|
75 වැනි උපන් දිනය සමරලා මිය ගියත් කමක් නෑ
සෝනියා දිසානායක
ඈත අතීතයේ දවසක එක්තරා ඉරු දිනක ඈ පල්ලියට යමින් සිටියාය. නව යෞවනයේ දොරකඩ අභියස සිටි මේ සුරූපී යුවතියගේ ඉදිරි දෛවය මේ ගමන තීරණය කරාවි යැයි ඇය කිසි දිනක නොසිතුවාය. එහෙත් ඇගේ දෛවය ලියැ වී තිබුණේ ඉරිදාට පල්ලියට පැමිණි ඒ ගමන තුළය. ජේසු ස්වාමි දරුවන්ගේ ආදරණීය දියණියක වූ ඇයට සිය ජීවන මඟ සව් සිරියෙන් සරසා ගන්නට මේ පෙර මඟට දේව දූතයෙකු එව්වේය. “ඔයා හොඳ රඟපාන්න. කැමතිද චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න . . .’ එක්තරා දිනයක පල්ලියට යන අතරමඟදී හමු වූ පුද්ගලයෙකු එසේ කිවේය. එවකට ඈ ඔහු කවුදැයි නොදැන සිටිය ද පසුව ඒ දේව දූතයා සිනමාවේ ජනප්‍රිය නළු ඇන්තනී සී. පෙරේරා බව හඳුනා ගත්තාය. මේ 1962 වර්ෂයයි. ඔහුගේ ඉල්ලීමට ඈ පල්ලි ගමන නවතා චිත්‍රපටයක රූගත කිරීම් බලන්නට විජය චිත්‍රාගාරයට ගියාය. ඒ මොහොත වන විට ටයිටස් තොටවත්තයන්ගේ ‘චණ්ඩියා’ චිත්‍රපටය එහි දර්ශනගත වෙමින් පැවතිණ. එවකට සිනමාවේ දීප්තිමත් තරුව ගාමිණී ෆොන්සේකා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිටියේය. ඇන්තනි සී. පෙරේරා මේ සුරූපී තරුණිය ටයිටස් තොටවත්තයන් වෙත රැගෙන ගියේය. ටයි මහතා ඉහේ සිට දෙපතුල දක්වා ඈ පිළිබඳ නිරීක්ෂණය කරමින් ඒ මොහොතේම එහි චරිතයක් නිරූපණය කරන්නට තෝරා ගත්තාය. එතැනින් ලැබුණු ඇඳුමකින් සැරසුණු ඈ හා හාපුරා කියා ‘චණ්ඩියා’ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟ ක්ලබ් ගර්ල් කෙනෙකුගේ චරිතයක් නිරූපණය කළාය. හදිසියේ පැමිණි මේ රංගන අවස්ථාව තම ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙමින් මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ දිගු ගමනකට අභිසෙස් ලැබේ යැයි ඈ ද සීනෙන්වත් නොසිතුව ද එය එසේම සිදු විය. එදා විජය චිත්‍රාගාරයෙන් සිනමාවේ අභිසෙස් ලද ඈ සෝනියා දිසානායක. සිනමාවේ ඈ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ සෝනියා දිසා යනුවෙනි. ඈ පිළිබඳ පූර්විකාවකට යොමු වූයේ පුරා දශක ගණනක සිනමා රංගනය සේම නිෂ්පාදන කාර්යයට ද සමු දී දීර්ඝ කාලයක් නිහඬව වාසය කළ ඇය පසුගිය දිනක ලංකාවට පැමිණ නැවත රංගනයට ද එක් වන බව දැනගන්නට ලැබීමය. මේ නිසාම පසුගිය දිනක එදා සිනමාවේ මේ සුරූපිනිය සොයා යන්නට අපි උනන්දු වුණෙමු. කලාන්තරයක් තිස්සේ අප දැනගෙන සිටියේ ඈට කළුබෝවිල නිවෙසක් සේම මහබාගේ නිවෙසක් ද වූ බවය. එකල