වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙවුණු කාලයේ මගේ නර්තන ලකුණ මා ස්ථාපිත කළා

ගෙවුණු කාලයේ මගේ නර්තන ලකුණ මා ස්ථාපිත කළා

සීතාගේ කතාව මුද්‍රා නාට්‍යය සමඟ චන්දන වික්‍රමසිංහ

තමන්ට ඉලක්කයක් තියෙනවා නම් ඊට අවැසි දක්ෂතාවය, හැකියාව සේම වාසනා ගුණය ද තිබේ නම් කොතෙක් ගල් මුල් බාධක පැමිණිය ද ජය කණුව කරා යාම කාටවත් වැළකිය නොහැකියි යන්නට චන්දන හොඳම උදාහරණයක්.

රාම, සීතා, රාවණා ගැන කතන්දර අපි ඕන තරම් අහලා තිබෙනවා. සීතා වෙනුවෙන් වුණු රාම - රාවණා යුද්ධ ගැනත් අහලා තියෙනවා. ඒත් මේ ඓතිහාසික ඉතිහාස කතා තුළ රාවණාගේ අති ගෞරවනීය බවටවත්, සීතාගේ පතිවෘතාව රාම ඉදිරියේ පෙන්නුම් කරන්න සති පූජා පැවැත්වපු හැටි ගැනත් වැඩිපුර යමක් අහන්න අපට ලැබිලා නෑ. රාම - සීතා ආදරණීය පුරාවෘත්තාන්තයේ ඇතුළාන්තය තුළ සිදු වූ තවත් අති රමණීය සිදුවීම් මාලාවක් ඉදිරියේදී අපේ නෙත් ඉදිරිපිට මැවෙනවා.

ඒ 'ඉබධපර ධට ඉඥඥබඩච' මුද්‍රා නාට්‍යය හරහා. සීතාගේ කතාව වේදිකාවට රැගෙන එමින් මනහර රැඟුම් දක්වන්නේ අපේ රටේ ප්‍රවීණතම නර්තන නිර්මාණ ශිල්පියෙකු වන චන්දන වික්‍රමසිංහයන් විසින්.

එළඹෙන සැප්තැම්බර් 28 වැනි දින සවස කොළඹ බිෂොප් විද්‍යාලීය වේදිකාව මත දිගහැරෙන 'සීතාගේ කතාව' මෙරට මුද්‍රා නාට්‍ය ක්ෂේත්‍රය තුළ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. ඉතිහාසය පුරා මෙරට මුද්‍රා නාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳ සැලකිල්ලට ගත් කළ අපට ආදර්ශ සපයා ගනුවස් හෝ සොයා ගත හැක්කේ අතේ ඇඟිලි ගණනටත් අඩු මුද්‍රා නාට්‍ය සංඛ්‍යාවක්. එසේම කාලයෙන් කාලයට ගෙවී ගිය දශක අතර මෙම අති මනෝහර ශිල්පය ක්‍රමයෙන් ලාංකේය සමාජය තුළින් දුරස්ථ වූවක්. අපේ සමාජයෙන් දුරස් වූ මනෝහර නර්තන ලීලාව යළි මතු කරන්නට එක්වන චන්දන වික්‍රමසිංහයන්ගේ මේ උත්සාහය අප අගය කළ යුතු වන්නේ ඒ නිසයි.

'මගේ නර්තන කලා ජීවිතේ මුද්‍රා නාට්‍යයක් කරන දෙවෙනි අවස්ථාව මේ. 2001 වසරේදී මම 'මයුර සන්දේශය' මුද්‍රා නාට්‍යය කළා. වසර 16 ට පස්සේ තමයි ආයෙත් මේ මුද්‍රා නාට්‍යයක් කරන්නේ. 'ඉබධපර ධට ඉඥඥබඩච' මුද්‍රා නාට්‍ය කරන්න හේතු කීපයක් ප්‍රධාන වුණා. එකක් මේ එළඹෙන 29 වැනිදාට මට වයස අවුරුදු 50 ක් සපිරෙනවා. ඊට සමගාමීව මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 ක් 29 වැනිදා උදේ බෙල්ලන්විල රජ මහා විහාරයේදී වෙස් බඳිනවා. 28 වැනිදා තමයි මුද්‍රා නාට්‍යය එළි දකින්නේ.'

