වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අද තිබෙන්නේ ටෙලි නාට්‍ය අර්බුදයක්

අද තිබෙන්නේ ටෙලි නාට්‍ය අර්බුදයක්

සු ද ත් රෝ හ ණ

ඉදිරියේදී ස්වර්ණමය යුගය පැමිණේවි

1985 වසරේදී තිස්ස අබේසේකරයන්ගේ විරාගය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස කලා ක්ෂේත්‍රයට අත් පොත් තැබූ ඔහුගේ පළමු ටෙලි නිර්මාණය වූයේ කමල් පෙරේරාගේ කෙටි කතාවක් ඇසුරින් නිර්මාණය කළ ‘අමරාවතී සහ සෝමදාස’ නම් ඒකාංගික ටෙලි නාට්‍යයයි. ඇන්. ටී. කරුණිතිලකගේ ‘උළු ගෙදර ආච්චිලා’ සාහිත්‍ය කෘතිය ඇසුරින් නිර්මාණය කළ ‘සුදු කළුවර’ ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය විය.

එදා මෙදාතුර සාහිත්‍ය කෘති රැසක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට රැගෙන එමින් සාහිත්‍ය කලාවට කළ සේවය වෙනුවෙන් මෙතෙක් මෙරට පුද්ගලයෙක් ලද එකම සම්මානය ලෙස ස්්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී විශේෂ ගෞරව උපහාර සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු ප්‍රතිභාපූර්ණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණය. අද අපේ කතාබහට එකතුª වන්නේ ඔහුයි.

මුලින්ම දැනගන්නට කැමැතියි මේ දවස්වල කරගෙන යන අලුත්ම වැඩ ගැන?

‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයෙන් පසු නිර්මාණය කෙරෙන අලුත්ම ටෙලි නාට්‍යයයි ‘ගිරිකුළ’. එහි ශබ්ද සහ සංගිීත පටිගත කිරීම් මේ දිනවල සිදු කෙරෙනවා. එම කටයුතු අවසන් කිරීමෙන් පසු ලබන ඔක්තෝබර් මාසයේ සිට එය ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය කරන්න කටයුතු සූදානම්.

‘ගිරිකුළ’ රචනා කළේ අපේ රටේ දක්ෂ ලේඛිකාවක වන ශාන්ති දිසානායක විසින්. මේ කාර්යයේදී ඇයත් සමඟ කටයුතු කරද්දී ලද සහාය ගැනත් සඳහන් කරමු?

නවකතාවක් හෝ කෙටි කතාවක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට ගෙන ඒමේදී මම හැම විටම උත්සාහ කරන්නේ එහි තේමාව වඩාත් ප්‍රේක්ෂකයන්ට දැනෙන පරිදි ඉදිරිපත් කිරීමටයි. එහිදී අදාළ කෘතියේ යම් කොටස් බැහැර කරන්නත් තවත් කොටස් එකතු කරන්නත් සිදුවන අවස්ථා එළඹෙනවා. මම එය ඉතාම වගකීමෙන් සිදු කරන්නේ ටෙලි නිර්මාණයට වගේම අදාළ කෘතියටත් හානියක් නොවන ආකාරයෙන්. එම සංශෝධනවලට ලක්වීම පිළිබඳ ශාන්ති දිසානායකට හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසාම ඒ සම්බන්ධව කිසිම චෝදනාවක් ඇයගෙන් එල්ල වුණේ නැහැ.

වර්තමානයේදී නවකතා පාදක කරගත් ටෙලි නිර්මාණ බිහි වීම සුලභ වෙලා තියෙනවා. ඔබේ නිර්මාණ බොහොමයක්ම නවකතා, කෙටි කතා කෘති ඇසුරෙන් නිර්මාණය වූ ඒවා. මේ පිළිබඳ ඔබේ අදහස?

පසුගිය කාලයේ පොත් පරිශීලනය කරන පිරිස අඩු බවක් දක්නට ලැබුණත් අද වන විට එහි යම් ප්‍රබෝධයක් ඇති වී තිබෙන බව දක්නට ලැබෙනවා. සමාජ ගනුදෙනුවෙන් ඈත්වෙමින් තිබූ පොත රූපවාහිනි මාධ්‍යයට ගෙන ඒමත් සමඟින් පොතෙන් ඈත් වූ පිරිස නැවත පොත් පරිශීලනයට පෙළඹෙන බව පැහැදිලි වෙලා තියෙනවා. ඒ වගේමයි මෙහිදී රූපවාහිනි ප්‍රේක්ෂකයන් වැඩි වෙනවා වගේම නැවත පොත් පරිශීලනය කරන පිරිසත් වැඩි වෙනවා.

