වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




අද සැප්තැම්බර් 21

අද සැප්තැම්බර් 21

පසුගිය වසරේ දවසක මට එක්තරා විශ්ව විද්‍යාලයක සිනමාව හැදෑරීමට සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වන්නට ආරාධනා ලැබිණ.එහිදී වඩාත් සොයා බලන ලද්දේ අදාළ සිසුන්ගේ බාහිර හැකියාවන් ගැනය.පරීක්ෂණයේ පරිදි චිත්‍රපට රාශියක් උපුටන වලින් යුක්තව ප්‍රදර්ශනය කරන ලදී. ඒ එම අපේක්ෂකයන් සිනමාව පිළිබඳ මූලික දැනුම හා ඇල්ම කෙලෙසදැයි විමසීම අරබයාය. ඒ පැමිනි එක් දරුවෙකු ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයක චරිත මවා තිබිණ. ඔහු ට පරීක්ෂණයට අනුව අදාල දර්ශණ පෙන්වනු ලැබිණ.පුදුමය නම් ටෙලි නාට්‍යය චරිත මැවූව ද ඔහු කිසිදු චිත්‍රපටයක් නරඹා නොතිබීමය.එහි එක් චිත්‍රපටයක දර්ශන වලින් අනතුරුව ඊළඟ පැනය යොමුවූයේ එම දර්ශනයේ රඟපාන නළුවා කවුරුන්ද යන්නය. මදක් කල්පනා කළ ඔහු ගේ පිළිතුර වූයේ දැකලා තියෙනවා හැබැයි නම දන්නේ නෑ යන්නය.එය එහි සිටි සියල්ල ඇස් උඩ අරවන අන්දමේ පිළිතුරක් විය. අලුත් නළුවාණන් විසින් නොදන්නා මේ නළුවා ජෝ අබේවික්‍රමයන් වීම මේ කිය වන ඔබ විශ්වාස නොකරනවා විය හැක.ලාංකික සිනමාවේ රංගන ත්‍රිමූර්තිය ලෙස සිනමා විචාරකයන්ගේ මෙන්ම රසිකයන්ගේ ද නොමද ගෞරවයට බඳුන් වූ තිදෙනාගෙන් එක් අයෙක් රංගනය දැනටමත් ජීවන වෘත්තිය බවට පත් කරගෙන සිටින එමෙන්ම සරසවි සිසුවෙකු විසින් අමතක කරලනු ලැබීම ඔබේ කෝපයට හේතු වනු ඇත. එහෙත් එය පුදුමයට කරුණක් නොවේ.ඒ ලෝකයේ ස්වභාවයයි.

මෙයට වසර දහයකට පෙර ඉන්දියානු පුවත්පතක ඇතුල් පිටුවක නොවැදගත් තැනක පළ වූ පුවතක් මගේ මතකයේ වෙයි.ඒ කමලා භායි කමත් මිය ගිය වගය. ඉන්දියානු පුවත්පත් විසින් පළ කළ යුතු නිසාම පළ කරන ලද්දක් විනා කිසිදු වැදගත් තැනක් නොදුන් කමලා භායි කවුරුන්ද ? ඇය ඉන්දියානු සිනමා නිළි පරම්පරාවේ ආදිතමයා වන්නීය. සිනමා කෘතියක රඟපෑම උදෙසා බොම්බාය නගරයේ වීදි සරණ ගණිකාවක් වුව සොයා ගත නොවුන වග මුල්ම ඉන්දිය සිනමා කෘතිය වන රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටය නිර්මාණ ඉතිහාසයේ සඳහන්ය.අනතුරුව ඉන්දියානු සිනමාවේ පියාණන් ලෙස සැළකෙන පාල්කේ ට ස්ත්‍රී චරිත නිරූපණයෙහි ලා කාන්තාවක සොයා ගනු ලබනුයේ සිව් වන චිත්‍රපටය වූ මෝහිණී භෂ්මසූර් චිත්‍රපටයේ දී බැව් පසුකලක ඔහු ගේ ජීවිත කතාව ද සයිලන්ට් ෆිල්ම් නමින් ලියන මිනිබිරියක වන සරායු පාල්කේ සුමන්වර් පැහැදිලිව සඳහන් කර සිටින්නීය. වර්තමාන ඉන්දියාව සිනමා තරු වලට දේවත්වයෙන් සලකන රටකි.එහෙත් එහි මුල්ම සිනමා නිළියගේ අවසන් ඉරණම එය විය. ඉන්දියාව අතීත සිනමාව ගැන කතා කරනුයේ අඩුවෙනි. ඔවුන් විද්‍යාර්ථීන් උදෙසා සිනමාව සංරක්ෂණය කරති.ඒ ඔවුන්ට යහපත් වර්තමානයක් ඇති නිසාය.වැඩි පුර අතීතය පවසනුයේ වර්තමානය ගැන අපැහැදිලි සහ අනාගතය අවිනිශ්චිත මිනිසුන්ය යන්න ඇත්ත කාරණයකි. අප සංරක්ෂණය කරන්නේ අඩුවෙනි.කතාව වැඩියෙනි.

