|
සූප්පුවාගේ චරිතය ලැබෙන්න මං පින් කරලා ඇති
කසුන් ප්‍රසංක දොඹගොල්ලව‘හඳයා’ කියන විට මතකයට පිවිසෙන දෙදෙනෙක් සිටිනවා. ඒ එක් අයෙක් වන්නේ ටයිටස් තොටවත්ත මහත්තයා. අනෙක් කෙනා නම් එහි රඟපාන සූප්පුවා. ‘හඳයා’ ගැන පවසන විට ඒ විශිෂ්ට චිත්‍රපටය අප වෙතට සමීප කළ ටයිටස් තොටවත්තයන් ගැන මතකයට නොනැඟුවොත් ඔහුට කරන අගෞරවයක් බවයි මට සිතුණේ. කොහොම වුණත් එවැනි නිර්මාණයකින් සොඳුරු සිතුවිලි රැසක් අපේ සිතේ ජනිත කළ ‘හඳයා චිත්‍රපටය ඇසුරෙන් පසුගිය දිනවල එය ටෙලි සිත්තමකටත් නැඟුණා. මේ දවස්වල හිරු රූපවාහිනියේ රාත්‍රි 7.30 විකාශය වන්නේ එයයි. ඒ ‘හඳයා’ ටෙලි නාට්‍ය යේ සූප්පුවාගේ චරිතයට පණ පොවන්නේ කසුන්. චිත්‍රපටයේ සූප්පුවා වුණු කිත්සිරි මෙවන් ජයසේන අපේ හදවතින් නොමැකෙන චරිතයක් වූවා සේම ටෙලි නාට්‍යයේ ඒ චරිතයට පණ පොවන සූප්පුවාව කසුන් ප්‍රසංක දොඹගොල්ලව පසුගිය දිනෙක අපට හමුවුණා. ඔහු සූප්පුවා ගැන වගේ ම ඔහු ගැනත් හෙළිකළේ මෙවැනි අදහස් රැසක්. * ඉතිං සූප්පුවා, කොහොමද ජීවිතේ? සූප්පුවාගේ චරිතය නිසා මට මොකක් හෝ දෙයකට එළියට ගියාට පස්සේ ලැබෙන ප්‍රතිචාර නම් එමටයි. ඔවුන් මාව හඳුනා ගැනීමම මට සතුටක්. විශේෂයෙන් ම මුහුණු පොත හරහා ලැබෙන ප්‍රතිචාරයත් මෙහිදි සිහිපත් කළ යුතුමයි. * ඔබ ටෙලි නාට්‍යය සඳහා පැමිණීමට කලින් ඉන්නේ රන්වල බලකායේ නේද? ඔව්. මා රන්වල බලකායේ ඉන්න කාලය වසර එකොළහක්. ඒ ගුරුවරයෙක් විදියට හා එහි ශිල්පියකු විදියටයි කටයුතු කළේ. * ඒ අතරයි ඔබට සූප්පුවාගේ චරිතයට කතා කරන්නේ? ‘හඳයා’ ටෙලි නාට්‍යය කරන නිෂ්පාදකතුමා ප්‍රභාත් රෝෂන් අයියා සහන් සර්ගෙන් මාව ඉල්ලලා තිබුණා. ඔහු මාව පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පස්සේ සුදත් මහත්තයාට හඳුන්වලා දුන්නා. * ඔබව සූප්පුවා බවට පත් කරන්නේ ඒ හඳුනා ගැනීමද? ඇත්තටම මට පුදුම සිතුණේ මෙහි අධ්යක්ෂවරයා කිව්ව කතාවකින්. ඔහු මට පැවසුවේ මල්ලි මම කැමැතියි ඔයත් එක්ක දිගටම වැඩ කරන්න කියලයි. අධ්යක්ෂවරයකු පළමු වතාවටයි එවැනි අදහසක් මා හමුවේ පැවසුවේ. එවිටයි මාව සූප්පුවාගේ චරිතයට තෝරා ගත්තාද කියන අදහස සිතට පැමිණියේ. * ඔබ පුදුමයට පත්වුණා? ටෙලි නාට්‍යයකට