වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න

වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න

චව්දරි නාට්‍ය නිර්මාණය කළ තරංග බණ්ඩාර

රංගන ශිල්පියකු ලෙස සිය කලා ගමන අරඹන තරංග බණ්ඩාරගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය ‘චව්දරි’ මේ මස 24 වැනිදා පස්වරු 3.30ට සහ 6.45ට බොරැල්ල වයි. එම්. බී. ඒ ශාලාවේදී වේදිකා ගතවෙයි. මේ පෙළ ගැසෙන්නේ ඔහුගේ කලාවේ ආගමනයක්, නවතම වේදිකා නාට්‍යය පිළිබඳත් ‘සරසවිය’ට කළ කතාබහකි.

ඔබගේ කලාවේ ආගමනය ආරම්භ වන්නේ ළමා නාට්‍යවලින් නේද?

මා පාසල් ගියේ මිරිස්වත්ත ජාතික පාසලටයි. එහිදි මා දැක්වූ දක්ෂතා අනුව නර්තන ආචාර්යතුමියයි මාව නාට්‍ය හා රංග කලාව වැඩමුළුවකට ඇතුළු කිරීමට යෝජනා කරන්නේ. එතැනින් ඇරැඹුණු මගේ රංගන ගමන ඇතුළේදි කලක් මා ප්‍රසන්නජිත් අබේසූරියගේ වීදි නාට්‍ය කණ්ඩායමත් සමඟත් කටයුතු කරනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරනවා. ඒ අතර තර්ස්ටන් විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව භාර උපදේශක විදියට බොහෝ කාලයක් වැඩ කරනවා. එහිදි නාට්‍ය කටයුතු කිරීම සඳහා වුණු වෙහෙසත් සමඟයි අපට විවිධ වූ ජයග්‍රහණ හිමි වන්නේ. එහි කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසුවයි මා පෞද්ගලික රූපවාහිනි හා ගුවන්විදුලි සේවාවන් රැසක ම වැඩසටහන් නිෂ්පාදකවරයකු විදියට කටයුතු කරන්නේ. ඒ ආයතනවලත් මා නිෂ්පාදනයේ නියැළෙන්නේ ළමා වැඩසටහන් පිළිබඳයි.

ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ යටතේත් ඔබට කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා?

මට රංගන කටයුතුවලට වගේම පහතරට තාල භාණ්ඩත් වාදනය කිරීමට හැකියි. එතුමියගේ නිර්මාණවල රංගනය වගේ ම භාණ්ඩ වාදනය සඳහාත් මා සහය වනවා. එතැනින් නොනැවතුණු මා සමරකෝන් මහත්තයාගේ නාට්‍ය කණ්ඩායමත්, සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමත් සමඟ සම්බන්ධ වී ඒ නිර්මාණවලට රංගයෙන් දායක වනවා. මේ වනවිට හඬකැවීම් ශීල්පියකු ලෙසත් කටයුතු කරන මා ගිය වසරේ ගුවන්විදුලි සම්මාන උලෙළේදී හොඳම ළමා වැඩසටහන් ලේඛකයා බවටත් පත්වීමේ වාසනාව උදාකර ගන්නවා.

ඔබ නාට්‍ය අධ්‍යක්ෂවරයකු බවට පත්වන පළමු අවස්ථාව මේ නිර්මාණයද?

මීට පෙර මා පෞද්ගලික හා රජයේ විවිධ ආයතනවල පුංචි පුංචි නාට්‍ය රැසක් නිර්මාණය කරමින් අධ්‍යක්ෂවරයකු විදියට කටයුතු කරනවා. එහිදි මා උපදේශවරයකු විදියටත් කටයුතු කළ අවස්ථා තිබුණා. නළුවකු ලෙස ප්‍රේක්ෂකයා හමුවට පැමිණි මා අධ්‍යක්ෂවරුන් මාව අධ්‍යක්ෂණය කළ විදිය දැන හඳුනා ගත්තා. විවිධ ශෛලින්වල නිර්මාණ රැසක ම රඟපෑම නිසා ඒ ශෛලිවල අත්දැකීමත් මට තිබුණා. ඒ සියලු අත්දැකීම් ලබා ගනිමිනුයි මා අධ්‍යක්ෂවරයකු බවට පත්වන්නේ. ඒ අනුවයි මා ‘චව්දරි’ වේදිකාවට රැගෙන එන්නේ.

