වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් ෆිල්ම් එකකට නළු නිළියන් ඕන කරලා තියෙනවා

අලුත් ෆිල්ම් එකකට නළු නිළියන් ඕන කරලා තියෙනවා

‘ඉතින් ඔයාට මොකද පොලී ලකියා කිව්වේ ?’

බිනරි ඇසුවේ කරබා ගෙන පත්තරය කියවන විනෝද්ගෙන් ප්‍රතිචාරයක් නැති තැනය.ඔහු සිටියේ ඇගේ නිවහනේය.කලක් කාමර දෙකක ට සීමා වූ ගෙය දැන් දෙමහලකට හදන්නට පිඹුරු පත් සැකසෙමින් පවතී.එබැවින් තැන තැන ගල් ගොඩවල්ය.

‘මේ යකාට පත්තරයක් හම්බ වුනොත් ඉවරයි’

සිතින් සිතුන දේ එළියට නොයන්නට බිනරි වග බලා ගත්තාය.ආයිත් යකා නගියි.

‘හරියට කියන්න බෑ.බෑ කිව්වෙත් නෑ.හා කිව්වෙත් නෑ’

උත්තරය දෙකට දෙවාරයේය.

ඔහු කියවමින් සිටි පත්තරය පිලිවෙළට නමා ටී පෝව මත තැබුවේය.බිනරි ගේ අම්මා ගේ ඇතුළෙන් එළියට හිස දමා සිනාසුනාය.කුඩා කල සිට නිතර දෙවේලේ එන යන විනොද් නිවසට අමුත්තකු නොවේ.

‘හෙට ඩ්‍රාමාෆෙස්ටිවල් පටන් ගන්නවා.මේ සැරේ රාජිතගේ ඩ්‍රාමා එක බලන්නම ඕනෑ’

විනොද් අලුත් ආරංචියක් පැවසුවේය.

බිනරි කිසිත් කියන්නට ගියේ නැත.

‘සල්ලි තමායි ප්‍රශ්නෙ’

ඔහු යළි කියා සිටියේය. ඒ ගැටලුවට කොහොම හරි විසඳුමක් ගන්නට ඇය සමත් වග ඔහු දන්නේය.ඇය වට පිට බැලුවාය.අම්මා පෙනෙන්නට නැත.

‘මේ සෙනසුරාදා අලුත් ෆිල්ම් එකකට නළු නිළියන් ඕනැ කියලා තියෙනවා.’,

ඔහු ඇය දෙස බැලුවාය.රඟපාන්නට පිස්සුවක් ඇයට තිබුණ වග ඔහුට වැටහුණ ද ද ඒ ගැන මහා ලොකුවට මෙතුවක් ඇය කියා නැත. නාට්‍යය බලන්නට නම් ඔහු සමග එන්නීය.ඇගේ කතාවට ඔහු කැමැතිය.ලක්ෂ්මන් පෙර දිනයේ ඈ පිලිබඳ විතාල විට ඔහු ගේ සිත ගැස්සි ගියේය.ඒ වන තෙක් විනෝද් ට බිනරි යෙහෙළියක් පමණක් විය.නිකම් නොව හොදම යෙහෙළියකි.

ගෙවල් පේලියේ සිටි බොහෝ ගැටයන් සමග විනෝද් ගේ ලොකු යාළු කමක් තිබුනේ නැත.ඒ කිසිවකු හෝ නාට්‍යයක් සඳහා ලොකු උනන්දුවක් තිබුනේ ද නැත.ඇටෙන් පොත්තෙන් එළියට වන් කළ නැතහොත් පාසැලෙන් සමුගත් පසු මොකක් හෝ රස්සාවක් සොයා ගෙන ජීවන බර කරට ගන්නා ඔවුහු ඊළඟට වැඩි සද්දයක් දමා කසාදයක් බැඳ ගනිති.අල්ලපු ගෙදර සිටි චාමින්ද සමග විනෝද්ට තිබුණ යාළු කම අඩු වුණේ ඔහු ට රස්සාවක් හම්බ වුණ හැටියේය.එහෙම ජිවිතයක් නොව තමන්ට අවශ්‍ය නාට්‍යයකරුවකු වන්නටය.ගෙදරින් බර බරය එන්නේ රස්සාවක් නැති කමිනි. රස්සාවක් ද සොයා ගත යුතුය.එහෙත් එසේ වූ කළ මේ ගමන යන්නේ කොහොමද?

‘කොහේද ?’

