ගෙන ආවේය. ඒ සාහිත්‍ය කෘති, ජාතක කතා පොත අනුව දවසෙන් ඉවර වෙන කතා අඳින ලෙසය. මා ගෙදර යන අතරතුර ගුණසේන පොත් සාප්පුවට ගොස් ජාතක කතා පොත ද මිල දීගෙන එහි කතා ඇසුරෙන් මා චිත්‍ර කතා පෙළක් දවසෙන් ඉවරවන අයුරින් දිගටම ඇන්දෙමි.

1962 ලේක්හවුස් ආයතනයට නිදහස් චිත්‍ර ශිල්පියකු ලෙස එකතු වූ මා එම වසරේ අපේ‍්‍රල් මස සිට දිනමිණට චිත්‍ර කතා නිර්මාණය කළෙමි. ජාතක කතා පොත ඇසුරෙන් මා මුලින්ම නිර්මාණය කළේ සුලසා ජාතකයයි. මොකෝ නමින් විකට චිත්‍රයක් ද මම දිනමිණට නිර්මාණය කළෙමි. නල දමයන්ති මා අතින් දිනමිණ පත්තරයට නිර්මාණය වූ ජනප්‍රිය චිත්‍ර කතාවකි. එය ලංකාවේ ප්‍රථම වතාවට වර්ණයෙන් පළ වූ චිත්‍ර කතාව විය. ප්‍රථම වර්ණ චිත්‍ර කතාව මගේම වීම එක අතකින් මට ආඩම්බරයට ද හේතුවක් විය. නල දමයන්ති දිනමිණ පත්තරයේ පළවීමත් සමඟ දිනමිණ අලෙවිය ද දිනෙන් දින වැඩි වන්නට පටන් ගත්තේය. මේ නිසාම මට විශේෂ තුටු පඬුරක්ද ලැබුණේ දිනමිණ අලෙවියට නල දමයන්ති කතාවෙන් විශාල දායකත්වයක් ලබා දී තිබූ නිසාමය.

දිනමිණට මා අඳින කතා ජනප්‍රියවීමත් සමඟ එවක සිළුමිණ පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා වූ එස්. සුබසිංහ මහතා මට ආරාධනයක් කළේ සිළුමිණටත් චිත්‍ර කතාවක් නිර්මාණය කරන ලෙසය. ඒ අනුව මා සිංහබාහු කතාව සිළුමිණට ඇන්දෙමි. මගේ චිත්‍ර කතා සඳහා පාදක වූයේ විශ්ව සාහිත්‍යයේ ඉතිහාස කතා වීම විශේෂයක් විය. කිසි විටෙකත් මා ආදර කතා නිර්මාණය නොකළෙමි.

සිළුමිණ, දිනමිණ පත්තර දෙකේ මගේ චිත්‍ර කතා පළ වන්නට වූයෙන් එවක නවයුගය හා සරසවිය පුවත්පත් දෙකෙහි ප්‍රධාන කර්තෘවරයා වූ විමලසිරි පෙරේරා මහතා මට කතා කොට කීවේ එම පුවත්පත්වලට ද චිත්‍ර අදින ලෙසය. ඒ අනුව මම නවයුගය පුවත්පතට හේලෝ නමින් චිත්‍ර කතාවක් ද, විකට චිත්‍ර ද අඳිනු ලැබිණි. විමලසිරි පෙරේරා මහතා මා ලවා සරසවිය පත්තරයට ද චිත්‍ර අන්ඳවා ගනු ලැබුවේ සරසවියේ පළ වූ කෙටිකතා වලටය. නලමුදු සුවඳ එදා සරසවියට ලියනු ලැබුවේ උපසේන ලියනගමය. චාරුලතා සරසවියට ලියනු ලැබුවේ නිව්ටන් ගුණසේකරය. ඒ සඳහා චිත්‍ර ඇන්දේ මමය. ඔය අතරේ වික්ටර් රත්නායකගේ, මාලිනී ෆොන්සේකාගේ රුව රැගත් මා අතින් අඳින ලද චිත්‍ර කීපයකින්ද එදා සරසවිය කවරය හැඩ වූ අවස්ථා තිබිණි.

