වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රටවිරුවෝ තරු හයක්

රටවිරුවෝ තරු හයක්

රෙක්ස් කුමාර සේපාලිකා කුමුදිනි
ජයසේන මීටගේ සුරනි නිලංකා
සුසන්ත දේවපි‍්‍රය එච්.ජී.චාන්දනී

මේ පිටුව වෙන් කෙරන්නේ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාවේ සිය කලා කුසලතා පෙන්වන්න සූදානම් අපේම සොයුරු සොයුරියන් පිරිසක් වෙනුවෙන්. මේ වන විට කුවේට් හා කටාර් හි පැවැති අදියරයන්ගෙන් පසුව දැන් රටවිරුවෝ වේදිකාව ඉදි වෙලා තියෙන්නේ ලෙබනනයේ. මේ එහි සිව්වන අදියරයි. ලබන 09 වැනි ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ තවත් රටවිරුවන් හය දෙනෙකුගේ ගායන හැකියාවන් ඔබට දැක බලා ගන්න පුළුවන්. මේ එම රටවිරුවන් හය දෙනා.

අද මුලින්ම රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්නේ රෙක්ස් ප්‍රියන්ත කුමාර ප්‍රනාන්දු. කටුනේරියේ පදිංචි රෙක්ස් ප්‍රනාන්දු විදෙස් සේවයට එක් වෙලා මේ වනවිට වසර අටක් පමණ ගත වෙලා. පාසල් අවදියේ සිට සංගීත ක්ෂේත්‍රයට උනන්දුවක් දැක් වූ ඔහු දැන් ලෙබනනයේ සිට රටවිරුවෝ වේදිකාවෙන් සිය ගායන හැකියාව ලොවටම පෙන්වන්න සූදානම්.

හේවා ගුරුසිංහගේ චාන්දනී රටවිරුවෝ වේදිකාවෙන් සිය ගායන හැකියාව දක්වන්නට වාසනාව ලද රටවිරුවෙක්. කුඩා කාලයේ සිට ගායනයට උනන්දුවෙන් සිටි ඇයට මෙම අවස්ථාව උදා වුණේ රටවිරුවෝ වේදිකාවෙන්. ඒ අනුව ලබන ඉරිදා රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් හරහා සිය ගායන කුසලතා දක්වන්න සූදානම්. මාතර පදිංචි චාන්දනි විදෙස් සේවයට එක්ව මේ වන විට වසර එකොළහක් ගත වෙලා තියෙනවා.

බූස්ස පදිංචි ජයසේන මීටගේ මීළඟට රටවිරු වේදිකාව ගීතවත් කරන්න එක්වෙන තරුවයි. සහජ හැකියාවෙන් ලද ගායන කුසලතාව දියුණු කරගත් ඔහුට අද ලෙබනනයේ රටවිරුවෝ වේදිකාවෙන් තම හැකියාවන් දක්වන්න අවස්ථාව උදා වෙලා. ජයසේන මීටගේ විදෙස් සේවයට එක්ව ඇත්තේ 1996 වසරේ සිටයි.

රුවන්පුර ප්‍රසන්න දේවප්‍රිය සිව්වන අදියර යටතේ ලෙබනනයේ රටවිරුවෝ වේදිකාවට එක්වන තවත් ගායන තරුවක්. සහජයෙන් ලද ගායන හැකියාව පාසල් කාලයේදී තව තවත් වර්ධනය කර ගත් ඔහු සිය ගායන කුසලතා දක්වන්ට තෝරා ගත්තේ රටවිරුවෝ වේදිකාවයි. අලුත්ගම පදිංචි ප්‍රසන්න දේවප්‍රිය විදෙස් සේවයට එක් වෙන්නේ 2009 වසරේ සිටයි.

මීළඟට රටවිරුවෝ වේදිකාව සමඟ එක් වෙන්නේ හෙට්ටිආරච්චිගේ සුරේනි නිලංකා. ඇය සිය ගායන හැකියාවෙන් ලෙබනනයේ රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. ගායනයට පමණක් නොව රංගනයට මෙන්ම නර්තනයට ද විශේෂ දස්කම් දක්වන සුරේනි ගායන ක්ෂේත්‍රයට යොමු වී ඇත්තේ 2010 වසරේදී විදෙස් සේවයට එක් වූ පසුවයි.

සේපාලිකා කුමුදුනි කරුණාරත්න මෙවර රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වෙන අවසන් තාරකාවයි. සහජයෙන් ලද ගායන කුසලතාව දියුණු කරගත් ඇය අද ලෙබනනයේ ඉදි වූ රටවිරුවෝ වේදිකාවෙන් එය ලොවටම පෙන්වන්න සූදානම්. ගෘහ සේවිකාවක ලෙස ලෙබනනයේ විදෙස් සේවයට කුමුදුනී එක් වී ඇත්තේ 2011 වසරේ සිටයි.