‘චව්දරි’ වේදිකාවට රැගෙන එමින් අධ්‍යක්ෂවරයකු වීමට ඔබට ආරාධනා ලැබෙන්නේ එවැනි අදහසක් ඔබ අදහස් කර නොතිබුණු අවස්ථාවකදිද?

මෙහි නිෂ්පාදක හේරත් වර්ණකුලසූරිය මහත්තයාගේ ඉල්ලීමක් අනුවයි මා ‘චව්දරි’ අධ්‍යක්ෂණය කරන්නේ. එහෙම නැතිව මගේ සිතේ වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමේ අදහසක් තිබුණේ නැහැ. එක් අවස්ථාවකදි නිෂ්පාදකතුමා මට දුරකථන ඇමතුමක් ලබාදී පවසන්නේ නාට්‍යයක් කරමු යන්නයි. ඒ අනුව ඔහුගේ යෝජනාවෙන් බේරෙන්න බොහොම කාලයකට පෙර මා ලියූ පිටපතක් ලබාදෙනවා. එය කියැවූ ඔහු පවසන්නේ මේ නාට්‍යය කරමු යන්නයි. ඒ යෝජනාව අතර කාලයේ මා ගත කළෙත් පිටපතක් ලියමින්. එය අවසන් කළ පසුව මා ඒ පිටපතත් හේරත් මහත්තයාට දුන්නේ කියවන්න යනුවෙන්. ඒ පිටපත කිරීමටත් ඔහු කැමැත්ත පළ කරනවා. ඒ පිටපත කිරීමට මගේ සිතෙත් තිබුණේ කැමැත්තක්. ඒ අනුවයි මා ඒ පිටපත කියවන්නට කිහිපදෙනෙකුට ලබාදෙන්නේ. ප්‍රසන්නජිත් අයියා ඉන් එක් කෙනෙක්. ඔහු ඒ පිටපත බොහොම ඇගයීමට ලක් කරනවා. කුසුම් රේණු අක්කාත් ඒ පිටපත දකින්නේ හොඳ පිටපතක් විදියටයි. ඒ අදහස් මගේ සිතේ යම් බලපෑමක් ඇති කිරීමට සමත් වෙනවා. ඒ අනුවයි මා ‘චව්දරි’ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. එය මගේ කුළුඳුල් අධ්‍යක්ෂණයයි.

‘චව්දරි’ වේදිකා නාට්‍යයත් ප්‍රහසනයක්ද?

බොහෝ ප්‍රේක්ෂකයන් නාට්‍යයක් නැරැඹීමට යෑමට ප්‍රථම විමසන්නේ කොමඩි තිබේද යන්නයි. ඔවුන් ඉන් අදහස් කරන්නේ වෙනස් ම කාරණයක්. මිනිස්සු කැමැති නාට්‍යයක තිබෙන අපූර්වත්වයටයි. ඒ අපූර්වත්වය නොමැති විටයි ඔවුන් කොමඩි පිළිබඳ විමසන්නේ. සමහරු නාට්‍ය දිගින් දිගටම වේදිකා ගත කිරීම සඳහා නාට්‍යයට කොමඩි එකතු කරනවා. ඒ සඳහා ඔවුන් විවිධ වචන භාවිත කරනවා. වචනය එක්තරා අවස්ථාවකදි කිව්වාට පසුව අවසානයි. එහෙත් සිද්ධි එහෙම නැහැ. ඒවා හදවතේ රැදෙනවා. ඒ නිසා ‘චව්දරි’ නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයා සිනා වෙන්නේ මෙහි තිබෙන සිද්ධිවලටයි. ඒවා ජීවිත කාලයේ ම මතකයේ රැඳෙනවා. මේ නිසා මා පවසන්නේ වචනවලට නොවෙයි සිද්ධියට සිනාසෙන්න නම් ‘චව්දරි’ නරඹන්න පැමිණෙන්න කියලයි.