ඇගේ සිනමා තොරතුරු විමසන්නට අප ගියේ මේ නිවෙස්වලටය. එහෙත් මෙදා ඈ සිටියේ ඇගේ ආදරණීයම මිතුරියක වූ ශ්‍යාමලීගේ නිවහනේය. අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල් ඇතිවම සූදානම්ව සිටි ඈ සහ ශ්‍යාමලී අප එනවිට පෙර ගමන් ආවේය. කලකට පසුව හමු වුව ද පෙරදා බැඳි ළබැඳි සෙනෙහසින්ම උණුසුම් කතාබහකට අප පිළිපන්නේ ශ්‍යාමලීගේ ආදර සංග්‍රහ මධ්‍යයේය. ඉතිං . . . කොච්චර කාලෙකට පස්සෙද . . . අපි දෑස්වලින් කතා කළෙමු. ඒ දෑස් තුළ නලියන ආදරය, සෙනෙහස සිනමාවේ නාමයෙන් අපි බෙදා හදා ගත්තෙමු. “මම ලංකාවට ආවේ දැනට මස 04 ට විතර කලින්. මගේ දුවයි පුතයි දෙන්නම වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ. මමත් ඒ දෙන්නත් එක්ක ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ. නමුත් මම අවුරුදු 2 - 3 ට සැරයක් ලංකාවට ඇවිත් යනවා. මේ පාර මම ආවේ මගේ ගේක ප්‍රශ්නයක් නිසාවෙන්. උසාවියේ විභාග වෙන නඩුවක් තියෙනවා. ඒකට පෙනී හිටින්න තමයි ලංකාවට ආවේ. මගේ සැමියා කරුට අයිතිවුණු ඔහුගේ මහගෙදර කොම්පඤ්ඤ වීදියේ තියෙන්නේ. කරුගේ මරණයත් සමඟ ඒ ගේ මට හිමි වුණා. ඒ ගෙදර සම්බන්ධයෙන් වන නඩුවක් තමයි තියෙන්නේ” කලක් මෙරට සිනමාවේ ගිනිසිළුවක් වූ ඈ කෙරෙන් ඒ සෞන්දර්යය තවමත් මැකී ගොස් නොමැත. උකුළු මුකුළු සිනාව, ඇස්වලින් කතා කරන ආකාරය ඈ ඉදිරියේ තාමත් මට මැවිලා පෙනේ. සිංහල සිනමාවම ජීවිතය කරගත් මෙවන් ගැහැනියකට ඉන් ඉවත් වී මෙසේ කල්හැරිය හැකිද? වෙලාවකට මගේ හිත මගෙන්ම ප්‍රශ්න කළේය. “මම රඟපාන්නේ නැති වුණාට චිත්‍රපට නිෂ්පාදනයෙන් ඉවත් වුණාට කලාවෙන් කවදාවත් මගේ හිත ඈත් කරන්න බෑ” “මම හැමදාමත් කලාව ගැන අවදියෙන් හිටියා. මගේ ජීවිතේ එක්තරා අවාසනාවන්ත කාලපරිච්ඡේදයකට ළං වුණා. මගේ හැමදේම නැති වුණා. ඒත් එක්කම මගේ සැමියා කරුත් මිය ගියා. ඒ වෙනකොටත් මගේ දරුවෝ දෙන්නා විවාහ වෙලා පිටරට පදිංචි වෙලා හිටියේ. ඒ නිසා මම ලංකාවේ තනි වුණා. මගේ දරුවන්ට ඕනෑ වුණේ මාව ඔවුන් ළඟට ගෙන්න ගන්න. මෙහේ මට හුදකලා ජීවිතයක් ගෙවන්න බැරි නිසා මම දරුවෝ ළඟට ගියා.” වර්තමානයේ සිනමාව තුළ නිහඬ චරිතයක් වන ඈ අතීතයේ මෙරට සිනමාව තුළ ජනප්‍රියම තාරකාවක් සේම මෙරට සිනමා කර්මාන්තයට සශ්‍රීක දායකත්වයක් සැපයූ චිත්‍රපට නිෂ්පාදිකාවක් ද වූවාය. ඇගේ සුවිශේෂීත්වය වූයේ කලක් පුරා රංගනයෙන් ඈ හරි හම්බ කරගත් මුදල් පෙරලා සිනමාවටම පරිත්‍යාග කරමින් චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය