වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ ජීවිතය සරලයි සොඳුරුයි

අපේ ජීවිතය සරලයි සොඳුරුයි

සුරම්‍ය පාරාදීසයක අපූරු අත්දැකීමක්

අපේ ජීවිතය සරලයි සොඳුරුයි

සුන්දරව නිමවැණු ගෙමිදුලෙහි එක් කොණක මී අඹ ගසකි. වෙසක් මහේ අසිරිය සිහිගන් වන්නට මෙන් තවම මී අඹ ගසේ ගෙඩි රැසකි. ගසෙහි අතුපතර එහාටත්, මෙහාටත් පනින්නේ තුන් ඉරි අප්පුය. වරෙක ඌ අත්තක් මත ඉදිමින් කල්පනාවක නිරත වෙයි. ඒ මේ අඹ අතරින් කුමන අඹයක රස බලන්නේ දැයි තමන් හා සංවාදයක නියැලෙන්නාක් මෙනි.

එක් වරම ‘ටිං . . ටිං . .’ කියමින් අත්තක් දිගේ ගහ මුදුනට ගමන් කළ ඌ අඹ පොකුරක මී අඹයක් තේරා ගත්තේය. ඊට දත තියන්නට පෙර ඌ වටපිට බැලවේ මගේ බිරිඳ තවම නැත්තේ මන්දැයි අසන්නාක් මෙනි. එසැනින් එතැනට පැමිණියේ කඩිසර ලේනිච්චියකි.

‘දෙන්නම එකම අඹ ගෙඩිය කන අපුරුව. මේ අපූරු රංගනය දෙස බලා සිටි සහන් ගයනාට කිව්වේ මද සිනහවක් මුවඟට නඟමිනි. ගයනා ද ඊට පිළිතුරු සිනා නැගුවාය. සොබා දම් මෑණියන් මැවූ සුන්දරත්වය විඳින අපූරු යුවළකි

‘සහන්- ගයනා’

කාර්යබහුල බව අතරින් විවේකයක් ලැබුණු තවත් එක් දවසකි.

‘හරියට ගයනාත් ලේනිච්චියක් වගේමයි’ සහන් කතාවට මුල පුරයි.

‘මොකද ගයනා ගෙදර ඉන්න කොට එහාට මෙහාට පැනලා කඩිසරව වැඩ කරන්නේ ඒ ලේනිච්චි වගේමයි. ඉතිං මට පාළුවක් නෑ. මුළු ගේ ම පිරිලා වගේ දැනෙනවා’.

සහන්ගේ කතාවට ගයනාගෙන් ලැබෙන්නේ ආදරය පිරුණු සොඳුරු බැල්මකි.

‘සහන්ට ඉතිං මම ළඟටම වෙලා ඉන්නවා නම් වෙන මොකුත් ඕන නෑ. අපි ඉතිං ලේනයි - ලේනිච්චියි වගේ බොහොම සුන්දරව ජීවිතේ ගෙවනවා. ජීවිතය කියන්නේ ඇත්තටම සුන්දර දෙයක්. ඒක වඩාත් දැනෙන්නේ මේ වගේ එක් තැනකට වෙලා ගෙවන සුන්දරම කාලය නිසයි.’

ගයනාත් කතාවට අලගු තැබුවාය.

නිශ්ශබ්දතාවයේ අසිරිය විඳින්නට මෙන්ම ගමක අසිරියට ආදරය කළ මේ සොඳුරු යුවළ ජීවිතයේ සුන්දරත්වය විඳීන්නේ ගම් පියසෙයි. ඒ කියන්නේ කොළොම්පුරවරයෙන් සැතපුම් කිහිපයක් ඈතින් පිහිටි පොල්ගස්ඕවිට කියන ප්‍රදේශයේයි.

‘අපි දෙන්නගේ කැමැත්ත තිබුණේ ගමක කැදැල්ලක් ඉදි කරන්නයි. නිදහසේ නිස්කලංකව ගෙවන කාලය ඒ වගේ තැනක ගත කරන්න ලැබීම කොයි තරම් අගේද කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි.’

කාලයකට පස්සේ විවේකයක් ලැබිලා වගෙයි.

‘පසුගිය කාලයේ එක දිගට ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා. අපේ ටෙලි නාට්‍ය කිහිපයකත් වැඩ කළා. ඒ නිසා සහන් වගේම මමත් කාර්යබහුල වුණා. කාර්යබහුලත්වයෙන් මිදිලා ලැබෙන මේ විවේකය ඒ තරමටම වටින්නේ මේ නිසයි.’

ගයනා මෙහෙම කියන කොටම මට මතක් වුණේ දුර්ගාය. ‘මේ සුරම්‍ය පාරාදීසේ’ හි දුර්ගාය. බොහෝදෙනෙකුට සුදු හාමිනේ අමතක වී දුර්ගා සිය හදවතෙහි ජීවත් වන තරම්ය.

‘ඉතිං දුර්ගා’

මම ඈ ඒ නමින් ඇමතීමි.

