වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




චරිතය නමට එක් කළ රංජිත් දයානන්ද

චරිතය නමට එක් කළ රංජිත් දයානන්ද

එකම ටෙලි නාට්‍යය මුහන්දිරම් වලව්ව

එදා ජනප්‍රිය තිර තරුවක් වීමට චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑ යුතුම නොවීය. උප හෝ සහායක චරිතයක් තුළින් වුවත් ප්‍රේක්ෂක මතකය හා විචාරක පැසසුම් ලබා ගත හැකි විණ. එය තහවුරු කිරීම සඳහා නිදසුන් එමට තිබේ. වනමල චිත්‍රපටයේ සීමන් ආතා එවැනි චරිතයකි. ඔහු පිළිබඳ විචාරකයින් පැවසුවේ වේශ නිරූපණයේ දුර්වලතා ඇතත් රංගන ශිල්පියා තම කාර්ය මැනවින් ඉටු කොට ඇති බවයි.

ඉන් පසුවත් මේ රංගන ශිල්පියා ප්‍රධාන නොවන චරිතයන්ගෙන් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගත්තේය. අද කලා ලොවින් බැහැර අප්‍රකට දිවි අරණක වෙසෙන මොහු අනිකකු නොව රංජිත් දයානන්දය. ඔහු සමඟ ගත කළ හෝරා කිහිපයකදී විමසා දැනගත් අතීත වගතුග මෙලෙස සටහන් කරනුයේ තවත් පැරැණි නළුවකු පිළිබඳ මතකය අලුත් කරලීම පිණිසය.

* ඔබ රංගනයට සම්බන්ධවීමට මූලික පියවර තැබුවේ කෙසේද?

අපේ පුංචි සන්ධිය මෙරටේ ඉන්දීය චිත්‍රපට බහුලව ප්‍රදර්ශනය වූ වකවානුවක්. ඔය කොයි කවුරුත් වගේ මමත් සිනමාහල් වෙත රිංගුවා. එහි තිරයෙන් දුටු නළුවන් මගේ සිහින වීරයන් බවට පත් වුණා. ඒ නිසාම මටත් නළු උණක් හැදුණා. ඔය කාලයේ නාට්‍යවේදී සිරිල් පී. අබේරත්න පදිංචිව සිටියේ වැල්ලම්පිටියේ. කොහොම නමුත් ඔහුව දැන හැඳින ගන්න ලැබුණා.

මගේ නළු උණ වටහා ගත් ඔහු මට සුරඟනී චිත්‍රපටයේ චරිතයක් රඟපාන්න ආරාධනා කෙරුවා. එහි මගේ චරිත රංගනය චිත්‍රපටය පුරාවට විහිදෙන ප්‍රබල එකක්. එය උප හෝ සුළු චරිතයක් කියන්නත් අමාරුයි.

* ඔබේ කුලුඳුල් රංගනය රැගත් සුරඟනී චිත්‍රපටය ගැන මීට වඩා වැඩි යමක් මතක නැද්ද?

සුරඟනී චිත්‍රපටයේ රූපගත කිරීම් බොහෝමයක් මදුරාසියේ නෙප්චූන් චිත්‍රාගාරයේ සිදු කළා. අධ්‍යක්ෂවරයා වශයෙන් සිරිල් පී. අබේරත්න සිටිය ද ඔහුට සිනමාව පිළිබඳව තාක්ෂණික දැනුමක් නොතිබුණ හෙයින් රූපගත කිරීම් සිදු වුණේ කේ. වෙම්බු නම් කාර්මික අධ්‍යක්ෂවරයකුගේ උපදෙස් මතයි. සුරඟනී චිත්‍රපටයේ නිෂ්පාදකවරු සිලෝන් තියටර්ස් සමාගම. මෙහි ප්‍රධාන චරිත සේන – එඩී ජූනියර්, සුරංගනී – දිෂ්ණා රංජනී, කුදා – ඩී. ආර්. නානායක්කාර, සේනගේ මව - පර්ල් වාසුදේවි, සුරංගනීගේ පියා හා සේනගේ බාප්පා - ගොඩ්ප්‍රි ප්‍රනාන්දු, රම්‍යා - කාන්ති ගුණතුංග, ඩගී - කිංස්ලි ජයසේකර, සුරංගනීගේ මව - රොසලින් ප්‍රනාන්දු රඟපෑවා. මම රඟපෑ රංජිත් කියන චරිත නාමය පසුව මගේ නමට එකතුª වුණා.

