වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




මළගිය ඇත්තෝ කියවන්නේ ජපානයට ගිහින්

මළගිය ඇත්තෝ කියවන්නේ ජපානයට ගිහින්

යුසුකි ටනාකා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ මහජන සම්බන්ධතා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ තෙවැනි ලේකම්වරයා ලෙසින් කටයුතු කරනවා. ජපන් ජාතිකයෙක් වුවත් ඔහු සිංහල භාෂාව හොඳීන් හසුරවන්නට සමත්. මේ අයුරින් හොඳීන් සිංහල භාෂාව කතා කරන්නේ කොහොම ද වගේම සිංහල භාෂාව හැදෑරිමට ඇති වූ උනන්දුව ගැනත් විමසන්න සරසවිය යුසුකි ටනාකා හමු වුණා.

* ඔබ බොහොම හොඳීන් සිංහල භාෂාව කතා කරනවා. මේ තරම් හොඳීන් සිංහල භාෂාව හසුරවන්න ඔබ පුරුදු වුණේ කොහොමද?

මම සිංහල භාෂාව හදාරන්න පටන් ගත්තේ, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඇතුල් වීමත් සමඟිනුයි. මම අවුරුද්දක පමණ කාලයක් ටෝකියෝහි පිහිටි මධ්‍යස්ථානයේ සේවය කළා. එම සේවා කාලය අතරතුර සිංහල භාෂාව ඉගෙන ගන්න වේලාව වෙන් කළා. මම ලංකාවට ආවේ 2011 වසරේ ජූනි මාසයේදී යි . ඊට පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේදී සිංහල භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ අනුව එහි අවුරුදු දෙකක් විතර විශේෂ පාඨමාලාවේදී මට සිංහල භාෂාව ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මට අවුරුදු හයක් විතර ලංකාවේ ජීවත් වෙන්න ලැබීමත් එක්ක ප්‍රායෝගිකව ටිකෙන් ටික සිංහල භාෂාව හොඳීන් කතා කරන්න පහසු වුණා. එයින් අවුරුදු හතරක් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ සේවය කළා.

* ජපානයේදීම සිංහල භාෂාව ඉගෙන ගන්න විශේෂ කැමැත්තක් ඇති වුණේ කොහොමද?

ඇත්තම කියනවා නම් විදේශ කටයුතු අමාත්‍යාංශයට ඇතුළු වෙන්න කලින් සිංහල භාෂාව ගැන අදහසක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව ගැනත් සිංහල භාෂාව ගැනත් දැන ගත්තේ, විදේශ කටයුතු අමාත්‍යාංශයට ඇතුළු වුණාට පසුව තමයි. එහිදී නිලධාරින්ට තම මව් භාෂාවට අමතරව තවත් විශේෂ භාෂාවක් හැදෑරිය යුතු වුණා. මම විශේෂ භාෂාව විදියට තෝරා ගත්තේ සිංහල භාෂාව යි. ඒ නිසා මං සිංහල භාෂාව ඉගෙන ගත යුතු වුණා. ඒ වගේම ලංකාව පිළිබඳවත් හදාරණන්න පටන් ගත්තා. දැන් මට සිංහල හොඳීන් කතා කරන්න වගේම ලියන්නත් පුළුවන්.

* පේරාදෙණිය සරසවියේ සිංහල ඉගෙන ගත් කාලය ගැනත් සිහිපත් කරමු?

එහි මා දුටු විශේෂත්වයක් තිබුණා. එනම් එහි බොහොමයක් තරුණ කථිකාචාර්යවරුන් ගෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබීමයි. මහාචාර්ය ආරිය රාජකරුණා වෙතින් සිංහල භාෂාව පිළිබද හදාරන්නට ලද අවස්ථාව ඉතාම විශේෂයි. එතුමා ජපානයේ වෂීඩා විශ්වවිද්‍යාලයේ ජපන් සාහිත්‍යයත් ඉගෙන ගෙන තිබෙනවා. ඒ නිසාම එතුමාට ජපන් සංස්කෘතිය පිළිබඳවත් ‍මනා අවබෝධයක් තියෙනවා. මහාචාර්ය රාජකරුණා යටතේ ඉගෙනීමට ලැබීම භාග්‍යයක් ලෙසින් මා සළකනවා.

* සිංහල භාෂාව ඉගෙන ගැනීම පහසු වුණා ද ?