මෙහිදී මා නිර්මාණකරණයට තෝරා ගන්නේ හොඳ කෘති. විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ ‘කරුවල ගෙදර’, ‘ස්වයංජාත’ වැනි කෘතිවල මුල් මුද්‍රණයට වඩා ටෙලි නාට්‍යය විකාශය වීමෙන් පසු මුද්‍රණ අලෙවිය වර්ධනය වෙලා ඇති බව වාර්තා වුණා. තවත් විශේෂයෙන් සඳහන් කළ යුතුª කාරණයක් තියෙනවා.

ස්වයංජාත කර්තෘ සමරවීර විජේසිංහ වරෙක පවසා තිබුණා ‘තම කෘතියට වඩා ස්වයංජාත ටෙලි නාට්‍යය ඉහළ තැනක තිබෙන බව’.

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ඔබ දකින පරිදි අද ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වයක් තියෙනවාද?

පැහැදැලිවම අර්බුදයක් තියෙන බව කිව යුතුයි. නිසි ප්‍රමිතිකරණයක් නොමැති වීම මෙයට ප්‍රධානතම හේතුව බවට පත්වෙලා තියෙනවා.

මේ නිසා තමයි අපි ටෙලි නාට්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය ලෙස ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වාරණ මණ්ඩලයක් ඉල්ලා සිටියේ.

අතීතයේදී වේදිකා නාට්‍ය සහ සිනමාවේ ගුණාත්මක හා සදාචාරාත්මක බව ඉලක්ක කර ගනිමින් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ ආඥා පනත නිකුත් කෙරුණා. එකල රූපවාහිනි කලාව මෙරට ආරම්භ වී නොතිබීම නිසා ටෙලි නාට්‍ය මෙයට ඇතුළත් නොවූවත් අද වන විට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රූපවාහිනිය වටා රැස්ව සිටින හෙයින් එහි අවශ්‍යතාව අද මූලික වෙලා තියෙනවා.

මේ වෙනුවෙන් වූ කැබිනට් අනුමැතිය දැනටමත් හිමි වෙලා තිබීම පිළිබඳ සතුටුයි. සංස්කෘතික හා ජනමාධ්‍ය අමාත්‍යාංශ එක්ව ඉදිරිපත් කළ මේ කැබිනට් පත්‍රිකාවට පසුගිය වසරේදී අනුමැතිය හිමි වුණා.

ඒ වෙනුවෙන් වූ ක්‍රියා මාර්ග මේ වන විට සකස් කෙරෙමින් තිබීම ක්ෂේත්‍රයේ ගුණාත්මක නිර්මාණ ඉදිරිපත්වීමට පරිසරයක් බිහි වේවි. අද වන විට බොහොමයක් ටෙලි නිර්මාණවල ගුණාත්මක බව පිරිහිලා තියෙනවා. උදේ රූගත කරන දර්ශනය රාත්‍රියේ විකාශය කෙරෙන තත්ත්වයක් අද ඇති වෙලා තියෙන්නේ.

එදා අද වගේ නොවෙයි අධ්‍යක්ෂවරයා, තිර රචකයා සමඟින් නළු නිළියන් සාකච්ඡා කළ යුගයක් තිබුණේ. අද ක්ෂේත්‍රයේ එකම නාට්‍යයේ වුණත් එකිනෙකා හඳුනන්නේ නැහැ. අදාළ දවසට ඇවිත් තමාට අදාළ දර්ශනය රූගත කරල යන්න යනවා. One Take Ok .නමුත් ඉදිරියේදී ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් බිහි වේවි කියන බලාපෙරොත්තුව අද අපට තියාගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙමින් තියෙනවා. මේ අනුව ක්ෂේත්‍රයට පිවිසෙන දක්ෂ නවක නිර්මාණකරුවන්ට තම නිර්මාණ ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලැබේවි.

රන්මිහිතැන්න වගේ ස්ථානයක් ලංකාවට කෙතරම් ප්‍රයෝජනවත්දැයි ඔබ සිතනවාද?