‘දුර්ගා කියන්නේ මගේ රසික – රසිකාවන් සුදු හාමිනේ තරම්ම ආදරය කළ චරිතයක්. පවුල් සංස්ථාවේ සැකය පදනම් කරගෙන ඇතිවන ගැටුම් හා එවන් අවස්ථාවකදී කාන්තාවක් කටයුතු කරන්නේ කොහොමද කියලා තමයි මින් පෙන්වන්නේ. හිතේ තිබෙන ඉවසීමේ ගුණාංගය කොතරම් ද කියලා දුර්ගා කියන චරිතය ඔස්සේ කියනවා. ඒ වගේම දුර්ගා ශක්තිමත් හා බුද්ධිමත් ගැහැනියක්. ඈ සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ පේළි ගෙවල් පේළියක. සාමාන්‍ය ගැහැනියකගේ මේ චරිතය මුළු කාන්තා පරපුරටම ආදර්ශයක් වේවි කියලා මම හිතනවා. මම හිතන්නේ නාට්‍ය අවසාන වෙනකොට මේ සැකය නිසා වෙන්වුණු පවුල් කිහිපයක් හෝ ළං වෙන්න ඇති කියලා. ඒ තරමටම මේ සුරම්‍ය පාරාදීසේ ටෙලි නාට්‍යයට ආදරය කළ අය බොහොමයි. ඒ අතර ඉංජිනේරුවරු, වෛද්‍යවරු හිටියා. ඒ අය අපට කතා කළ නිසයි ඒ වග අපි දන්නේ.’

පසුගිය දිනවල ජාතික රූපවාහිනියේ රාත්‍රී 7.30 ට විකාශය වූ ‘මේ සුරම්‍ය පාරාදීසේ’ ටෙලි නාට්‍යය බොහෝ ප්‍රේක්ෂක සිත් ගත්හ. එහි තැන්පත් අවිහිංසක සැමියෙකුගේ මෙන්ම පියෙකුගේ චරිතයට පණදුන් රංගන ශිල්පියා අප අසලය.

‘ඔබ රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්.’

මෙතෙක් සහන් පණදුන් භූමිකා සියල්ල මම මතකයට නැගුවෙමි.

‘මෙතෙක් මා නිර්මාණ පහළොවක් නිෂ්පාදනය කරලා තිබෙනවා. මා නැවත අධ්‍යක්ෂණය කළ ‘තුෂාරා’ චිත්‍රපටයට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. විශාල ලාබයක් ඉපැයුවා. මේ කියූ භූමිකාවන්ගෙන් ලැබෙන ඒකාකාරී බවින් මිදෙන්න ඕන නිසා තෝර ගත්ත පිටපත් කිහිපයකට පමණක් මා රංගනයෙන් දායක වුණා. ඒ චරිත අතර රන්ජන්ගේ චරිතයට විශාල ප්‍රතිචාර රාශියක්ම ලැබුණා. ඒක මට සතුටක්.’

ඒ අතර රන්ජන්ගේ චරිතය පිළිබඳ යමක් පැවසීමට ගයනා ද අමතක නොකළාය.

‘රන්ජන්ගේ චරිතයට සහන් කොයි තරම් පිවිසිලා රඟපෑවද කිව්වොත් ඒ චරිතයේ සමහර අවස්ථාවලදී රන්ජන්ගේ දෑසින් කඳුළු ගලනවා. ඒ වගේ අවස්ථාවලදී සහන්ගේ ඇස් දෙකට ඇත්තටම කඳුළු ආවා. දිගු කාලයක් රඟපෑව මට වුණත් කඳුළු ගන්න ටිකක් අමාරු වුණත්, සහන්ට නම් ඒක බොහොම පහසු වුණා.’

ඔහු කොපමණ ආදරෙන් රන්ජන්ට පණ දුන්න ද කිව්වොත් අපූරු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සහන්ට සිදුවුණේ මේ ළඟදියි.

‘මම වෙසක් පෝයට සිල් ගත්තා. ඒ මේ ළඟ පන්සලක. ඒ හිටිය උපාසක – උපාසිකාවෝ මාව වටකර ගත්තා. ඔවුන් ඇහුවේ රන්ජන්ගේ චරිතය පිළිබඳයි. සිල් ගන්නවා කොහොම වෙතත් මට දවසෙම කතා කරන්න වුණේ රන්ජන් ගැනයි.’

වසර පහ, හයකට පස්සේ සිල් ගත්ත සහන් විජේසිංහට මුහුණ දීමට සිදුවුණු ඒ අපූරු අකරතැබ්බයට නම් අපි හැමෝටම සිනා ගියෙමු.

‘මේ විදියට විවේකයෙන් ඉන්නේ නව නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

ඒ සිනහව අතරෙහි තවත් පැනයකි.

‘මීළඟ මගේ නිර්මාණය ‘වීදි පහන්’. වෙනස්ම විදියක කතා තේමාවක් රැගත් නිර්මාණයක්. ළඟදීම ප්‍රේක්ෂකයන්ට එය දැකගන්නට ලැබේවි. ඒ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ මාලක නන්දන. තුසිත අනුරාධ කැමරා අධ්‍යක්ෂවරයා. මේ ලැබුණු විවේකයේ මම ටෙලි නාට්‍ය පිටපත් කිහිපයක් කියවමින් ඉන්නේ.’

‘ඒ විතරක් නෙමෙයි’

සහන්ගේ ජීවිතයේ තවත් හොරයක් හෙළි කරන්නට ගයනා සූදානම් වූවාය.

‘මේ දවස්වල සහන් හවසට ගී ගයන්න වගේම වයන්නත් පුරුදු පුහුණු වෙනවා.’

සහන්ගේ උස් සිනහ හඬ මුළු නිවෙස පුරාම විසිරී පැතිරී යෑමට ගතවූයේ නිමේෂයකි. ඔහුගේ ස්වරයෙන් ගැයෙන්නේ අපේ ප්‍රවීණ ගායන ශිල්පී ජෝතිපාලයන්ගේ මියුරු ගීතයකි.
 

‘ටජ්මහලක් තනවන්න නෑ මට

ඔබෙ සෙනෙහසට හිමි

හිස් අහසේ ගෑවෙන්න තරමට

ගී සෑයක් බඳිමි’

ගයනා දෙස බලාගෙන සහන් මේ ගයන්නේ ඇයට සිය හදවතෙතහි උපන් ආදරයම නොවේද?

සමුගන්නට මත්තෙන් අපට සිතුණි.