ජාතක කතා හැටක් සමඟ රහස් හස්න, නල දමයන්ති, සින්බෑඩ්, හෙලන්, පෙරික්ලීස්, දේවස්මිතා, පණ්ඩුකාභය, සිංහබාහු, පෙතිගෝමර, තනිතරුව, වීදිය බණ්ඩාර, සිංහල දේශය ආදී චිත්‍ර කතා බොහොමයක් එදා මා අතින් පත්තරවලට නිර්මාණය වී ජන හදවත් ආදරයෙන් බැඳ ගනු ලැබීය. චිත්‍රකතා ශිල්පියකු ලෙස මා රට තුළ නමක් දිනා ගනු ලැබුවේ ලේක්හවුස් ආයතනයට පින්සිදු වන්නටය. චිත්‍ර කතා, විකට චිත්‍ර, නිරූපණ චිත්‍ර හා දේශපාලන විකට චිත්‍ර නිර්මාණයෙන් මම පුවත්පත් කලාවට දායකත්වයක් ලබා දුනිමි. මාගේ නිර්මාණ අතර පොත් කවර සිය ගණනක් ද විය. වසර විසි පහක් පුරාවට මුද්දර කාර්යාංශය සමඟ එක්ව මුද්දර නිර්මාණයට ද මට වාසනාව හිමි වූයේ චිත්‍ර කතා ලෝකයේ මා ලැබූ ජනප්‍රියත්වය නිසාමය.

1962 සිට 1978 දක්වා මා ලේක්හවුස් ආයතනයේ දිනමිණ, සිළුමිණ, නවයුගය, සරසවිය, සතුට පුවත්පත් සඳහාත් 1978 සිට 1986 දක්වා මල්ටිපැක්ස් ආයතනයේ සිත්තර, ස්වර්ණ, චිත්‍ර කතා පත්තර සඳහාත්, 1986 සිට 2000 දක්වා කැමිලස් පබ්ලිකේෂන් ආයතනයේ සත්සිරි, රසික චිත්‍ර කතා පත්තර සඳහාත් පෙර අපරදිග සාහිත්‍ය කෘති 170 ක් පමණ චිත්‍ර කතා ලෝකයට හඳුන්වාදීමට මට හැකි විය. ඒ අතරින් මගේම කතා දොළහක් ඉදිරිපත් කිරීමට ලැබීමත් භාග්‍යයක් විය. සිළුමිණ, දිනමිණ, සතුට පත්තරවලට මා ඇඳි පෙතිගෝමර, තනිතරුව, සත්වෙනි දවස, නයනා චිත්‍ර කතා පසුකලෙක චිත්‍රපටවලට පසුබිම් විය. සරසවියට මා ඇඳි චිත්‍රයක් කිසියම් අයකුගේ ජීවිතයේ සදා අනුස්මරණිය සිහිවටනයක් වූ අවස්ථාවක් ද තිබිණි.

මා නොදන්නා පාඨකයකුගෙන් මට ලිපියක් ලැබිණ. එදා සරසවියේ චාරුලතා කතාවට මා ඇඳ තිබූ චිත්‍රයක මුල් පිටපත හැකි නම් ඔහුට ලබාදෙන ලෙස ඔහු ඉල්ලා තිබිණි. ඒ තරමට ඒ චිත්‍රය ඔහුගේ ජීවිතයට සමීප වී තිබූ බවත් ඒ ලිපියේ විස්තර කොට තිබිණි.මම එය ඔහු අතට පත් කිරීමට ගෙන ගියෙමි. ඒ වන විට ඔහු සදහටම මෙලොවින් සමුගෙන ගොස් තිබුණේ හදිසියේමය. ඒ නන්නාඳුනන පුද්ගලයාගේ ආශාව මට ඉටු කිරීමට නොහැකි වීම මා සිත කනස්සල්ලට පත්කළ සිද්ධියක් විය.

සරසවියේ කවර කීපයක ද වැඩ කරන්නට ලැබීම ගැන මම සතුටු වෙමි. මගේ නිර්මාණයන් පාඨකයන් වෙත ගෙන යාමට මට ශක්තියක් දුන් සරසවිය තවත් කාලයක් ඒ දිරිය ශක්තිය අන් අයට ද ලබා දෙත්වා!