සිරස ගෙන එන ඔබ ද ලක්ෂපති වැඩ සටහනේ තරග වදින දරුවකු වෙත පසුගිය සතියේ පැනයක් යොමු විණ.ඔහු ගෙන් විජය කුමාරතුංග ගායනා නොකරන ගීයක් ගැන ප්‍රශ්ණයක් යොමු වෙයි. ඔහු පිළිතුරු දෙන්නේ සරා සඳේ ගීතය හැටියටය. පිළිතුර නිවැරදිය.එහෙත් සරා සඳේ ගීතය ගයන්නේ එච්.ආර්.ජෝතිපාල යන් බව ඔහු දන්නේ නැත.අප විසින් අපගේ දරු මුනුබුරන් ද ජෝතිපාලයන්ගේ නාමය සිහි පත් කරවනු ඇතැයි එකල විශ්වාස කළ ද එලෙසම සිදු වෙයි ද ?

මේ අතීතය අමතක කර වන්නේ ද නැත්නම් වෙනත් කාරණයක් ද මම නොදනිමි.තරගකාරි විෂය පිරි අධ්‍යාපන රටාවකට යොමු වන දරු දැරියන් තම විෂය පථයෙන් එහා කාරණා ගැන නොදන්නේය කියා ඇඟ බේරා ගැනීම එහි එක් මතවාදයකි.අනෙක් අතට තමන් කැමැති විෂයන් ගෙන් එහා දැනුම රැස් කරන්නට වර්තමානයේ අවශ්‍යතාවක් කිසිවකුටත් නැත.දැනුම අන්තර්ජාලය හරහා එක් මොහොතකින් අතට ගත් හැකි නිසා මතක පොතේ පිටු පෙරළා එහි මොනවද ඇත්තේ යැයි විමසිය යුතු නැත.

ජෝ අබේවික්‍රමයන් ගැන ලියන්නට ගොස් මේ දීර්ඝ කතාන්දරයට ලියන්න වූයේ එතුමන් අප අතරින් වෙන්ව ගොස් අවුරුද හයක් පිරෙන්නේ අදට එනම් සැප්තැම්බර් 21 වැනි දිනට නිසාවෙන්ය . 1927 වසරේ ජූනි 22 වැනි දින උපත ලද ගම්මන පටබැඳීගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් ජෝ අබේවික්‍රම ජීවත්ව සිටියා නම් මේ අවුරුද්දට අවුරුදු අනූවකි.