උදෙසා චිත්‍රපට නිෂ්පාදනයට පෙළඹීමයි. ඒ අතීතයට ඈ බෙහෙවින් ආදෙර්ය. ඒ තුළ ආදරණීය සබඳතා, කර්කශ අත්දැකීම්, ආර්ථික දුෂ්කරතා, දුක, සතුට, සිනාව, කඳුළ මේ සියල්ලම ඇතුළත්ය. පෙරදා නොවිඳි සැහැල්ලුවකින් සිත පුරෝගෙන වත්මනෙහි ඈ සියල්ල මෙනෙහි කරන්නේය. “මම ඉස්සරලම සිනමාවට පය තිබ්බේ 1962 නිළියක් විදියට. පළවෙනි චිත්‍රපටය ‘චණ්ඩියා’ රඟපානවාත් එක්කම මට තවත් චිත්‍රපට දෙකක්ම ලැබෙනවා. චණ්ඩියා රඟපාන්න විජය චිත්‍රාගාරයට ගියාම ඒක ඇතුළේ තවත් චිත්‍රපට දෙකක සෙට් ගහලා තිබුණා. චණ්ඩියා රඟපානවා දැකලා ඒ චිත්‍රපට දෙකටත් මට කතා කළා. ඒ ‘හෙට ප්‍රමාද වැඩියි’ සහ ‘ඔබ දුටුදා’. පළවෙනි චිත්‍රපටයේ රඟපාන්න ගියේ පල්ලියට යන ගමන්. එදා රූගත කිරීම් රෑවෙනකම් ගිය නිසා ගෙදර යන්න පරක්කු වුණා. ඒ අතරේ අපේ අම්මා හොඳටම බය වෙලා මාව හොයලා. අන්තිමේ ඇන්තනී සී. පෙරේරා තමයි මාව ගෙදරට ඇරලවන්න ආවේ. මාව දැක්ක ගමන් අම්මා අඬාගෙන ඇවිත් මගේ කම්මුලට දෙකක් ගැහුවා. හැබැයි පහුවදා ඇන්තනී සී. පෙරේරා ෂූටිං කරපුවගේ ෆොටෝ ගෙනත් පෙන්නුවට පස්සේ අම්මා කැමති වුණා. ඒ නිසා ඊළඟ චිත්‍රපටවලට යන්න මට කරදරයක් වුණේ නෑ. මං හිතන්නේ එදා ඉඳලා මට පුදුම චිත්‍රපට ප්‍රමාණයක් ලැබුණේ. මං හිතන්නේ මේ වෙන කොට චිත්‍රපට 140 ක විතර රඟපාලා ඇති. හුඟක් වෙලාවට මගේ බටහිර පෙනුම නිසා මට ලැබුණේ බටහිරට නැඹුරු වූ චරිත. වැඩි වශයෙන් කරලා තියෙන්නේ නපුරු, දඟකාර චරිත. ඒ කාලේ ප්‍රේක්ෂකයෝ මට එවන ලියුම්වල වැඩිපුර ලියලා එවන්නේ මට බැනලා. මම දුෂ්ටකම් කරනවා කියලා.” ඈ සුන්දර අතීතයට යන්නීය. සිනමා දිවියේ අතීත ස්මරණයන් තුළ වරෙක ඈ සිත දුකින් බරවන්නීය. ඒ දශක ගණනාවක සිනමා මෙහෙවරට නිසි බුහුමනක් හෝ මෙතෙක් ඈට නොලැබුණු බැවිණි. අදටත් ඇගේ දරු දෙදෙනාගේ සහ මුනුපුරු මිනිබිරියන්ගේ සෙනෙහස මැද්දේ දිවි ගෙවන්නට තිබියදීත් ඈ මෙරටට පැමිණ සිටින්නේ සිනමාව, කලාව වෙනුවෙන් ඈ සිත පිළිසිඳගත් අපරිමිත සෙනෙහස තවමත් නොසිඳී ඇති බැවිණි. “මම 1980 දශකයේ සිනමාව හොඳටම වැටිලා තියෙන මොහොතක තමයි චිත්‍රපට නිෂ්පාදකවරියක් විදියට දොරට වඩින්නේ. මම ඉස්සරලාම නිෂ්පාදනය කරන්නේ ‘ජය අපටයි’ චිත්‍රපටය. මේ චිත්‍රපටය කරන්න මුදල් ගත්තේ මම සිනමාවෙන් හම්බ කරලා හදාගත්ත කළුබෝවිල පිහිටි ගේ උගස් කරලා. ඊට අමතරව චිත්‍රපට සංස්ථාවෙන් සහ මහජන බැංකුවෙන් ණය මුදලක් අරගෙන. මගේ සම නිෂ්පාදකවරයා පසුගිය කාලයේ ඒ ගැන වැරැදි විදියට කතා කරලා