* එතකොට ඔබ රංජිත් දයානන්ද නොවෙයිද?

1933 පෙබරවාරි 09 වැනිදා වැල්ලම්පිටියේ උපන් මගේ උප්පත්ති නාමය ජේ. ඩී. දයානන්ද. ඒ කියන්නේ ජාසිංහගේ දොන් දයානන්ද. සිනමාවට ගැළපෙන විදියට රංජිත් දයානන්ද වුණේ සුරඟනී චිත්‍රපටය නිසයි.

* සුරඟනී චිත්‍රපටය දුලාරි හින්දි චිත්‍රපට අනුකරණයක් කියන කතාව ඇත්තක්ද?

සිංහල චිත්‍රපට කතා හරය හින්දි චිත්‍රපටයට සමාන බව ඇත්ත. එසේ වුණත් හින්දි චිත්‍රපට අනුකරණයක් කීම කොහෙත්ම සාධාරණ නැහැ. ඔය වගේ පටලැවිලි අනන්තවත් සිනමාවේ දකින්න පුළුවන්.

1955 සුරඟනීගෙන් ඇරැඹෙන ඔබේ කලා දිවිය එතැන් සිට සක්‍රීය වන්නේ කොයි ආකාරයටද?

සුමිත්‍රා නමින් ඡායාරූප ශාලාවක් තිබුණා කොස්ගස් හන්දිියේ. අයිතිකාර මිත්‍රරත්න මම හොදින් දන්නා හඳුනන මහත්තයෙක්. එතුමා වෙසක් උත්සවයට ඡායාරූප ශාලාව ඉදිරිපිට එළිමහන් වේදිකා නාට්‍ය රඟ දක්වනවා.

මේ නාටක නිර්මාණය කරන්නේ ධර්ම ශ්‍රීී කල්දේරා. වරක් මාව දුටු ඔහු තම රිදී රේඛා නිෂ්පාදක සංගමයේ නාට්‍යවලට සම්බන්ධ කරගත්තා. මගේ මුල්ම ප්‍රසිද්ධ වේදිකා රංගනය ඇතුළත් දීපා නාට්‍යයේ චිත්‍රා ඩී. විතාන, නවනන්දන විජේසිංහ, රෝහිණී සුදසිංහ, රැල්්ප් විජේසේකර, නන්දා හෙට්ටිආරච්චි රඟපෑවා මතකයි. ගීීත ප්‍රබන්ධය කළේ නවනන්දන විජේසිංහ. වේදිකා පාලනය හා කලා කටයුතු ගුණරත්න රත්නායක කළා.

දීපාගෙන් පටන් ගන්නා ඔබේ වේදිකා රංගනය කොතෙක් දුරට ව්‍යාප්ත වුණාද?

උල්කාපාත, මධුමතී, අසුභ සහ මනෝ රතේ, ගිනි කඳු ආදී නාට්‍ය කිහිපයකින් ඉදිරියට ආවා. මේ හැම නිර්මාණයකම ප්‍රධාන චරිත වීම විශේෂයි. මෙයින් මධුමතී ශ්‍රීී ලංකාවේ ප්‍රථම විරිදු නාටකය ලෙස විස්තර කරන්න පුළුවන්. ධර්ම ශ්‍රී කල්දේරාගේ නිෂ්පාදන අධ්‍යක්ෂණයක් වූ මෙහි රචකයා විමලවීර පෙරේරා. ඔහු බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ පුත්‍රයෙක්.

සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ විමලසිරි පෙරේරාගේ සොහොයුරා. 1964 වේදිකා ගත මධුමතී විරිදු නාටකයේ මා සමඟ රංජනී ඇල්පිටිය, විජේරත්න වරකාගොඩ, අමරා හිඳුරංගල, ෆෙ‍්‍රඩී සිල්වා, අයිරාංගනී දිසානායක, පී. එච්. ධර්මසේන, කිංස්ලි දිසානායක චරිත නිරූපණයේ යෙදුණා. සංගීතය කමල් සී. අතුකෝරාළගෙන්.