ජෝ අබේවික්‍රමයන් ජිවත් ව සිටිය දි ලාංකික සිනමාවේ රඟ පෑ සියලු චිත්‍රපට අතර ඔහුගේ අනන්‍යතාව ඉහළ එකක් විය.ඔහු කිසි විටෙකත් සිනමා කෘතිය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගත්තේ නැත.එහෙත් ඕනෑම චිත්‍රපටයක තමන්ගේ කොටස ට යුතුකම ඉෂ්ට කළේය. සාහිත්‍ය හා සංගීතය පිළිබඳ වද ගහකොළ සතා සීපාවා ගැන මෙන්ම මිනිස් වග පිළිබඳ ව ද ජෝ අබේවික්‍රමයන්ගේ දැනුම විශාලය. ඔහු බොහෝ දේ ඉගෙන ගෙන තිබුණේ විෂයක් කොට අධ්‍යයනයකින් නොව ජීවිතය හරහාය.එබැවින්ම ඔහු ඇසූ පිරූ තැන් ඇති මිනිසකු වූ වග හැඳීන්වීම යුක්ති සහගතය.අතිශයෝක්තියක් නොවේ. දුර්වල චිත්‍රපට වල දී තමන්ට අවශ්‍ය පරිදි තිර රචනය හසුරුවා ගත නොහැකි මන්දැයි වරෙක විතාළ මට ඔහුගෙන් ලැබුනේ අගනා පිළිතුරකි. වහල හෙවිල්ලන්න බාර ගත්තා නම් ඒ වැඩේ කරනවා විනා වත්තේ හතර මායිම් අපට මොකද බං.

එහෙත් ඇතැම් චිත්‍රපටයක් සාර්ථක වන්නට ජෝ මහත්තයාගේ ඇසූ පිරූ තැන් ඇති වග සරණ වු වග රහසක් නොවේ. ඒ එම චරිතය චිත්‍රපටයට කරන බලපෑමක් හැටියට නොවේ.ඔහු සිනමාවට එක් වනුයේ සිරිසේන විමලවීරයන්ගේ නව ජීවන සමාගමේ ප්‍රදර්ශණ අංශයේ නිළධාරියකු හැටියටය. නව ජීවන සමාගමේ පැවැති ජංගම සිනමා සමූහයේ ඔහු කළමනාකාරවරයෙක් ලෙස කටයුතු කර තිබිණ. විමලවීරයන් කිසි විටෙකත් ජෝ අබේවික්‍රමයන් නමැති රූපණණවේදියා හඳුනා ගත්තේ නැත. ජෝ අබේවික්‍රමයන් පිළිබඳ වඩා ගෞරවය ලබනුයේ මුල් දශකයේ ලාංකික සිනමාව වාණීජ ව්‍යාපාරයක් ලෙස ගොඩ නංවන ටී.සෝමසේකරන් ටය.එම්.මූනාස් (සුප්‍රකට දේශපාලකයකුව හා චිත්‍රපට නිෂ්පාදකවරයකුව ව සිටි එම්.එච්.මොහමඩ් ගේ වැඩිමහල් සොහොයුරා ) ගේ දේව සුන්දරී ජෝ මහත්තයා ගේ මුල්ම චිත්‍රපටය වුවත් ජෝන් ජෝ කොට ලාංකික සිනමාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තේ සෝමසේකරන්ටය.එතැන් පටන් මුල් යුගයේ ජෝ අබේවික්‍රමයන්ගේ රංගන දිවිය සපුරා වෙනස් කරලීමට සමත් වූ සිනමාකරුවන් කිහිප දෙනෙකු දැක්විය හැක.මයික් විල්සන්,තිස්ස ලියනසූරිය.එම්.මස්තාන්, ෆ්ලෝරිඩා ජයලත්, කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා ඩී.බී.නිහාල්සිංහ මේ අතරින් මුල් යුගයේ කැපී පෙනෙයි.ඉන්දියානු ස්වරූපයේ සිනමා කෘතිවලින් ආරම්භ කළ ද අන් අය අභිබවා තම අන්‍යතාවක් ගොඩ නගා ගත් ආකාරය ජෝ මහත්තයා සිය මුල්ම චිත්‍රපට වලින් වුව පෙන්වා දෙන ලද්දේය.රන්මුතුදූව වැනි චිත්‍රපටයකට තෝරා ගැනන මුල්ම කාරණය එය වෙයි.මෙරට ස්වකීය අනන්‍යතාව පතළ කළ ඉන්දියානු සිනමාකරුවකු වන මස්තාන් අල්ලපු ගෙදර චිත්‍රපටය සඳහා ජෝ අබේවික්‍රමයන් තෝරා ගනු ලනුයේ එහි නිෂ්පාදක කේ.ගුණරත්නම් ගේ කැමැත්ත වන එවකට ජනප්‍රියම විකට නළුවා වූ එඩී ජයමාන්න පසෙක ලමිනි. ඒ වන වට පැපොළ රෝගය වැලඳී කැළැල් සහි ජෝ අබේවික්‍රමයන්ගේ මුහුණ යථා තත්වයට පත් වන තුරු රූප ගත කිරීම් කල් දැමීමට තරම් මස්තාන් ඔහු ගැන තැබූ විශ්වාසය ඉහල එකකි.