තිබුණා. ඒක දැක්කම මට ලොකු වේදනාවක් ආවේ. බැංකු ඔක්කොම මට ණය දුන්නේ ඒ වෙනකොට මම සිනමාවේ ඉහළම ස්ථාවරයේ හිටපු නිළියක් නිසා. ඒ ණය පාස් වුණේ මගේ මම හදාගත්ත නමටයි. අදටත් චිත්‍රපට සංස්ථාවෙන් හෝ මහජන බැංකුවෙන් ඇහුවොත් සත්‍යය දැනගන්න පුළුවන්. මට මේ චිත්‍රපටය කරන්න විජය කුමාරතුංග උදව් කළා. ඔහුගෙන් මුදල් ගැන ඇහුවම ඔහු කීවේ මම මේක රඟපාන්නේ මුදල් ගැන බලාගෙන නොවෙයි. සෝනියා වෙනුවෙනුයි කියලයි. ඒ වගේම රවීන්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග මගෙන් මුදල් ගත්තේ නෑ. ඒ චිත්‍රපටය අතිශයින්ම සාර්ථක වුණා. ණය මුදල් ගෙව්වා. මගේ ගේ බේර ගත්තා. ඊට පස්සේ දිගින් දිගටම චිත්‍රපට නිෂ්පාදනය කළා. අපේ චිත්‍රපට හොඳට මුදල් හම්බ කළා. මම මගේ පෞද්ගලික ජීවිතේ දරුවන්ට ඉගැන්නුවේ, දරුවෝ පිටරට යැව්වේ, දරුවන්ට ගෙවල් දොරවල් අරන් දුන්නේ ඒ හම්බ කරපු සල්ලිවලින්. මමයි රජා, චණ්ඩි රජා, චණ්ඩි රැජින ඔය ආදී වශයෙන් චිත්‍රපට රැසක් කළා. මිනිස්සුන්ගේ ජීවිතවලට කරදර, කම්කටොලු, බාධක එන්නේ අනපේක්ෂිතවයි. හැමදාමත් එක විදියට ජීවිතේ ගෙනිච්ච මිනිසුන් සොයා ගත නොහැකියි. සෝනියාටත් කරදර එන්නට පටන් ගත්තේ නොකියාමය. චිත්‍රපට ක්ෂේත්‍රයේ ද මේ කාලය වන විට සෙක්ස් චිත්‍රපට රැල්ලක් පැමිණ තිබිණ. සෝනියාගේ නමින් නොවුව ද ඇගේ නිෂ්පාදන සමාගමෙන් නිපද වූ එවන් චිත්‍රපට ත්‍රිත්වයක්ම තහනමට ලක් වූයේ ඒ සඳහා ආයෝජනය කළ මුදලත් කාලයත් අපතේ යවමිනි. මේ හේතුව නිසාවෙන් ඇගේ නිෂ්පාදන දිවියට ක්‍රමයෙන් බහින කලාව උදා වූවාය. “ඇත්තටම ඒ තහනම මගේ නිෂ්පාදන දිවියට දැඩි සේ බලපෑවා. ඒ චිත්‍රපට පසු කලෙක අවසර ලබා තිරගත වූවා. එහෙත් මට ඒ සඳහා යෙද වූ මුදල් ලැබුණේ නෑ. මගේ සම නිෂ්පාදකවරයා ඉන් පස්සේ තනි ගමනක් ගියා. ඔය අතරම කරුත් අසනීප වුණා. මට රඟපාන්න යන්නත් බැරි වුණා. එතැනින් පස්සේ තමයි මගේ බහින කලාව පටන් ගත්තේ. ‘තුෂාරා’ වැනි චිත්‍රපටයක් ඉඳහිට හෝ රූපවාහිනී චැනලයකින් නරඹන විට සෝනියාගේ රංගනයේ අපූර්වත්වය අදටත් අප විඳිනුයේ එදා සිනමාවේ සුන්දරත්වය පිළිබඳ වර්ණනා කරමිනි. සිය ජීවිතයේ 75 වැනි වියට එළඹෙමින් සිටින සෝනියාට ද වර්තමානයේ ඈ දකින පෙරදා ඇගේ රංගනය පිළිබඳ සැබෑ සතුටක්, ආඩම්බරයක් දැනෙන බව පැවසුවාය. “අද සතියට චිත්‍රපට දෙක තුනක් හෝ රූපවාහිනියෙන් නරඹන කොට ඒ දෙක තුනකම මම ඉන්නවා. ඒවා දකින කොට මට ලොකු සතුටක් දැනෙනවා. මම මේ ගෙවන්නේ මගේ ජීවිතේ 74 වැනි විය. මට තව අවුරුද්දක් ජීවත් වුණොත් ඇති කියලා හිතෙනවා. අවුරුදු 18 දී මම රඟපාන්න ආවේ. 