වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ කාලේ අපිට කිව්වේ සන්ෆ්ලවර් ජෝඩුව කියලා

ඒ කාලේ අපිට කිව්වේ සන්ෆ්ලවර් ජෝඩුව කියලා

දිස්නා නානායක්කාර

ඇය දිස්නා නානායක්කාර වන්නීය. ඒ නම ඔබට තරමක් නුහුරු වන්නට පුළුවන.

බලන්න ඇගේ රුව දෙස. ඇතැම් විට ඔබට දිස්නාව ක්ෂණිකව මතක් නොවනු ඇත. නමුත් ඇගේ කතාව කියවා අවසන් වන විට නොඅනුමානවම 'මේ අහවලා නේද' යැයි කියා පැරැණි සංගීතමය මතකයන් අවුස්සා දිස්නාව ඔබට මතක් වනු නියතය. කලක් ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි චරිතයක් වූ ඇය මාධ්‍ය ඔස්සේ වඩාත් ඉස්මතු නොවීම එක අතකින් අභාග්‍යයක්. කෙසේ වෙතත් එදා සිට අද දක්වා සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින දිස්නා තම සංගීත ගමන අඛණ්ඩව පවත්වාගෙන යන්නේය.

* ඔබ ගායනයට පිවිසි අන්දම ගැන මතක් කළොත්?

මම ගායනයට එන්න හිතපු කෙනෙක් එහෙම නෙවෙයි. අඩුම තරමේ මට ගයන්නට පුළුවන් කියලාවත් මං දැනගෙන හිටියේ නැහැ. මගේ ගම කැලණිය. මං එහෙ යෞවන සමාජයක හිටියා. අපේ පවුලට හිතවත් හාමුදුරු නමක් මට ආරාධනාවක් කළා යෞවන සමාජයක රැස්වීමක් අතරතුර ගීතයක් ගයන්න. හාමුදුරුවෝ නිසා බැහැ කියන්නට බැරිකමට මං එදා කිව්වා. එතැනට ඇවිත් ඉඳලා තියෙනවා ප්‍රියංක අබේසිංහ නමැති කෙනෙක්. ඔහු පසුකාලීනව මගේ ජීවන සහකරු වුණා. ඔහු ඒ වන කොට සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගිහින් තියෙනවා. මාව හොයාගෙන එම කණ්ඩායමේ පිරිසක් ආව ඔහු සමඟ අපේ ගෙදරට.

* ඔබ මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්වූයේ?

මං හැංගුණා.

* ඒ මොකද?

මං ආස වුණේ නැහැ සිංදු කියන්න ස්ටේජ්වල. අනික පොඩි බයකුත් තිබුණා. හැබැයි මගේ අම්මටයි අක්කටයි ඕනෑ වුණා මාව ඒ පැත්තෙන් ඉස්සරහට යවන්න. ඒ දෙන්නා මට කිව්වා සංගීතයෙන් නමක් හදා ගන්නවට කැමැතියි කියලා. මගේ ගීත ගායනය තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට හැකියාවක් තිබෙනවා කියලත් මට එදා හිතුණා. ගෙදර අයගේ යොමු කිරීම මත මං පි‍්‍රයංක අයියගේ බෑන්ඩ් එකට සම්බන්ධ වුණා.

* කාගේ ගීත ද ඔබ විශේෂයෙන් ගායනා කළේ?

එහෙම එක් කෙනෙකුගේ කියලා ගීත ගැයුවේ නැහැ. හැම ගීතයක්ම කිව්වා. ඒ බෑන්ඩ් එකේ ඉන්න කොට මං දැනගත්තා මට හැම ශෛලියකම ගීත ගයන්න පුළුවන් කියලා. ඒ ඔස්සේ මං ගීත කිව්වා.

* එම සංගීත කණ්ඩායමේ නම සඳහන් කළොත්?

ඩ්‍රීම් ෆ්ලවර්.

* කොපමණ කල් ඔබ එම කණ්ඩායමේ හිටියද?

අවුරුදු පහක් හයක් විතර.

* ඒ අතරතුරදී ඔබ සංගීතය හැදෑරුවේ නැද්ද?

