වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාන්නේ උපරිම තෘප්තියකින්

රඟපාන්නේ උපරිම තෘප්තියකින්

දෙව්මිණි රණවීර

දෙව්මිණි රණවීර රංගනයට අවතීර්ණ වන්නේ පුංචි සංධියේ සිටයි. මේ වන විට ඇය ක්ෂේත්‍රය ඔස්සේ දිගු ගමනක් ඇවිත්. ස්වාධීන රූපවාහිනී නාළිකවේ විකාශය වූ සසර සේයා නාට්‍ය තුළින් දෙව්මිණිගේ රංගනය දක්නට ලැබුණා. ඇය එහි රඟපෑවේ රොෂාන් පිලපිටියගේ දියණිය හැටියටයි.

සසර සේයා තුළින් මං ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා කිව්වොත් වැරැදි නැහැ. කාලයක් තිස්සේ රංගනයේ යෙදිලා ලැබූ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වුණා මේ නාට්‍ය නිසා. මං එහි හිමෂි. එය මං ඉතාම ආසාවෙන් කළ චරිතයක්. බොහොම විශ්වාසයකින් එම චරිතය නිරූපණය කළා.

එයට අමතරව තවත් නිර්මාණ කිහිපයකදීම දෙව්මිණිගේ රුව අප නෙත ගැටුණා.

එළිය කන්ද නාට්‍යයේ අරලිය ලෙසින් මං චරිත මැව්වා. ඒ වගේම කුරුලු පිහාටු නාට්‍යයත් මට විශේෂයි. මං ඒවායේ රඟපෑවේ එකිනෙකට වෙනස් චරිත.

* දෙව්මිණිට ලැබිලා තිබෙන ජනප්‍රියත්වය දැනෙන්නේ මොන විදිහටද?

ඒ ගැන නම් කිව යුතුමයි. ඉස්සර වගේ නෙවෙයි දැන්. ගොඩක් අය මං ගාවටම ඇවිත් කතාබහ කරනවා. මේ අහවලා නේද කියලා අහනවා. ඒක මට සතුටක්.

* රංගනය ගැන ඉගෙන ගන්නට දෙව්මිණිට අදහසක් තිබෙනවා වගෙයි?

ඔව්. අනිවාර්යයෙන්ම. මේ ක්ෂේත්‍රයේ ස්ථාවර වෙන්න නම් හැදෑරීමක් තිබිය යුතුමයි. ඉදිරියේදී මහේන්ද්‍ර පෙරේරා මහත්මයා ගාවට යන්න හිතාගෙන ඉන්නවා ඉගෙන ගන්න.

* ක්ෂේත්‍රය ගැන මොන වගේ හැඟීමක් දැන් ඔබට දැනෙන්නේ?

ඇත්තටම ඒ ගැන කියන්න වචන නැහැ. පුදුම ආත්ම තෘප්තියකින් මං රංගන කටයුතු කරගෙන යනවා.

* දෙව්මිණි එහෙම කිව්වේ මුවෙහි සුන්දර හිනාවක් සිතුවම් කරගන්නා ගමන්.

රංගනයට මං බෙහෙවින් ආදරය කළා. මේක වෘත්තීය කර ගන්න වේවි කියලා නම් මං කවදාවත් හිතුවේ නැහැ. මං ටී. වී. එකේ දැකපු ගොඩක් ජනප්‍රිය චරිතත් එක්ක මං රඟපෑවා. නිල්මිණි නැන්දත් එක්ක හැන්දෑව නාට්‍යයෙහි කළ රංගනය කෙදිනකවත් අමතක වෙන්නේ නැහැ. මං එහි සුමනාවතී. දුෂ්කර චරිතයක්. දිගු කාලයක් කොළඹින් පිට දර්ශන තලයක නැවතී ඉඳලා රංගනයේ යෙදුණා. ඉතාම කැපවීමෙන් රඟපෑවේ. ඉදිරියේදීත් එවන් වූ චරිත රංගනයේ යෙදෙන්න ආසයි. මගේ රංගන කටයුතවලට නිරන්තරයෙන් දිරිය දෙන්නේ මගේ අම්මා. ඇය මගේ හෙවණැල්ල වගේ පිටුපස සිටිනවා. මට මුලින්ම රංගනයට අවස්ථාව හිමි වුණේ සුදර්ශියේ තිබුණු සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙලා. එයට යොමු කළෙත් මගේ අම්මා.

මං මට ලැබෙන චරිත නිරූපණය කිරීමට පෙර තෝරා බේරා ගැනීමක් කරනවා. හැම නිර්මාණයකටම යන්නේ නැහැ. මියුසික් වීඩියෝ නම් රඟපෑවේම නැහැ. ආරාධනා ලැබුණා ඒ සඳහා. ඒත් මට ඒ චරිත ගැළපෙන්නේ නැහැ කියලා හිතුණා.

* දෙව්මිණි එහෙම කතා කරගෙන ඇවිත් සිය පෞද්ගලික විස්තරත් මෙලෙස පැවසුවා.

මගේ ගම වත්තල. වත්තල යහපත් එඬේරාගේ බාලිකාවෙන් තමයි ඉගෙනුම ලැබුවේ. මගේ උපන් දිනය අනූපහේ අගෝස්තු පහලොව. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තායි අක්කයි. දිගින් දිගටම රංගනයේ යෙදෙන්නයි අපේක්ෂා කරන්නේ.