මගේ අදහස වෙනස්ම භාෂාවක් ඉගෙන ගැනීම තරමක් අපහසු දෙයක් බවයි. හැම භාෂාවක්ම ඉතා ගැඹුරුයි. සිංහල භාෂාවත් එවැනි ගැඹුරු භාෂාවක්. එහි කථන සහ ලිඛිත වශයෙන් කොටස් දෙකකට වෙන් වෙනවා. මේ දෙක අතරේ වෙනස්කම් තියෙනවා. ජපන් භාෂාවේදීත් එහෙමයි. ජපන් භාෂාව කතා කරන්න පුහුණුවීම පහසු වුණත් ලියන්න හුරු වෙන්න අපි පුහුණු විය යුතුයි. ලංකාව තුළ ජීවත්වීම සමඟින් ටිකෙන් ටික කතා කරන්න නම් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ලිඛිත සිංහල එහෙම බැහැ. වෙනමම අධ්‍යනය කරමින් ඒ ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. දැන් වුණත් මට පුවත්පත් කියවන විට අලුත් වචන හමු වෙනවා.

* සිංහල භාෂාවට අමතරව හැදෑරු වෙනත් භාෂා මොනවාද?

භාෂා කිහිපයක්ම ඉගෙන ගන්න ආසාව තියෙනවා. ඒ වෙනුවෙන් වේලාව නොමැති වීම ලොකු ගැටලුවක්. සිංහල භාෂාව දියුණු කර ගන්නත් ලොකු කාල වේලාවක් වෙන් කළ යුතු වෙනවා. ඉස්සර නම් දෙමළ භාෂාව ඉගෙන ගන්න පොඩි උත්සාහයක් ගත්තා. නමුත් සිංහල භාෂාවයි දෙමළ භාෂාවයි දෙකම ඉගෙන ගන්න එක මට ටිකක් අපහසු වුණා. ඒ නිසා දෙමළ භාෂාව හැදෑරීම මම පසෙකින් තැබුවා.

* වසර කිහිපයක්ම ලංකාවේ ජීවත් වුණු නිසා සිංහල මිතුරු මිතුරියන් එහෙමත් ඇති?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී සිංහල යහළු යෙහෙළියන් ගොඩක් හිටියා. හැබැයි කොළඹ පිහිටි ජපන් තානාපති කාර්යාලයට ඇතුළු වුණාට පසුව ඇති වූ කාර්ය බහුලත්වයත් එක්ක ඔවුන් නිතර හමු වෙන්න එහෙම අවස්ථාව නැති වී ගියා.

* තානාපති සේවයේ සංස්කෘතික අංශය සමඟින් ඔබේ දායකත්වය ලැබෙන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ මහජය සම්බන්ධතා සහ සංස්කෘතික කටයුතු අංශයේ තෙවැනි ලේකම් ලෙසින් මට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. විශේෂයෙන් මම සංස්කෘතික අංශයත් එක්ක ලංකාවේ මාධ්‍ය අංශ සමඟින් කටයුතු කළ යුතු වෙනවා. එහිදී ඔවුන් සමඟින් ඇති සබඳතාව වඩ වඩාත් ශක්තිමත් කරමින් දෙරටේ සංස්කෘතික අංග අතර සහයෝගීතාව ඇති කිරීම මගේ වගකීම වෙනවා.

* සිංහල භාෂාව වගේම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැනත් ඔබේ අදහස කුමක්ද?

ජපානයේ වගේම ශ්‍රී ලංකාවේත් ඉතාම වටිනා සංස්කෘතියක් තිබෙන බව මෙහි ජීවත් වූ කාලය පුරා මට අත්දකින්න අවස්ථාව ලැබුණා. නමුත් වර්තමානයේ පවතින ගෝලීයකරණයත් සමඟින් ශ්‍රී ලංකාවේ පමණක් නොව ජපානයේත් සම්ප්‍රදායික සංස්කෘතිය ක්‍රම ක්‍රමයෙන් නැති වී ගෙන යන බව තමයි පෙනෙන්නේ. භාෂාවත් එහි එක උදාහරණයක් විදියට ගන්න පුළුවන්. දැන් කොළඹ ජීවත්වන බොහෝ දෙනා භාවිත කරන්නේ සිංහල සහ ඉංග්‍රීසි මිශ්‍ර, සිංග්‍රීසි වගේ භාෂාවක් තමයි. ඒක ලංකාවට විතරක් විශේෂ නැහැ. ජපානයේ දැන් තත්ත්වයත් එහෙමයි. ඒ ඔස්සේ නව සංස්කෘතීන් බිහි වෙනවා. කෙසේ නමුත් අපේ මුතුන් මිත්තන් නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ සංස්කෘතියත් ආරක්ෂා කළ යුතු බව මගේ අදහසයි.

