වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න

එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න

      

ජපන් චිත්‍රපට උලෙළ - 2017 හෙට (සැප්. 22) සිට 24 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත් වෙන්නට නියමිතයි. මෙවර සිනමා උලෙළේදී විවිධ තේමා යටතේ ජනප්‍රිය චිත්‍රපට පෙළක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් අතර ඒ සෑම චිත්‍රපටයකම ජපානයේ සංස්කෘතිය සහ ජපන් ජන සමාජය පිළිබඳ අනන්‍ය ලක්ෂණ ඇතුළත්ව ජපන් ජාතිකයන්ගේ ජීවිත වටා ගෙතුණු කතාවන් ඇතුළත් වේ. එසේම එම සිනමා නිර්මාණ සියල්ලක්ම ජපානයේ සුන්දරත්වය විදහා දැක්වීමත් විශේෂයි.

වාර්ෂිකව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම ජපන් සිනමා උලෙළ ඔස්සේ ජපන් ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර පවතින මිත්‍රශීලි සබඳතාව ප්‍රවර්ධනය කිරීමද අපේක්ෂා කෙරේ. සිනමා රස වින්දනයට පමණක්ම සීමා නොවී ජපානයේ ජන සමාජය සහ සංස්කෘතිය සේම ජපානයේ සුන්දරත්වය ද ගෙන එන මෙම ජපන් චිත්‍රපට උලෙළ සංවිධානය කෙරෙන්නේ, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සහ ජපන් පදනම විසිනි. ඒ සඳහා ජාතික තරුණ සේවා සභාව, ජාතික චිත්‍රපට සංස්ථාව සහ Shipfor World Youth Alumini Assocition හි දායකත්වය ද හිමි වී ඇත.

Wood Job

Wood Job ගෙන එන්නේ දහඅට හැවිරිදි යුකීගේ කතාවයි. ජීවිතයේ ඕනෑම දෙයකට මුහුණ දෙන අරමුණැතිව අතිශය විනෝදකාමී ජීවිතයක් ගත කළ යුකීහට ඒ නිසාම තම විශ්වවිද්‍යාල ගමන සහ පෙම්වතිය ද අහිමිව යයි. සුන්දර යුවතියක පෙනී සිටින දැන්වීමක් දකින ඔහු එයින් කියවුණු වන විද්‍යාව පිළිබඳ පුහුණු කඳවුරකට සහභාගි ‍වීමට තීරණය කරයි. වසරක පුහුණුවකින් යුතු එහිදී මාසයක පමණ කාලයක් ගත වූ තැන දුරකථන සංඥා පවා නොමැති ඉතා දුෂ්කර ප්‍රදේශයක් වෙත යාමට යුකීහට සිදු වේ. මේ ගමනේදී ඔහුට වන විද්‍යා පුහුණු කඳවුර පිළිබඳ වූ දැන්වීමේ සිටි යුවතියද හමු වීමට අවස්ථාව හිමි වේ.

Ecotherapy Geteway Holiday

බොහෝ තරුණ පිරිස් ත්‍රාසජනක ගමන්හි යෙදීමට ප්‍රිය කරති. Ecotherapy Geteway Holiday කියන්නේ එවැනි වූ ත්‍රාසජනක ගමනක යෙදෙන වයස 40 සහ 80 අතර වූ කාන්තාවන් හත් දෙනෙකු පිළිබඳ කතාවයි. දුෂ්කර ගමනක් අවසානයේ ඇති සුන්දර දිය ඇල්ලක් සොයමින් යන මේ කණ්ඩායමේ මඟ පෙන්වන්නා අතුරුදන් වූ පසුව ඔවුන් ඉදිරියට මුහුණ දෙන්නේ කෙසේද යන්න Ecotherapy Geteway Holiday  ඔස්සේ දිග හැරේ.

Climbing to Spring

ටෝරු නගමයින් තම මව සහ දැඩි මතධාරි සැර පරුෂ පියා සමඟින් කඳුකරයේ වෙසෙන පිරිමි දරුවෙකි. යොවුන් වියට එළඹෙත්ම ඔහු කිසිදා ප්‍රිය නොකළ කඳුකරයෙන් දුරස්ව නගරයේ ව්‍යාපාර ලෝකයට පියවර තබයි. තම පියාගේ අභාවය සැළ වී නිවෙසට පැමිණි ඔහු පිළිගන්නට මව සහ නෑදෑයන් සමඟින් නාඳුනන සුන්දර තරුණියක් ද සිටියි. ඇය, කඳුකරයේ දුෂ්කර ගමනක් අතරතුර අනතුරකට ලක්ව සිටියදී ටෝරුගේ පියා විසින් බේරා ගත් තැනැත්තියකි. කෙතරම් අපහසු වුව ද තමන් කඳුකරයේ ජීවත්වීම තම පියාගේ අවසන් කැමැත්ත බව දැන ගන්නා ඔහු එය ඉටු කිරීමට දරනා උත්සාහය Climbing to Spring ඔස්සේ දිග හැරේ.

A Farewell to Jinu

මුදල් සහ ගමේ ජීවත්වන අනෙකුත් මිනිසුන්ට බියක් දක්වන පුද්ගලයකු වටා A Farewell to Jinu කතාව ගෙතී ඇත. බැංකුවක රැකියාවේ නිරතව සිටි ටකේරු, කමුරොබා නම් ඈත ගමකට පිටත්ව යන්නේ, මුදල් භාවිතයෙන් තොරව ජීවිතය ගත කිරීමේ බලාපොරොත්තුව අතැතිවයි. මන්දයත් මුදල් අත ගැසුණු සැණෙකින් ඔහු ක්ලාන්තවී ඇද වැටීම ඔහුට මහත් හිසරදයක් වීම හේතුවෙනි.