වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සාක් සිනමා උළෙලේ ප්‍රතිඵල

සාක් සිනමා උළෙලේ ප්‍රතිඵල

හොඳම චිත්‍රපට – පාන්ග් සින්ග් ටොමාර්

හොඳම නළුවා - තිසල් මොරගොඩ

හොඳම නිළිය ආමිනා ශේක්

පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැති සාක් සිනමා උළෙලේ ප්‍රතිඵල සටහනයි මේ.

හොඳම චිත්‍රපටය - රන් සම්මානය – පාන්ග් සින්ග් ටොමාර් (ඉන්දියා)

අධ්‍යක්ෂණය – ටිග්මන්ෂු දුලියා

රිදී සම්මානය - සීඩ්ලින්ග් (පාකිස්ථාන්) අධ්‍යක්ෂණය – මන්සූර් මුන්ජාහිඩි

ලෝකඩ සම්මානය – මවුස් (ලංකාව) අධ්‍යක්ෂණය – වසන්ත මොරගොඩ

හොඳම වාර්තා චිත්‍රපටය - කොස්ට් ඔෆ් ක්ලයිමේට් චේන්ජ් (භූතාන්) අධ්‍යක්ෂණය – ටිෂෙරිංග් පෙන්ජර්

ෙ හාඳම නළුවා - තිසල් මොරගොඩ (මවුස් චිත්‍රපටය – ලංකාව)

හොඳම නිළිය – ආමිනා ශේක් (සීලිං චිත්‍රපටය – පාකිස්ථානය)

හොඳම අධ්‍යක්ෂණය – තිග්මන්ෂු දුලියා (පාන්ග් සින්ග් ටොමාර් – ඉන්දියාව)

ජූරියේ විශේෂ සම්මාන - කවුෂාල් ඔසියා (අෆ්ටර් ග්ලොව් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන්


සුනිල් චන්ද්‍රසිරිගේ ‘ආදරණීය සංවාදයක්’ 09 දා ලුම්බිණියේ

2013 රාජ්‍ය නාට්‍ය උළෙලේ 2012 වසරේ හොඳම නාට්‍යය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ස්විීය නොවන රචනය, හොඳම නළුවා, හොඳම වේශ නිරූපණය සහ හොඳම රංගාලෝකය සඳහා සම්මාන හයකින් පිදුම් ලැබූ සුනිල් චන්ද්‍රසිරිගේ ‘ආදරණීය සංවාදයක්’ ජූනි 09 වැනි ඉරිදා පස්වරුවේ හැව්ලොක්ටවුමේ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.

ජනක කුඹුකගේ, සාරංග දිසාසේකර, මධුෂාන් නානායක්කාර රංගනයෙන් ද, සමන් මලලසේකර රංගාලෝකයෙන් ද, වසන්ත විට්ටච්චි අංග රචනයෙන් ද, සුසංග කහදවල ආරච්චි, ප්‍රින්සි ප්‍රනාන්දු, රුවන් ශ්‍රීලාල් වේදිකා පරිපාලනයෙන් ද, ප්‍රභාත් ඒකනායක සංගීිතයෙන් ද දායක වන මෙම නාට්‍යයෙහි නිෂ්පාදන කළමනාකරණය එඩ්වඩ් චන්ද්‍රසිරිගෙනි. ශ්‍රීපාල් සිල්වා මෙම දර්ශනය සංවිධානය කරයි.

බලකාමයෙන් මත්වුණු ඒකාධිපති නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ දේශපාලන සිරකරුවකු විඳින කූර වද හිංසා පිළිබඳ භාවමය අත්දැකිමක් ගෙනෙන ‘ආදරණීය සංවාදයක්’ අනුවර්තනය කර අධ්‍යක්ෂණය කරන ලද්දේ සුනිල් චන්ද්‍රසිරි විසිනි.


සිග්නීස් උත්තමාචාර උළෙලේ නිර්මාණ බාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

තිස් හත්වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇති 2013 සිග්නීස් සිනමා උත්තමාචාර උළෙලේ නිර්මාණ බාර ගැනීමේ කාලය දීර්ඝ කොට තිබේ. එය වලංගු වනුයේ කෙටි චිත්‍රපට සහ ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය පිදීමේ තරගයට භාරගනු ලබන විචාර ලිපි සඳහා පමණි.

කෙටි චිත්‍රපට සංඛ්‍යා දෘශ්‍ය තැටි (ඩී. වී. ඩී.) මගින් පමණක් සහ විචාර ලිපි 2013 ජූනි මස 30 වන දිනට ප්‍රථම, සිග්නීස් ශ්‍රී ලංකා පර්ෂදය, අංක 19, බැල්කම් පෙදෙස, කොටා පාර, බොරැල්ල යන ලිපිනයට කාර්යාලවේලාව තුළ (උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා) ගෙනවිත් බාරදිය හැකිය.

කෙටි චිත්‍රපට තරගාවලිය සඳහා ඉදිරිපත් කරන නිර්මාණ ඕනෑම විෂයක් යටතේ නිර්මාණය කිරීමට නිදහස ඇති අතර සලරූ සහ සජීවිකරණ දෙඅංශය සඳහාම විවෘතව ඇති කාලය උපරිමය විනාඩි 15 ටත් අවමය විනාඩි 10 ටත් සීමා විය යුතුය.

ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය පිදීම සඳහා පැවැත්වෙන විචාර ලිපි තරගය සඳහා එවන නිර්මාණ වචන 2500 ට නොවැඩි විය යුතු අතර එහි මාතෘකාව සිංහල සිනමාව 66 න් ඔබ්බට යනුවෙන් නම් කොට ඇත.


කට කතාවට මේනක එක් වෙයි

සරසවිය සමඟ රිදම් ගුවන් විදුලිය එකමුතුවෙන් ඇරැඹි කටකතා වැඩසටහනේ තෙවැනි අදියර සඳහා සහභාගී වනුයේ මේනක රාජපක්ෂයි. එය ලබන සෙනසුරාදා එනම් 18 වැනිදා උදෑසන 7 – 10 දක්වා එම නාලිකාවේ ප්‍රචාරය වේ. මේනක ගැන නොදත් විස්තර බොහොමයක් මෙන්ම ඔහුගේ කටකතා පිළිබඳව එහිදී ඔහු සමඟ සෘජුවම කතා කරනු ඇත. කටකතා 95.6, 95.8 සංඛ්‍යානවලින් හෝ www.rhythmfm.me යන වෙබ් පිටුවෙන් ශ්‍රවණය කළ හැකිය. පසුගිය සෙනසුරාදාවේ මෙයට සහභාගී වූයේ සේමිණිය.