‘චව්දරි’ වේදිකා නාට්‍යයේ පිටපත ලිවීමට ඔබව පොලඹවන්නේ කුමන කාරණයක්ද?

‘චව්දරි’ කියන්නේ දේශපාලන ප්‍රහසනයක්. ඒ හරහා අප කරන්නේ රෙදි ගැළවෙන කතාවක්. මේ නිර්මාණය හරහා අප හැමෝගේ ම රෙදි ගැළවෙනවා. එහි කියැවෙන්නේ අපව අන්දවන විදියයි. අප අඳීන විදියයි. අද වනවිට සංස්කෘතික, ආගමික, දේශපාලනික, සමාජීය ආදී සෑම වශයෙන් අපට අඳීන්නට වී තිබෙනවා. වැඩේ අවසන් වුණාට පසුවයි අප දන්නේ අප ඉන්නේ ඇඳලා බව. අපව ඇන්ඳුව කෙනා කවුදැයි අපවත් දන්නේ නැහැ. ඒ නිසා මා මේ නිර්මාණයෙන් කතා කරන්නේ ඇන්ඳවීම පිළිබඳයි. ඒ ගැන මා මීට වඩා කිසිවක් කියන්නේ නැහැ. නරඹන්නන්ගේ සිත්වල තිබෙන කුතුහලය නැති කිරීමට අකැමැති නිසයි මා එලෙස පවසන්නේ. එහි තිබෙන අපූර්වත්වයයි එවිට නැති වන්නේ.

‘චව්දරි’ ඔබගේ පළමු නාට්‍යය නිර්මාණය වුණත් එහි රඟපාන්නේ ප්‍රවීණයන් පිරිසක්. ඊට විශේෂ හේතුවක් තිබෙනවාද?

ප්‍රසන්නජිත් අබේසූරිය, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, සරත් චන්ද්‍රසිරි, සමන්ත කුමාර, චන්න මහේෂ් කුලරත්න, චාමර ගමැතිගේයි රංගනයෙන් සහභාගි වන්නේ. සංගීතයෙන් ශාන්ත පීරිස්, ඇඳුම් නිර්මාණයෙන් හා වේදිකා පසුතල මඟින් ප්‍රසන්නජිත් අබේසූරියත් සහය වෙනවා. මගේ නිර්මාණයේ ඉන්න ඔවුන් සියලුදෙනා ම ප්‍රවීණයන් වගේම ජනප්‍රිය ශිල්පීන්. ඔවුන් සමඟ කටයුතු කිරීමට මට බොහොම පහසුයි. ඒ නිසයි මා ඔවුන්ව මගේ නිර්මාණයට තෝරා ගන්නේ. චන්න මහේෂ් ජනප්‍රිය නළුවකු නොවෙයි. එහෙත් ඔහු දක්ෂ ප්‍රවීණ නළුවෙක්. චාමර ගමැතිගේත් එලෙසමයි.

වර්තමානයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වඩා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවක ශිල්පීන්ගේ යම් අඩුවක් දකින්නට ලැබෙන බවයි?