75 සමරලා මිය ගියාට කමක් නෑ කියලා හිතෙනවා. ඈ හිනාවෙන්නේ සියලු දුක්ඛ දෝමනස්සයන් අමතක කොට යැයි මට සිතේ. ඒ සියලු අමතක කිරීම් සිනමාව වෙනුවෙන්මය. වසර 74 ක් වුව ද ඇගේ සිනාව, ගමන බිමන සියල්ලම තවමත් තරුණය. පෙරදා ඈ සිනාවෙන් දෙනෙතින් කළ අපූර්ව හැඟීම් ප්‍රකාශ කිරීම් යළි යළිත් මගේ සිහියට නැඟේ. මේ ඉන්නේ ඒ සෝනියාමය. ඈ ගතින් වියපත් වුව ද සිතින් තවමත් තරුණය. ලංකාවට පැමිණ ඇයට රැඳී සිටින්නට අදටත් ස්ථිර නිවහනක් නොමැත. එහෙත් මෙරට වසන ඇගේ කල්‍යාණ මිතුරු මිතුරියන් කිසි දිනක ඈට තනිවන්නට ඉඩ තැබුවේ නැත. ඇඳුම් නිර්මාණ ශිල්පී නිල්හාන් සෙනෙවිරත්න එසේම රූපවාහිනියේ විනීතා කරුණාරත්න ආදීන් මැදිහත්ව ඇයට සෙනෙහෙබර සෙවණක් සොයා දුන්නේය. ඒ කලාවේ කවදත් සොඳුරු හිතවතිය ශ්‍යාමලී විජේසේනගේ ආදරය සෙනෙහස සමඟ හෙවණය. සෝනියා පවසන්නේ ශ්‍යාමලී ඇයට දියණියක හා සමාන බවය. ඒ තරමටම ආදරෙන්, සෙනෙහසින් ඈ බලා ගන්නා බවය. නිල්හාන්, විනීතා, ශ්‍යාමලී සේම සිනමාවේ සිටි සොඳුරු හිතවතුන් මාලිනී, ජීවන්, ෂෙරින් ඇතුළු සියළු දෙනාගේ සෙනෙහස ආදරය ඇයට නොඅඩුව හිමිවන බව ඈ පැවසුවේ ආදරයෙනි. වසර 20 කට පසු පසුගිය දිනක ඈ නැවත රංගනයට එක් වූවාය. ඒ දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කරන සිත නිවන කතා ටෙලි නාට්‍යයෙහිය. ඉදිරියේදී ඇයට ආරාධනා ලැබෙන්නේ නම් දීර්ඝකාලීනව රංගනයේ යෙදීමට බලාපොරොත්තු වන්නීය. එසේම එළඹෙන 26 වැනිදා ඈ වෙනුවෙන් නිර්මාණය වූ ජාතික රූපවාහිනියේ විනීතා කරුණාරත්න නිර්මාණය කළ ‘අලකමන්දාව‘ විකාශය වන්නේය. සෝනියාගේ ජීවිතයේ යළි පිබිදීම එමඟින් යළි යළිත් සිදුවනු ඇතැයි අපේ විශ්වාසයයි. “මගේ ජීවිතේ ආපස්සට හැරිලා බලත්දී මට නැති වුණ දේවල් ගැන මම කනගාටු වෙන්නේ නෑ. දෙවියන් වහන්සේ මට ඇතිවෙන්න දුන්නා වගේම සමහර දේවල් මගෙන් උදුරා ගන්නත් ඇති. ඒ කාලේ හුඟක් දෙනෙක් මාව හැඳින් වූයේ කෝටිපති නිළිය කියලයි. අද ඉන්න ගෙයක්වත් නැති වුණාට මගේ හිතේ කනගාටුවක් නැහැ.” ඈ ස්වභාව ධර්මයට අවනතයි. ඇති වෙනවා, නැතිවෙනවා යනු ලෝක සත්‍යයයි. සිනමාවට සුවිසල් මෙහෙවරක් කළ ඇගේ දායකත්වය සිංහල සිනමාව තුළ අමරණියයි. එවන් අමරණීය මෙහෙවරක් කළ සෝනියා වැන්නෙකුට තනිකම, හුදකලාව උරුම නොකොට ඇයව ආදරයෙන් බලාකියා ගන්නා ඈට සෙනෙහස පානා ශ්‍යාමලී, නිල්හාන් ඇතුළු නම් සඳහන් කළ නොකළ කල්‍යාණ මිත්‍රයන්ට අපගේ ආචාරය.
|