චන්දනට වයස 50 ක් වෙනවා. ඒත් ඔහු වේදිකාවේ නටන්නේ නව යොවුන් වියේ ජවයකින් යුත් අවුරුදු 25 ක තරුණ කොලු ගැටයෙකු ලෙසින්. ජීවිතයම නර්තනය කරගත් කෙනෙකුට වියපත් වීම නොදැනෙන දෙයක් වෙනවා. චන්දනගේ 50 වියෙන් අවුරුදු 45 ක්ම ඔහු නටල තියෙනවලු. ඔහු මට කියනවා. 'මම නටන්න පටන් ගත්තේ අවුරුදු පහේ ඉඳලා. ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දී අවුරුදු 45 ක්ම මම නටලා. ඉස්සරහටත් ජීවත් වෙලා ඉන්න හැම තත්පරේම මට නටන්නේ නැතුව ඉන්න බැරි වෙයි. ආපස්සට ආයෙත් සිතුවොත් මේ කාල සීමාව තුළ මම මගේ ලකුණක් ඉතිරි කරලා තිබෙනවා. වර්තමානය වන විට ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ මගේ සැබැඳියාව කොයි තරම් සමීප ද කියලා ඕන කෙනෙකුට දැනෙනවා. රියැලිටි ෂෝ ගත්තත්, චිත්‍රපට ගත්තත්, නර්තන සංදර්ශන ගත්තත්, දෙස් විදෙස් සංචාර ගත්තත් මේ හැම තැනකම මගේ සලකුණ මම නොමැකෙන විදියට සනිටුහන් කරලා තිබෙනවා. ඒ ගැන මට සතුටක්, ආඩම්බරයක් තිබෙනවා. චන්දන සාමාන්‍ය නර්තන ශිල්පියෙකුගෙන් එහා ගිය කෙනෙක්. ඔහු ශාස්ත්‍රය හොඳින් හැදෑරුවා සේම සම්ප්‍රදායික නර්තනයන් පිළිබඳ ගවේෂණාත්මකව අධ්‍යයනයක නිරත වූ කෙනෙක්. එසේම ඔහු සම්ප්‍රදායට ගරු කරමින් නර්තනයේ නව මානයන් සොයා යන්නට හිතුවක්කාර වූ ගමනක් තෝරා ගත්තෙක්. මේ හිතුවක්කාර ගමන චන්දනගේ නර්තනයන්හි සුවිශේෂී හැඩකරුවා වුණා කියලා මට හිතෙනවා. ඔහු නර්තනයෙන් පමණක් සෑහීමකට පත් වුණේ නෑ. සුවහසක් සිසු දරු දැරියන්ට නර්තන ශිල්ප ඥානය දෙන ගුරුවරයෙක් ද වුණා. මෙරට චිත්‍රපට නර්තන නිර්මාණයන්හි ද මෑත භාගයේ සුවිශේෂී වෙනසක් ඇති කරන්නට ද ඔහු සමත් වුණා.

'ඇත්තටම කිව්වොත් සිංහල සිනමා වංශ කතාව තුළ නර්තන ශිල්පියෙකු ලැබූ පළවෙනි සම්මානය හොඳම නර්තන නිර්මාණය 'කුස පබා' චිත්‍රපටය වෙනුවෙන් ලබාගෙන චිත්‍රපට ලෝකයත් මම ජය ගන්නවා. මේ ගත කළ ජීවිතය පුරා සුන්දර මතක සටහන් සේම අසුන්දර මතක සටහනුත් රාශියක් තිබෙනවා. කැපිලි, කෙටිලි, රැවිලි, ගෙරවිලි මැදින් මේ ආවේ ලේසි පහසු ගමනක් නෙවෙයි. පුංචිම පුංචි කාලේ මැණ්ඩියට අඩිය පාගන කොට කවදාවත් හිතුවේ නෑ මේ තරම් දුරක් එයි කියලා.

තමන්ට ඉලක්කයක් තියෙනවා නම් ඊට අවැසි දක්ෂතාවය, හැකියාව සේම වාසනා ගුණය ද තිබේ නම් කොතෙක් ගල් මුල් බාධක පැමිණිය ද ජය කණුව කරා යාම කාටවත් වැළකිය නොහැකියි යන්නට චන්දන හොඳම උදාහරණයක්. විවේචන රාශියක් මැද වුවත් බාධක කම්කටුලු මැද වුණත් ඔහුගේ ගමන යාමට තරම් ශක්තිය ඔහු හීන කර ගත්තේ නෑ. ඒ ධෛර්යමත් සිත, අධිෂ්ඨානශීලී සිත තමයි ඔහුගේ ගමන් මඟ වාසනාවන්ත කළ එකම ආශිර්වාදය වුණේ. චන්දන නර්තන ශිල්පියෙකු ලෙස මෙරට නර්තන ක්ෂේත්‍රයට පිවිසෙන විට මෙරට තුළ දැවැන්ත නම් හදාගත්ත අතිදක්ෂ නර්තන ශිල්පීන් රැසක්ම හිටියා. ඒත් මේ දැවැන්තයන් අතරින් සෙමින් සෙමින් ඉදිරියට එන්නට ඔහුටත් හැකි වුණා.