මට සංගීතය හදාරන්න ලොකු අවශ්‍යතාවයක් වුණේ නැහැ. මොකද මං සිං කළේ ඉයර් එකට. සිංදුවක් අහලා එහි ස්වර ස්ථාන නිවැරිදිව පිහිටුවමින් ගායනයේ යෙදීමට මට පුළුවන් වුණා. ඒක දෙවියන් විසින් මට ලබා දුන් දායාදයක්.

* කාලයක් ඔබ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ සෑම ප්‍රසංග වේදිකාවකම හිටියා?

ඔන්න ඔතනින් තමයි මාව වැඩි දෙනෙක් හඳුන ගත්තේ. මං සන්ෆ්ලවර් වේදිකාවට නැගීම පිටුුපස රසවත් කතාවක් තියෙනවා. ඔන්න දවසක් මං හීනයක් දැක්කා ස්න්ෆ්ලවර් සමඟ සිංදුවක් කියනවා. මං මේ කියන්නේ අනූව දශකයේ අග. එතකොට සන්ෆ්ලවර් ඉතාම ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. මට ලොකු ආසාවක් ඇති වුණා මේ හීනෙත් එක්ක සන්ෆ්ලවර්ස්ලාගේ ප්‍රසංගයකට සහභාගිවන්න. මම ප්‍රියංකට මේ ගැන කිව්වම ඔහු කිව්වා නීල්ට කතා කරලා බලමු කියලා. යාළුවකුගේ මාර්ගයෙන් නීල් අයියාගේ ්නොම්බරය හොයාගෙන කතා කළා. මං මගේ විස්තර කියලා එකම එක අවස්ථාවක් දෙන්න කිව්වා සන්ෆ්ලවර්ලා සමඟ සිං කරන්න. ඔහුගේ නිහතමානිකමට ඊට පහුවෙනිදාම මොරටුවේ තිබුණු ෂෝ එකකට එන්න කිව්වා. මං ගියා ඔහු කියූ තැනට. ප්‍රියංකත් එක්ක නීල් අයියා එතැන හිටියා. අයියේ මං තමයි අර ඊයේ කතා කරපු දිස්නා. මං එහෙම කිව්වම මගේ දිහා බලලා අවුලෙන් වගේ කිව්වා මාර අප්සට් එකනෙ නංගි ආර්ට්ස්ලා වැඩියි මොකද කරන්නේ කියලා. මං කිව්වා මං ඉන්නම් කියලා. හැබැයි වැඩි වෙලා එහෙම ඉන්න ලැබුණේ නැහැ. මගෙන් කියන සිංදුව අහලා ඔහු ඔවුන්ගේ බැන්ඩ් සෙෂන් එකෙන් පස්සේ මාව දැම්මා එක සිංදුවක් කියන්න. මං කිව්වේ චාන්දනී හෙට්ටිආරච්චි මහත්මියගේ විලාසිතා ගීතය. එය ඉවර වුණාට පස්සේ ආවා නේද චියර් පාරක්. ඒ ගැම්මට පිටුපස සිටි සුදත් නාවලගේ අයියා කියනවා මට ඇහුණා නංගි ඊළඟ එක මොකක්ද කියලා. ඔහොම එක සිංදුවක් කියන්න ස්ටේජ් නැංග මම එදා ඉන් බැහැලා ආවේ සිංදු දහයක විතර නොන්ස්ටොප් එකකුත් කියලයි. නීල් අයියා මට ඔවුන්ගේ නිවසට එන්න කිව්වා පසු දිනෙක. මට ලියාගන්න කියලා ඊළඟ අවුරුද්දටත් එක්ක සන්ෆ්ලවර්ලගේ ෂෝස් තියෙන දින ටික කිව්වා. ඒ සෑම එකකටම මටයි ප්‍රියංකටයි එන්න කිව්වා. ඒ කාලේ අපි දෙන්නම ස්ටේජ් නැංගුවේ සන්ෆ්ලවර් යුවළ කියලයි.

* මේ ලිපිය කියවන අයට ඔබව දැන් කවුද කියලා හරියටම මතක් වෙන්න ඇති?