රන්මිහිතැන්න අපේ කලා ක්ෂේත්‍රයට අවශ්‍යම තැනක්. එය මෙතෙක් සිදු වූ යහපත්ම දෙයක් ලෙස මම දකිනවා. නමුත් එහි පවතින අය කිරීම් ප්‍රායෝගික පැත්තෙන් අපහසුයි.

අද සාමාන්‍ය කෙනකුට එහි සිට රූගත කිරීමක් කරන්නට ඒ අනුව බාධා පැමිණිලා තියෙනවා. නමුත් ටෙලිනිස සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මුලින් එකඟ වී තිබූ පරිදි මිල ගණන් සංශෝධනය වෙනවා නම් මෙය මීට වඩා සක්‍රිය වේවි.

මෙහි පහසුකම් අතින් උපරිම පහසුකම් තියෙන බව විශේෂයෙන් කිව යුතුයි. මෙය ආරම්භ කරන්න හඬක් නැගූ අයකු ලෙස මෙවැනි ස්ථානයක් ස්ථාපිත වීම පිළිබඳ ඉතාම සතුටුයි.

එහි පළමු රූගත කිරීම සිදු කළෙත් මගේ ස්වයංජාත ටෙලි නාට්‍යයයි. නමුත් මිල ගණන් සංශෝධනය වුණොත් මෙය මීට වඩා ප්‍රායෝගික ස්ථානයක් බවට පත් වේවි.

ඔබ මෙගා රැල්ලට විරුද්ධව හඬක් නැගූ අයෙක්. එයට මොකද වුණේ?

සාර්ථක වුණා කියලා කියන්න පුළුවන්. ජාතික ප්‍රතිපත්තිය සමඟින් අපිට එය යම් මට්ටමකට සීමා කරන්නට හැකියාව ලැබුණා.

වර්තමානය වන විට ටෙලි නාට්‍ය හා රූපවාහිනි නාලිකා අතර සිදුවන්නේ ගනුදෙනුවක්. මේ පිළිබඳ ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?

අද වන විට බොහොමයක් ටෙලි නාට්‍ය නිර්මාණය කෙරෙන්නේ රූපවාහිනි නාලිකාවලට අවශ්‍ය පරිදියි. එහි ප්‍රධාන රංගන ශිල්පීන් පවා තෝරා දෙන්නේ ඔවුන්. අඩුම ගානට අරගෙන වැඩිම ගානට දෙන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. තරගකාරිත්වය නිසා අද එය රුපියල් සත බවට පත්වෙලා තියෙනවා.

ඔබ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්. ඒ පිළිබඳත් ටිකක් කතා කරමු?

‘අවිඳු අඳුර’, ‘සිසිලියාට පාඩමක්’, ‘කටු ඉඹුල’, ‘උතුවන්කන්දේ සරදියෙල්’, ‘කරුවල ගෙදර’, ‘ස්වයංජාත’ යන නිර්මාණ සම්මාන උළෙල රැසකදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ගන්න සමත් වුණා. ‘සුදු කළුවර’ චිත්‍රපටයට 2002 වසරේදී සරසවිය සම්මාන උළෙලේදී හොඳම සංගීත නිර්මාණය සහ කුසලතා සම්මානයක් හිමි වුණා.

යළිත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න අදහසක් නැද්ද?

අනිවාර්යයෙන් චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එයත් ඓතිහාසික කතා පුවතක් රැගත් සාහිත්‍ය කෘතියක් පාදක කරගත් නිර්මාණයක් වේවි.

ඉදිරි ටෙලි නිර්මාණ ගැනත් සටහනක් තබමු?

මේ දිනවල පොත් පරිශීලනය කරමින් සිටිනවා. මීට පෙර කිය වූ කෘති පවා එයට ඇතුළත්. මම සාමාන්‍යයෙන් එක් ටෙලි නිර්මාණයක් වෙනුවෙන් වසර දෙක හමාරක පමණ කාලයක් වැය කරනවා.

ඒ සඳහා වියදම අධිකයි වගේම හරිම වෙහෙසකරයි. මේ සරල කොළඹ ඉඳල මට නිර්මාණ කරන්න අමාරුයි. ඒ නිසා කාලයක් රැගෙන ඉදිරි නිර්මාණ කටයුතු කරන්න සූදානම්.