ධර්මසේන බස්නායකගේ අසුභ සහ මනෝ රතේ නාට්‍යයේදී අනුලා බුලත්සිංහල, ප්‍රේමසිරි කල්පගේ, සුවිනීතා වීරසිංහ, මර්වින් ජයතුංග, රත්නා සුමනපාල, සරත් චන්ද්‍රසිරි හමු වුණා. රංග භූමි පාලනය කළේ තිලක් ගුණවර්ධන.

* ඔබේ සිනමා රංගනය යළිත් දකින්න ලැබෙන්නේ මොන චිත්‍රපට තුළින්ද?

1960 තිරගත වනමල චිත්‍රපටයේ සීමන් ආතාගේ චරිතය රැඟුවේ මම. ඊළඟට 1961 කුරුලු බැද්ද, 1966 සීතල වතුර, 1967 රෑන ගිරව්, 1975 රජගෙදර පරෙවියෝ, 1977 ශ්‍රී මදාරා, 1982 අධිෂ්ඨාන හා මලට නොඑන බඹරු යන චිත්‍රපටවල චරිත නිරූපණයන්ට දායකත්වය දුන්නා. මෙකී චරිත නිරූපණ අනු පිළිවෙළට දක්වතොත් කුරුලු බැද්දේ ගැමි සැමියා, සීතල වතුරේ සොහොයුරා, රෑන ගිරව් හි ආරක්ෂකයා, රජගෙදර පරෙවියෝ පතල්කරුවා, ශ්‍රීී මදාරා වයස්ගත සේවකයා, අධිෂ්ඨාන දායකයා, මලට නොඑන බඹරු පියා, හැබැයි මම වඩාත් ජනප්‍රිය වුණේ කුරුලු බැද්ද චරිතයෙන්.

* ඔය චිත්‍රපට ගැන අප නොදන්නා මතකයන් ඔබ සතුව තිබෙනවාද?

කුරුලු බැද්ද ආරම්භක අධ්‍යක්ෂවරයා ගම්පහ විමලනාත් දිසානායක. නිෂ්පාදකවරයා මීරිගම පදිංචිව සිටි සෙනෙට් මන්ත්‍රී ජෝන් ඊ. අමරතුංග. කතා රචකයා බණ්ඩාරනායක අගමැතිතුමාගේ ලේකම්වරයකු ලෙස කටයුතුª කළ හග්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න. මොන යම් හේතුවක් නිසා හෝ විමලනාත් කුරුලු බැද්ද අතහැර ගොස් තිබෙනවා.

ඊට පස්සේ අධ්‍යක්ෂණය එල්. එස්. රාමචන්ද්‍රන්ට පැවරුණා. මුළුමනින්ම රූපගත කිරීම් සැලසුම් කළේ නිෂ්පාදක හා කතා රචකගේ පූර්ණ උපදෙස් මත. සමහර අවස්ථාවල ප්‍රධාන නිළි පුණ්‍යා හීන්දෙනියගේ උපදෙස් පවා පිළිපැද්දා. මට ලැබුණු චරිතය රඟපෑ නළුවා ඉවත් කළේ ඒ අනුවයි. එම චරිතයට දෙවනුව මාව යොමු කළේ ඩී. ආර්. නානායක්කාර.

සීතල වතුර සමඟ හතර සිනා නමින් කෙටි චිත්‍රපටයක් අතිරේකව පෙන්වීමට අදහස් කළත් ක්‍රියාවට නැ¼ගුණේ නැහැ. හතර සිනා චිත්‍රපටය නිර්මාණය කරන්න ගියේ ෆෙ‍්‍රඩී සිල්වා, ජෝ අබේවික්‍රම, නවනන්දන විජේසිංහ, කිංස්ලි දිසානායකගේ විකට රසාංග පෙළකින්.

* මතකයේ රැෙඳන චරිතයක් ලබා දුන් කුරුලු බැද්ද නිෂ්පාදකයින් ඔවුන්ගේ දෙවන නිෂ්පාදනයට ඔබව තෝරා නොගන්නේ මන්ද?