ඔව්. ඒ කාලේ මං මීට වඩා වෙනස්. කෙට්ටුයි. දිගින් දිගටම මට ප්‍රසංග වේදිකාව ලැබුණා. අවුරුදු හතරක් විතර එක දිගට සිං කළා. එකක් යන්න එකක් ෂෝ තිබුණා. ඒ කාලේ ප්‍රසංග වේදිකාවේ රසික රසිකාවන් මාව හොඳට හඳුනනවා.

* එහෙත් එක සැරයටම ඔබ අතුරුදන් වෙනවා?

එහෙම වුණේ එවකට පැවති රටේ තත්ත්වයත් එක්ක. සංගීත සන්දර්ශන පවත්වපු එක අඩු වුණා. සමහර දිනවල නැත්තටම නැහැ. අපි ජීවත් වුණේ එහෙම සංගීත වැඩ කටයුතු කරලා. එක පාරටම ෂෝස් නැති වුණාම අපට කරකියා ගත නොහැකි තත්ත්වයක් ඇති වුණා. අන්තිමේ මමයි මහත්තයයි තීරණය කළා ත්‍රීපීස් සංගීත කණ්ඩායමක් හදාගන්න.

* ඇයි ඔබගේ ස්ව නිර්මාණ ජනප්‍රිය කරගන්න උත්සාහ කළේ නැත්තේ?

මට මේ සිස්ටම් එක ගැළපෙන්නේ නැහැ. ඇතැම් ආයතනවල සිංදු ප්ලේ කරන්නේ ඒ ඒ අය හොයාගත් ක්‍රමවලට. ඉතින් මට එහෙම කරන්න බැහැ. මං ගයපු ස්ව නිර්මාණ ගොඩක් තියෙනවා. ආදර සිතුවිලි, සඳක් නැගිලා, ආදරේ ඉන් කිහිපයක්. මේවායින් බහුතරයක පද රචනය සහ සංගීතය මගේ.

* ඔබට වරෙක ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩ සටහන සඳහා කතා කළා නේද?

මට ඕනෑම ශෛලියක ගීත ගයන්න පුළුවන්. ශාස්ත්‍රීය ද, සරල ද, බයිලා ද කියන එක මට අදාළම නැහැ. ක්ෂණිකව මට ඒ ඒ ශෛලීන්ට අනුගත වෙන්නට පුළුවන්. ඒ වගේ ගායිකාවන් වෙනස කරන පිරිවර දැකල තිබුණෙම නැහැලු. ඒකයි මට එයට කතා කළේ.

* සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කරද්දී ඔබගේ සැමියා ප්‍රියංක නොසිතූ පරිදි වියෝ වෙනවා. අපහසුවෙන් වුවත් ඔහුගේ අහිමිවීම ගැන මතක් කරමු?

එයා නැති වුණේ 2014 වසරේ හදිසි හෘදයාබාධයකින්. එතකොට ඔහුට අවුරුදු තිස් නවයයි. අපි දෙන්නම එකට සංගීතමය කටයුතු කළේ. මට හිතාගන්න බැරි වුණා මොකද කරන්නේ කියලා. අන්තිමේ මං අපි පටන් ගත්තු ත්‍රී පීඩ්ස් බෑන්ඩ් එක පවත්වාගෙන යන්න තීරණය කළා. මොකද අපිට ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ වෘත්තීය දැන් මේක. ඒ අයගේ ජීවිතය යහපත් කරන්නට ඕනනෙ.

* වර්තමානයේ ඔබ සුපර්ස්ටාර් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාව . කොහොමද ඊට මඟ පෑදුණේ?

අපි ප්ලේ කරපු වෙඩින් එකකට ඔවුන් ඇවිත් තිබෙනවා. ඒක මං දන්නෙත් පස්සේ. ඔවුන් මගේ හැකියාව දැකලා ඊට ආරාධනා කළා. සරත් ද අල්විස්, මහින්ද සිල්වා, අර්නස්ට් සොයිසා වැනි පරිසක් එක්ක එකට වැඩ කරන්නට ලැබීම භාග්‍යයක්.

* කොහොමද ඉදිරිය?

අලුත් නිර්මාණ කිහිපයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒත් සමඟින් පැරැණි ගීත ප්‍රතිනිර්මාණය කරන්නටත් බලාපොරොත්තුවක් තියෙනවා.