'මම විශ්ව භාරතී විශ්ව විද්‍යාලයෙන් දැනුමත් අරගෙන ලංකාවට ආවේ 1997 දි. 1993 දී තමයි මම ඉගෙන ගන්න එහෙට යන්නේ. එහෙම ඇවිත් මේ රටේ මුල් බැස ගත්ත විශාල ආධිපත්‍යයක් දරමින් සිටි ශිල්පීන් අතරේ හරි හරියට හැප්පීමේ ශක්තිය මට තිබුණා. මම මටම කියලා ආවේණික ගමනක නිරත වීම මේ අභියෝගයන් ජය ගැනීමට මට ලොකු ශක්තියක් වුණා. ඒ ගමනට මට මාධ්‍ය විශාල ශක්තියක් වුණා. මෙහෙම නැට්ටුවෙක් ඇවිත් ඉන්නවා කියලා මගේ පළවෙනි ආර්ටිකල් එක කළෙත් ලේක්හවුස් ආයතනයෙන්. ඊට පසු කලෙක මට මගේ ජීවන සහකාරිය මුණ ගැසුණෙත් ලේක්හවුස් එකෙන්. ලංකාවට ඇවිත් මම කරපු 'මොනරා' සහ 'සරුංගල්' කියන නර්තන නිර්මාණ දෙකෙන් තමයි මාව බොහෝ දෙනෙකුගේ ඇස ගැටුණේ. එතැන් සිට මගේ ගමන දවසින් දවස ඉදිරියට ගියා.

චන්දන වත්මනෙහි ලංකාවේ සිටින අතිශය කාර්යබහුල නර්තන ශිල්පියෙක්. එහෙත් ඔහු කිසි විටෙකත් තම නිර්මාණ වෙනුවෙන් වැය කරන කාලය අන් කිසිවකටත් ලබලා නොදෙයි. චන්දන අතින් සීතාගේ කතාව හැදෙන්නේ ද එලෙසිනි. මෙහි ඔහුගේ නර්තන ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 15 දෙනෙක් නර්තනයට සහභාගි වෙනවා.

අභිරාම රුසිරෙන් වොරැදෙන
ජය නිරිඳුනේ රාම
ඔබ මුවින් නැඟි ඒ ගිනි පුපුරු
මා දවනවා තාම
සඳ වතුර යට
මා කුරිරු ගින්නෙන් දවන
කුමරාණෙනි
වෙසෙස් කමලාවන් රස පහස
නොවින්දේ රාවණ
දෑසින් පෑව එක් ගැස් කොනකින්
බලා සිටි පමණ
අශෝකා වන ලපැල්ලක් සේ
මා බියෙන් සැලිණ
මන්දෝදරී වෙතට රාවණා
පෑව අනුරාග
පතිනි වත රැකි ඔහුට
ඈ පිදූ පිපී ගිය දෑස
මා කොහෙන් කොතැනින්
ගෙනෙන්නද එවන් මදහස

සීතා ගයන්නේ රාවණ පතිදම් සුරැකි පුරුෂයකු බව රාමාට පවසමිනි.

'රාම සීතා කතාවේදී රාම සීතාට පතිවෘතාව ඔප්පු කරන්න සති පූජා කරන්න කියනවා. මේ මොහොතේ සීතාට සමස්ත පිරිමි කෙරෙහි ඇති වෙන්නේ කලකිරීමක්. ඉබධපර ධට ඉඥඥබඩච මුද්‍රා නාටකයෙන් මම කියන්නේ රාවණ කියන්නේ උත්තම පුරුෂයෙක්ය කියන එකයි. රාම, රාවණා, සීතා, මන්දෝදරී චරිත 4 වටා තමයි මේක ගෙතෙන්නේ. මේ නාට්‍යයේ පිටපත සහ නර්තන නිර්මාණය මගේ. සංගීත අධ්‍යක්ෂණයෙන් පේෂල මනෝජ්, ගී පද රචනයෙන් රත්න ශී‍්‍ර විජේසිංහ, වේදිකා පසුතලවලින් හීනටිගල ප්‍රේමදාස, ඇඳුම් නිර්මාණයෙන් හිරාන් විජේරත්න, ගායනයෙන් විශාරද නන්දා මාලිනී, අනූෂා රොද්‍රිගු සහ අසිත අතපත්තු, වේදිකා පරිපාලනය සහ ආලෝකකරණයෙන් උපාලි ආරියසිරි එක් වෙනවා.