ජෝ අබේවික්‍රමයන් ලාංකික සිනමාවේ සියළු සිනමා කරුවන්ට නැතුවම බැරි සිනමා කරුවකු වනුයේ හැත්තෑව දශකයේ දීය.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ,එච්.ඩී.ප්‍රේමරත්න,වසන්ත ඔබේසේකර.ධර්මසිරි බණ්ඩාරනායක ,ප්‍රසන්න විතානගේ, මෙන්ම ලෙනින් මොරායස් යසපාලිත නානායක්කාර,උදයකාන්ත වර්ණසූරිය ටද ජෝ අබේවික්‍රමයන් අවශ්‍ය ව තිබිණ.ඒ ඔහුගෙු මුහුණ දහසක් රූ මැවූ නිසාවෙනි.

ජෝ මහත්තයාගේ ජීවන වෘතාත්තය ලියන්නෙකුට එය රත්නපුර ලෙල්ලොපිටියේ හරහා හපුතලේ කන්ද දැක බඩ දන කරත්ත කරුවන්ගේ සිට එක හුස්මට දුම් පිට නොකර වංගු ගන්නා අලුත්ම බී.එම්.ඩබ්ලිව් රථයක් දුවන පුළුල් මාවත පිළිබඳ ලිවිය යුතය. කූඩාරම් සිනමා හලේ සිට නවීන සිනමා හල දක්වා සිනමා ඉතිහාසය ද ලිවිය යුතුය.එම ඉතිහාසය පුරාම ඔහුගේ ජීවන වෘතාන්තය ගෑවී ඇති නිසාවෙනි.

ඉතිහාසය යනු මිනිසුන් විසින් ගොඩ නංවන ලද පුරා වෘත්තයන්ගෙන් පිරී පවතින්නකි.ජෝ අබේවික්‍රමයන් ද ඒ ඉතිහාසයේ ලියැවෙන චරිතයකි.ඉතිහාසය පුරා ලියැවෙන චරිත වලට වඩා නොලියවන චරිත සංඛ්‍යාවෙන් විශාලය. ජෝ අබේවික්‍රමයන්ගේ රූපණවේදය කිසියම් විද්‍යාර්ථියක අත අත්පොතක් ලෙස ගිණිය හැකි තරම් අගනා එකක් වනුයේ ඒ එය දකුණු ඉන්දිය රංග සම්ප්‍රදායේ සිට තමන්ගේම රූපණවේදයක් සොයා ගිය තවත් මිනිසකු පිළිබඳ සාර සංග්‍රහයක් වනු නිසාය.එහෙත් මිනිසකු වෙන්ව ගිය පසු ඔහු පිළිබඳ නිතර සිහිපත් කරනුයේ ඔවුන්ගේ ළබැඳීයන්ගේ අවශ්‍යතාව විනා පොදු මිනිසුන්ගේ එකතුවකින් නොවන බව වටහා ගැන්ම ජෝ අබේවික්‍රමයන් පමණක් නොව සෙසු බොහෝ දෙනා පිලිබඳ අනාගත සටහනක දී ප්‍රයෝජනවත්ය.

එසේ නොවන්නට වසර හතලිහකට පසු තිරයට ආ ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම මහා නළුවන් දෙපොළගේ රංගනයෙන් ඔප වත් වූ වැලිකතර මේ වසරේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළිය යුතුව තිබිණ. වැලිකතර පෙන් විය යුතුයැයි කෑ මොර දුන් වුන් පවා එය නැරඹුවේ ද යන්න සිතට එකඟ ව සිතා බැලිය යුතු ව ඇත්තේ එහෙයිනි.අතීතය යනු සිහිනයක් පමනී.ඒ සිහිනයේ ජෝ අබේවික්‍රමයන් යනු දහසක් රූ මැවූ වතකි.