ඔහු ඇගෙන් ඇසුවේ කිසිත් ගණනකට නැතුවය.

‘සුදර්ශියේ’

‘ඒව මොනව ද කියලා කවුද දන්නේ?’

ඔහු කතා කරන්නේ තමන් අධෛර්යමත් කරන්නටයැයි ඇයට සිතිණ.

ඇය කතා කළේ ගෙතුළට හඩ නොඇසෙන ලෙසටය.

‘අම්මා දන්නවාද ?’

‘ම්හු‘

ඇය නැහැ කියන්නට හිස සෙලවූවාය.

‘මේ එනවකෝ යන්ඩ’

ඇය පැවසුවේ හිස මදක් ඇළ කරමිනි.මේ තොඳොළයට ඔහු ආදරය කළේය.එහෙත් මේ ගැහැණියට බුරුලක් දුන්නොත් ? ඇරත් නළු නිළියක් තෝරන මුවාවෙන් මහා ජාවාරම් සිදු වෙයි.එයට වඩා තමන්ගේ නාට්‍යයේ ඇයට චරිතයක් ලබා දෙන්නට ඔහු තීරණය කර ඇත්තේය.

‘ඕකෙන් වෙන්නේ මට මෙහෙ එන යන එක නතර වෙන එක?

විනෝද් මැසිවිලි නැගුවේය.ඉඳ හිට දවසක බිනරි ගේ අම්මා කුසුමා නැන්දා බත් කටක් කන්නට ද ඔහුට ආරාධනා කරයි.

‘ඒ කොහොමද?’

ඇය අසන්නේ ගෙදරට හොරෙනි. අහල පහල නිවසක සී ඩී යන්ත්‍රයක් පොළව දෙදරවාගෙන සද්ද කරයි.වෙනදාට නම් කන්කරච්චලයක් වන මේ සද්දය අද නම් තමා ගේ කතාව ඔහුට පමණක් සීමා කරන්නට ඉඩ ලබා දෙයි.අල්ලපු ගෙදර සුමනක්කා ගෙ තුළට එබී බැලුවාය.

ඇය සාලයේ වාඩි වි සිට බිනරි සමග කතා කරන විනෝද් දෙස වුවමනාවෙන් බැලුවාය.

‘ආ මේ ඉලන්දාරියා නේ.කෝ බං උඔලෑ අම්මා කෙල්ලේ’

ඇය කිසිදු අවසරයකින් තොරවම ගෙට ගියාය.සුමනක්කාට අවුරුදු පනහක් පමණ වන්නට ඇත.

‘ඔය ආවේ මං කව්රුත් එක්ක ද කතා කරන්නේ කියලා බලන්න’

බිනරි පැවසුවේ සුමනා ගෙතුළට ගිය පසුය.ඇයගේ ස්වරයේ සුමනාව නොරිස්සන ස්වරයක් තිබිණ.

‘ඉතින් ඒ මනුස්සයටත් වැඩක් තියෙන්න එපායැ’

විනෝද් පැවසුවේය.

‘ඇයි දන්නවාද? ඔය යුරෝපයේ මිනිස්සුන්ට ඕපාදූප හොයන්න වෙලාවක් නැහැල්ලු.ඇයි හැම වෙලාටවම වැඩක්.ඉතින් අපේ අයට වැඩ නෑනේ,

‘ඒක නෙමෙයි ,ඔයා එනව ද මාත් එක්ක ?’

එයට පිළිතුරක් නොලැබුනේ සුමනක්කා ගේ ඇතුළලේ සිට එළියට පැමිණි හෙයිනි.ඒ ගමන් විනොද් ද නැගිට්ටේය.

‘මාත් යනවා’

‘ඩ්‍රාමා එකට මොක ද කරන්නේ.

ඇය ඇසුවේ හිතා මතා නොවේ.ඔහු මිදුලට බසින නිසාය.

‘කොහොම හරි එන අවුරුදුදේ ෆෙස්ටිවල් එකට මගේ නාට්‍යයක් තියේවි

ඔහු පැවසුවේ ස්ථිර හඬකිනි.ඇය හෙමිහිට අත් පොළසන් දුන්නාය.

ඒකේ ඔයා රඟපානවා ඔහු සිතට නැගන සිතුවිල්ල වචනයට පෙරළා එළියට දුම්මේ නැත.ඔහු සිතිව්ල්ලේ ආපසු යනු බිනරි බලා සිටියාය.ඈ අනතුරුව ගෙට ගියාය. අම්මා තනිවම කුස්සියේ උයමින් සිටින්නීය.

