වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සරත් ද අල්විස්ගේ සංගීත දිවියට වසර 45 යි

සරත් ද අල්විස්ගේ සංගීත දිවියට වසර 45 යි

‘සරත් සර වින්දන’ ප්‍රණාම උළෙල ජූලි 06 දා
වසර 25 කට පසු සුපර් ස්ටාර්ස් ප්‍රසංග වේදිකාවේ

සංගීතඥ සරත් ද අල්විස්ගේ සංගීත දිවියට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන ‘සරත් සර වින්දන’ හරසර ප්‍රණාම උළෙල ජූලි 06 වැනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ.

මෙහිදී 45 වසරක සංගීත දිවියට නන් අයුරින් උපකාර දිරි දුන් පුද්ගලයන් කිහිප දෙනෙකුට උපහාර පිරිනැමීමට නියමිත අතර වසර 25 ට පසු අර්නස්ට් සොයිසා, සරත් ද අල්විස්, උපාලි කන්නන්ගර, මහින්ද සිල්වා, ජෝර්ජ් ද සිල්වා, ඇන්තනි මෙන්ඩිස්, මොරිස් ද සිල්වා ප්‍රමුඛ ‘සුපර් ස්්ටාර්ස්’ සංගීත කණ්ඩායම විසින් ප්‍රසංගය සංගීතවත් කෙරේ.

සරත් ද අල්විස් නිර්මාණ ගී 175 ඇතුළත් Mp 3 තැටියක් සහ ජනප්‍රිය චිත්‍රපට ගීත 25 ක් ඇතුළත් ඩී වී ඩී තැටියක් නොමිලයේ පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.

පණ්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දයාරත්න රණතුංග, ටී. එම්. ජයරත්න, රෝහණ බෝගොඩ, ජගත් වික්‍රමසිංහ, අමරා රණතුංග, නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි, චරිතා ප්‍රියදර්ශනි පීරිස්, මායා දමයන්ති, ශෂිකා නිසංසලා ඇතුළු ගායක ගායිකාවන් රැසකගේ හඬින් ගීතවත් වන මෙම ප්‍රසංගයේ විචිත්‍රවත් නර්තනය චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායම සහ ප්‍රදීපා ආරියවංශ සිසු සිසුවියන් විසිනි.

‘නිකිණි වැස්ස’ හෙට වහියි

අරුණ ජයවර්ධනයන් පළමුවරට සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් කලඑළියට එන නිකිණි වැස්ස සිනමා සිතුවම මෙම මස 07 වැනිදා එනම් හෙට සිට රීගල් ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීමට නියමිතය.

වෛද්‍ය කුසුම්සිරි සිල්වාගේ නිෂ්පාදනයක් වන මෙහි චාන්දනී සෙනෙවිරත්න ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි. ඇය මෙම චිත්‍රපටයෙහි රංගනය වෙනුවෙන් ඩුබායි අන්තර් ජාතික සිනමා උළෙල (2011) හි ජූරියේ විශේෂ සම්මානයකින් ද පිදුම් ලැබුවාය.

නිකිණි වැස්ස හැඩ කරන අනෙකුත් නළු නිළියන් වනුයේ බිමල් ජයකොඩි, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, ජගත් මනුවර්ණ, තුමිදු දොඩම්තැන්න, සුලෝචනා වීරසිංහ සහ ලක්ෂ්මන් මෙන්ඩිස්ය.

කැමරාව චන්න දේශප්‍රිය මෙහෙයවා ඇත. ජීවන්ත දේවප්‍රියගේ සංස්කරණයකි. නදීක ගුරුගේ සංගීත නිර්මාණය කොට තිබේ.

නිකිණි වැස්ස අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද අරුණගෙනි.