සිකුරු තරුව චිත්‍රපටයට නොගත්තත් ඒ සමඟ අතිරේක ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුව සිටි බේබද්දා කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මා වෙත පැවරුවා. මෙය බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ ප්‍රසිද්ධ කෙටි කතාවක් ඇසුරෙන් නිපදවීමට ගිය විනාඩි 45 ක චිත්‍රපටයක්. මිනිසකු වෙරි මතින් කරන විකාර හා කතාබහ උපහාසාත්මක ස්වරූපයක් ගත් මෙහි සහායක චරිත ද්විත්වයට මිලී කහඳවල හා ධර්මදාස කුරුප්පු තෝරාගෙන සිටියා.

බේබද්දා මූලික පුහුණුවීම් කළත් නිම වුණ බවක් කියන්න බැහැ. තවත් ගිලිහුනු අවස්ථාවක් තමා පරසතු මල් චිත්‍රපටයේ සිරිසේනගේ උප ප්‍රධාන චරිතයට මාව ගාමිණී ෆොන්සේකා නිර්දේශ කළත් නිෂ්පාදකවරු එකඟ නොවීය.

ඔබව වෘත්තියෙන් රංගන ශිල්පියෙක් ලෙස හඳුන්වා දෙන්න හැකිද?

මගේ කලා කටයුතු සංකීර්ණයි. පුවත්පත්වල පළ වූ චිත්‍ර කතා වැනි ඡායාරූප කතා කිහිපයක පෙනී සිටියා. මා ලියූ විජ්ජා ගමනක් කෘතියට 1979 සාහිත්‍ය තරගයකින් ජයග්‍රහණය හිමි වුණා. මම රඟපෑ එකම ටෙලි නාට්‍යය මුහන්දිරම් වලව්ව මීට අවුරුදු හත අටකට උඩදී විකාශය කෙරුවා. හැබැයි මේ හැම ක්ෂේත්‍රයකම මගේ පැවැත්ම තාවකාලිකයි. මා ඉගෙන ගත් විද්‍යාවර්ධන විද්‍යාලයේම පසු කාලයක ගුරුවරයෙක් වශයෙන් සේවයට ගොස් විදුහල්පති දක්වා ගිය ගමන දිගුකාලීනයි. එබැවින් මා වෘත්තීමය ගුරුවරයෙක්.

ඔබේ කලා ජීවිතය ගැන කිව්ව මිසක පෞද්ගලික තොරතුරු කිව්වේ නැහැ නේද?

පියාගේ නම ජේ. ඩී. එඩ්වින්. මව පී. ඇලන් කොස්තා. පවුලේ දරු පිරිස නමයයි. එයින් දෙදෙනෙක් සොහොයුරියන්. මම පවුලේ සිව්වැන්නා. මගේ විවාහය සිදු වුණේ 1975. ප්‍රේමා ආනන්ද නම් ඇය මුල්ලේරියාවේ සමුද්‍රදේවි විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරිය. ඇය ග්‍රන්ථ කතුවරියක් ද වෙනවා.

* ඔබ යුග දිවිය අරඹා තිබෙන්නේ කල් ඉකුත්වීමෙන් පසුව කියා සිතන්නේ නැද්ද?

දෙමාපිය දෙපළ හැරුණු විට පවුලක දරුවන් තම පවුල සංවර්ධනය කිරීමට බැඳී සිටිනවා. මට තිබුණු පවුල් වගකීම් කන්දරාව නිසා මගේ විවාහය පමා වූ බව ඇත්ත. නමුත් යුතුකම් නොපිරිහෙලා ඉටු කොට අවසන් වීමෙන් අනතුරුව යුග දිවි ඇරැඹීම ගැන මට කනස්සල්ලක් නැහැ. එයාටත් එහෙමයි. තව ඉතිරිව තිබෙන අනාගතයට සතුටින් මුහුණ දෙන අපි දරු මල්ලන්ගෙන් තොර නිදහස් ජීවිතයක් ගෙවනවා.

* අප සරසවිය පාඨකයින්ට ඔබේ ලිපිනය හා දුරකථන අංකය සඳහන් කරන්න කැමතිද?

ලිපිනය අංක 52/4, ජය මාවත, කොතලාවල, කඩුවෙල. පදිංචිය කඩුවෙල පාරේ ගැමුණු පුර තුනේ කණුව අසළ. දුරකථනය 011-2579790.