‘මම මෙහේ සුමේට වැඩ’

අම්මා නෝක්කාඩු කියනු අසා සිටි ය ද කිසිත් නොකියා සිටින්නට බිනරිට වුවමනා විය.රඟපාන්නට යන්නට අසන්නට ඇය මැලි වූවාය.

‘අර ළමයා ගියා ද ?’

‘කවුද විනොද් ද?

නැතුව.වෙන කවුද ?

‘මොකද්ද අර නාට්‍යයක කතාවක් ගැන කිය කියා හිටියේ?’

අම්මා කොයි තැනක සිටක හෝ ඇගේ කතා බහට කන් දුන් වග ඇයට වැටහිණ.

අම්මත් සුමනා නැන්දා වගේ රොයිටර් වැඩේ නේ කරල තියෙන්නේ’

‘එහෙම නැතුව උඹල කරන දේවල් මම නෑසු කන් ඇතිව ඉන්න ද කියන්නේ’

අම්මා ඇසුවෙන් බිනරි කර බා ගත්තාය.විනෝද් පැමිණ සමහර දවස්වල කතාවට වැටෙද්දි අම්මා ද එයට හූමිටි තැබුවාය.එහෙත් දැන් ඔවුන් කතා කරනුයේ තමන්ට වඩා පහසුවෙන් නොදිරවන කතාවන්ය.අපිට වඩා දැනුම් තේරුම් ඇති ළමුන් යැයි සිත සදා ගන්නට එවර ඇය සමත් වූවාය.

ඔවුන්ගේ කතාව නතර වූයේ නිවස ඉදිරිපිට නතර වුණ කුඩා වෑන් රථයේ හඬ ඇසිමත් සමගය.තාත්තා ගේ වෙළ හෙළඳාම් කටයුතුවලට උදව් පදව් දෙන මේ වාහනයත් දැන් ගෙදර සාමාජිකයකු ගාණය.අසල පාරේ කවර වාහනයක් ගිය ද තම නිවසේ වාහනය ඒ අතරින් හඳුනා ගන්නට නිවැසියෝ සමත්ය.චුට්ටං නමට ගැළපෙන්නේ උසින් තොරය.මහතය. බැලූ බැල්මට ව්‍යාපාරිකයෙකි.ටිකින් ටික නෙරා එන කුස ඔහු අඳීන කමිස අතරින් එළියට පනින්ට පටන් ගෙන ඇත.

ඉස්සර දවසක බයිසිකලයේ තබා ගෙන බොරැල්ලේ සිනමා හලකට ගොඩ වී චිත්‍රපට බලන්නට ගිය තාත්තාට දැන් නිවාඩුවක් ඇත්තේම නැත.

චිත්‍රපටයක් සදහා නළු නිළියන් අවශ්‍ය යැයි පත්තරයේ දැක්කේ අද උදේය.බිනරි සිතා සිටියේ ඒගැන අම්මාගෙන් අසන්නට වුවත් ඒ ගැන අසන්නට ඇය බිය වූවාය.එක්කො ඔන්න ඔහේ ගිහින් ඇවිත් තෝරා ගත්තොත් අහනවා .

අන්තිමට ඇය තමන්ටම හිත හදා ගත්තාය.එහෙත් කියන තැනට තනියම යන්නට නම් බිනරි බිය වූවාය.මේ ගමන ගැන හොඳම යෙහෙළියකට වුව කියන්නට ඇය මැළි වූවාය

රහස් නම් රැකිය යුත්තේමයයැයි දහ වැනි පන්තියේ දී උම්මග්ග ජාතකය කියා දුන් චාන්දනී ගුරුතුමිය පැවසූවාය.

‘හෙට නාට්‍ය උත්සවය බලන්න යනවා.කොහොම හරි ඒ අතරේ විනෝද් කැමති කරවා ගන්නවා

නින්දට යන අතරතුර බිනරි සිතා ගත්තාය.

‘එයා බෑ කියන එකක් නැහැ.පුළුවන් වුනොත් තාත්තාට විනෝද් ගේ නාට්‍යය ගැන කියනවා.එහෙම වුනොත් නම් හොඳයි.’

ඊළඟ මිනිත්තුවේ දියණිය නින්දට ගොස් ඇති වග අම්මා වටහා ගත්තාය.

ඊළඟ දවසට නළු නිළි වරම්