ඒ වගේම ආසියානු රටවල් ලෙසින් ජපානය වගේම ශ්‍රී ලංකාවේත් යම් යම් සමානකම් දකින්න පුළුවන්. ජපානයේ වගේම ශ්‍රී ලංකාවේත් බොහොමයක් දෙනා බෞද්ධයන්. බෞද්ධ දර්ශනය ඔස්සේ ගොඩනැඟුණු සංස්කෘතියක් රටවල් දෙක තුළම දකින්නත් පුළුවන්. අතීතයේ පටන් ජපන් ජාතිකයන්ගේ අදහස් තුළ බෞද්ධ දර්ශනයේ ලක්ෂණ පැවතුණා. ලංකාව තුළත් එවැනි තත්ත්වයක් මා දුටුවා. අතිතයේ අපේ ප්‍රධාන ජීවිකාව වුණේ කෘෂිකර්මාන්තය යි. එය අපි යුරෝපිය ජාතින්ගෙන් වෙනස් වෙන ලක්ෂණයක්. අදටත් මේ රටවල් දෙකේම ගොවිතැන් කරන ප්‍රදේශ තිබෙනවා.

* අපට ආරංචි වුණේ, ඔබ දැන් ලංකාවෙන් සමු අරගෙන යන්න සූදානම් වන බවයි?

යළිත් මම ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය වෙනුවෙන් ජපානය බලා යා යුතු වෙනවා. ඒ අනුව ඉදිරියේදි ටෝකියෝ නුවර පිහිටි අමාත්‍යාංශය විසින් මා වෙත රාජකාරි කටයුතු පැවරෙනවා.

* එවිට සිංහල භාෂාව ඔබෙන් දුරස් වේවි?

මා හිතන්නේ එහෙම නම් සිදු වෙන එකක් නැහැ. මොකද ලංකාවෙන් පිටත්ව ගියත් මා නැවතත් ලංකාවට පැමිණෙන්න ආසාවෙන් ඉන්නවා. ජපානයෙත් සිංහල භාෂාව හොඳීන් දන්නා ගුරුවරු ඉන්නවා. මහාචාර්ය නොගුචි තදාෂි එවැනි අයෙක්. එතුමාත් මහාචාර්ය ආරිය රාජකරුණාගේ ගෝලයෙක්. මහාචාර්ය තදාෂි සිංහල කෘති රැසක් ජපන් භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. සිංහල භාෂාව මගෙන් දුරස් වේවි කියා මං හිතන්නේ නැහැ.

* ආසාවෙන් කියවූ සිංහල පොත් මොනවාද?

සිංහල භාෂාව අධ්‍යයනය සමඟින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිංහල පොත් රැසක් කියවන්න මට අවස්ථාව ලැබුණා. පසුගිය වසරේ පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් මහාචාර්ය සරච්චන්ද්‍රෙග් මළගිය ඇත්තෝ කෘතිය මිල දී ගත්තා. ඒක තවම කියවන්න පටන් ගත්තේ නැහැ. මා එය කියවන්නේ ජපානයට ගියාට පසුව තමයි.

* ඔබේ පවුලේ විස්තරත් කියමු?

මගේ ගම පිහිටා තියෙන්නේ, කියුෂු දූපතේ. එහි මගේ මව, පියා බාල සහෝදරයා සහ සහෝදරිය ජීවත් වෙනවා.

* ශ්‍රී ලංකාවෙන් දුරස් වෙන මේ අවස්ථාවේදී ඔබට ලංකාව ගැන දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?

මා ලංකාවේ ජීවත් වූ කාලයේදී විවිධ ප්‍රදේශ රැසකම සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, අම්පාර වැනි ප්‍රදේශවලටත් යන්න අවස්ථාව ලැබුණා. ත්‍රිකුණාමලයේ ඉතාම සුන්දර වෙරළ තීරයන් පිහිටා තිබෙනවා. හික්කඩුව වගේම නුවරඑළියටත් හරිම ආසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කළ වසර දෙකක් පුරා මහනුවර ජීවත් වුණා. මම තුන් වතාවක් සීගිරි පර්වතයට නැගලා තිබෙනවා.

ලංකාවේ ජනතාවත් හරිම මිත්‍රශීලි අය. ඔවුන් ඉතාම ගුණ යහපත්. ඔවුන් මට ගොඩක් උදව් කරලා තිබෙනවා. එතැනදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ මිතුරු මිතුරියන් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විතරක් නෙවෙයි, කොළඹ, කැලණිය විශ්වවිද්‍යාලවලත් ජපානයේ ඉගෙන ගත් කථිකාචාර්යවරු බොහොමයක් ඉන්නවා. ඔවුන් ලංකාවේ වෙසෙන ජපන් ජාතිකයන්ට ගොඩක් උපකාර කරනවා. ඒ ගැනත් විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි. ලංකාව තවත් දියුණු රටක් වෙනවා දකින්න මම ආසයි. ජපානයට ගියත් ඉදිරියේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරන්න කටයුතු කරන්න සූදානම්.