ඕනෑ ම අයකුට ටෙලි නාට්‍ය කලාවට පැමිණීම පහසුයි. එහෙත් වේදිකා නාට්‍ය කලාවට පිවිසෙන්නන්ට බොහෝ දේ උගත යුතුයි. ඉන් අදහස් කරන්නේ ටෙලි නාට්‍යවලට යන අය ඉගෙන නොගත යුතුය යන්න නොවෙයි. එහි පිවිසෙන අය කැමරාවට මුහුණ දෙන විදිය ආදී බොහෝ දේ උගත යුතු වෙනවා. මේ කුමන විදියේ අය පැමිණියත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා එය කොහොම හරි ගොඩ දා ගන්නවා. ඒත් ඒ ගොඩ දා ගැනීම වේදිකාවට අදාළ වන්නේ නැහැ. එහි සිටිය යුත්තේ යම් හැදෑරීමක් කළ ශිල්පීන්. පුහුණු වීම් කාලය ඇතුළේ ඔහුට රඟපෑ හැකිද නොහැකිද යන්න අපට හඳුනා ගත හැකියි. අද වනවිට සෞන්දර්ය, කැලණිය, ජයවර්ධනපුර වැනි විශ්වවිද්‍යාලවලින් නාට්‍ය කලාව හදාරන බොහෝ පිරිසක් බිහිවෙනවා. ඔවුන් මේ වනවිටත් විවිධ නාට්‍ය කණ්ඩායම්වලට සම්බන්ධ වී කටයුතු කරනවා. ඔවුන් ලිඛිත අධ්‍යාපනය වගේ ම ප්‍රායෝගික අධ්‍යාපනයෙනුත් සමන්විතයි. මේ නිසා වේදිකාවේ රැඳීි සිටින පිරිසේ අඩුවක් මා දකින්නේ නැහැ.

එහෙත් වර්තමානයේ සිටින පරපුර පෙර අය මෙන් බොහෝ දුෂ්කරතා විඳීන්නට අකැමැති බවක් දක්වන කතාව සත්‍යයක්ද?

‘චව්දරි’ වේදිකා නාට්‍යයේ ලයිට් රිහසල් ඒක දවසේ වේදිකාව පසුපස සිටින ළමයා අතුරුදන් වෙනවා. ඒ සඳහා මා ගත්තේ අලුත් ළමයෙක්. මේ සිදුවීමෙන් මා වටහා ගත්තේ ඔවුන්ට තමා නියැළෙන කාර්ය පිළිබඳ තිබෙන වගකීම ගැන යම් වැටහීමක් නොමැති බවයි. එමෙන්ම බොහෝ වෙලාවට අප නිර්මාණයක් කරන විට ඊට සම්බන්ධ වීමට අලුත් කිහිපදෙනෙකුට ම ආරාධනා කරනවා. ඒ වුණත් එවැනි කටයුත්තකට සහභාගි වීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අනෙක් කාරණය නම් ප්‍රවීණයන් එතැනට පැමිණීමට කෑ කට්ට කන්නට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක සත්‍යයක්. මේ කාරණයත් මා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ පරපුරේ අය හැමෝම එහෙම නැහැ. එතැනට පැමිණෙන අදහස ඇතිව බොහොම මහන්සියෙන් වැඩ කරන අයත් ඒ අතර ඉන්නවා. කොහොම වුණත් හැමෝම දැන ගත යුතු කාරණයක් වන්නේ ඉක්මනින් යන ගමන තාවකාලික බවයි.

අධ්‍යක්ෂවරයකු ලෙස මෙන්ම රංගන ශිල්පියකු ලෙසත් ඔබව බොහෝදෙනා අතර ජනප්‍රිය නැහැ?

තරංග බණ්ඩාර බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒත් නාට්‍ය ක්ෂේත්‍රයේ අය මා ගැන දන්නවා. මේ වගේ ප්‍රවීණයන් පිරිසක් මා සමඟ වැඩ කරන්නේ ඇයි? ඒ සෑහෙන්න කාලයක් මා මෙහි වැඩ කළ නිසයි. අනෙක් කාරණය නම් අධ්‍යක්ෂවරයා ජනප්‍රිය විය යුතු නැහැ. විය යුත්තේ ඔහු අධ්‍යක්ෂණය දැන ගැනීමයි. ඒ වගේ ම වේදිකාවේ සිටින ශිල්පීන් හා ශිල්පිනියන් ගැන දන්නේ ප්‍රේක්ෂාගාරයට පය තියන ප්‍රේක්ෂකයකු පමණයි.

මේ දවස්වල ඔබගේ රඟපෑම ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේත් දැකිය හැකියි?

එහි මා රඟපාන්නේ දිල්හානිගේ සහෝදරයාගේ චරිතයයි. මේ දවස්වල බොහෝ සිනමා ප්‍රේක්ෂකයන් ධර්ම යුද්ධය චිත්‍රපටය නරඹනවා. එක සතුටට කාරණයක්.