ඉදිරිපත් වුණු මේ මගේ පළමු සම්මුඛ පරීක්ෂණයයි. ඒ වගේ දෙයකින් මේ වගේ ප්‍රතිචාරයක් ලැබුණු විට මට අදහා ගැනීමට නොහැකි වුණා. එහි රඟපෑම මගේ ජීවිතයට අපූරු අත්දැකීමක්. ඒ වගේ ම ‘හඳයා’ චිත්‍රපටයේ සූප්පුවාගේ චරිතය ම ටෙලි නාට්‍යයේත් රඟපෑමට ලැබීමට ලැබීමට මා ලොකු පිනත් කරලා ඇති බවයි සිතන්නේ. * ඔබ මීට පෙර ‘හඳයා චිත්‍රපටය නරඹලා තිබෙනවාද? ටයිටස් තොටවත්ත මහත්තයා මේ චිත්‍රපටය කරන විට මා ඉපදිලාවත් නැහැ. මේ වනවිට මා ඒ චිත්‍රපටය කිහිපවිටක් ම නරඹලයි තිබුණේ. ඒ චරිතයටයි මාව මේ පරීක්ෂණයට ලක්කරන්නේ කිව්වාට පස්සේ මට සිතා ගන්නවත් බැරි වුණා. එහිදි දෙබස් කිහිපයක් කියන්න දුන්නා. ඒ දෙබස් ටික හරියට කිව්වා කියලා සිතෙනවා. ඒත් එක්ක ම මාව තෝරා ගත්ත බව දැනුම් දුන්නා. * එහි ඔබට මුලින් ම රඟපෑමට ලැබුණේ කා සමඟද? මගේ පළමු රඟපෑම තිබුණේ ප්‍රවීණ රංගන ශිල්පියකු වුණු කුමාර තිරිමාදුර අයියාත් එක්කයි. ඒක තවත් ලොකු අත්දැකීමක් වුණා. ඔහු මට ලබා දුන්න උදව්ව මට හරියට වටිනවා. අත්දැකීම් රැසක් ලැබුව ඔහු වැනි රංගන ශීල්පියකු සමඟ රඟපෑමට අවස්ථාව ලැබීම මා අගය කොට සලකනවා. * සූප්පුවාව ඔබට දැනුණේ කුමන විදියටද? සූප්පුවා කියන්නේ ගැටවරයෙක්. ඔහු මුල ඉඳන් ම සෑම දෙයක් ම සැලසුම් කළත් අවසානයේදි ඒ සියල්ල අනා ගන්නවා. ඒ චරිතය ඇසුරේ ගන්න තිබුණු දේවල් මා ගත්තා. ඊට අමතරව කසුන් කියන මා ඇතුළේත් ඔය වගේ විවිධ විකාර දේ තිබෙනවා. ඒවත් මේ චරිතයට මා එකතු කළා. ඒ සියලු දේ කළේ සුදත් මහත්තයාගෙනුත්, ප්‍රභාත් රෝෂන් අයියාගෙනුත් අනුමැතිය අරගෙනයි. * කසුන් සැබෑ ජීවිතයේදිත් සූප්පුවා වගෙයිද? එහෙමම නොවෙයි. මා ඇතුළේත් විවිධ චරිත තිබෙනවා. විශේෂයෙන් කිව්වොත් මා පපර බෑන්ඩ් කටින් ගහනවා. සමහර විට විසිල් කරනවා. පපර කටින් ගහන එක ගැන සුදත් මහත්තයා බොහොම සන්තෝෂ වුණා. ඒකට මට සහය වන්නේ සේන හා ඇන්ටාගේ චරිතය රඟපාන මගේ යහළුවන් දෙදෙනා. * ඔබ නිතරම සිනහ වෙලා ඉන්න කැමැති කෙනෙකු කියලා අපට ආරංචියි? හැම තිස්සේ ම මා කැමැති සෑම මනුස්සයකුම එක්ක සිනහ වෙලා ඉන්නයි. මාත් සමඟ ඉන්න විට හැමෝම ඉන්නේ සිනහ වෙලා. ඒ නිසා ම වෙන්න ඇති මේ වගේ පුංචි පෙනුමක් මට තිබෙන්නේ. ඒ පෙනුමත් මට ලැබුණු වාසනාවක්. * මෙහිදි සිදුවුණු විශේෂ මතකයක් ගැන මතකයට නඟමු? මෙහි එක් දර්ශනයකදි මට සේනත් එක්ක සටනට යන්න සිදු වෙනවා. එහිදි මගේ පච්චයා කියන පෝනියා පිට නැඟලයි මා සටනට යන්නේ. මා එහිදි අඳීන්නේ යකඩ ඇඳුම් වගයක්. එහිදි දමන මල්බාල්දිය නිසා නැඟෙන සද්දයට දෝ පච්චයා හොඳටම කළබල වෙලා වේගයෙන් දුවන්න ගත්තා. ඒ තරම්ම බයක් මට කිසිම දවසක දැනිලා නැහැ. කරන්න දෙයක් නැති නිසා මා ඌගේ පිටෙන් එක පාරටම පැන්නා. හොඳ වෙලාවට මට මුකුත් වුණේ නැහැ. දෙවැනි වරත් රූගත කිරීමේදි සිදුවුණේ එයමයි. වෙනසකට වුණේ පච්චයා සමඟ මාව ඇඳගෙන වැටීමයි. ඌ සිටියේ මගේ ඇඟ උඩයි. ඒත් ඌ ඉක්මනට නැඟිටලා නොයන්න මගේ කොණ්දත් කැඩෙන්න තිබුණා. * ඔබ කොළොම් පුරවරයට පිවිසෙන්නේ ඇයි? මා ඉගෙන ගත්තේ ශාන්ත අන්තෝනි විදුහලේ. ඒ කාලයේ මගේ සිතේ තිබුණු සිහිනයක් තමයි රට නියෝජනය කරන්න ඕනෑ ය කියන කාරණය. ඒ අතරදියි මට ගැටඹේ තිබුණු රහන් සහන් රන්වල සර්ගේ ගමඅවුලඤ්ඤං කියන සංදර්ශනය දකින්නට ලැබෙන්නේ. ඒ නැරැඹුවාට පසුවයි මගේ සිතට මේ වැඩෙත් රට නියෝජනය කරන වැඩක් නේද කියන හැඟීම එන්නේ. එයට සහභාගි විය යුතුයි කියන අදහස සිතේ ඇතිවීමත් සමඟ මා ඔවුන්ගේ ජන ගී හා ප්‍රාසංගික කලා පාඨමාලාවට මා ඇතුළත් වෙනවා. ඒ අතරින් ඔවුන්ගේ ඊළඟට තිබුණු ප්‍රසංගයක් සඳහා තුන්සිය දෙනෙකු අතරින් දෙදෙනෙකු තෝරා ගන්නවා. ඉන් එක් අයකු වන්නේ මමයි. ඒ වනවිට මා සිටියේ අට වැනි පන්තියේ. * පාසල් කාලය අතරතුර ඔබ නිතරම කොළඹ පිවසෙනවා? සහන් සර්ගේ ප්‍රසංගවලට මා සම්බන්ධ වීමත් එක්ක මට නිතරම කොළඹට පිවිසෙන්නට සිදුවෙනවා. ඒ - ලෙවල් කරලා අවසන් වුණාට පස්සේ නිවෙසේ තිබුණු වටපිටාවත් එක්ක රැකියාවක අවශ්‍යතාව දැනෙනවා. ඒ නිසා මා කාගිල්ස් ආයතනයේ බැංකුවට බැඳෙනවා. ඒ මොකද මට වුවමනා වුණා මගේ අම්මාට, තාත්තාට ආඩම්බර විය හැකි ළමයකු වීමට. ඔවුන්ට යම් අත්වැලක් වීමට මට වුවමනා වුණා. ඒ නිසා ඔවුන්ට බරක් වීමට මා කැමැති වුණේ නැහැ. මේ දක්වා මගේ තිබෙන එක් බලාපොරොත්තුවක් වන්නේ මගේ පවුල ඉහළට ම අරගෙන එන එකයි. * පවුලේ අයගෙන් ඔබගේ කටයුතුවලට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද? ලොකුම අයියා ප්‍රදීප් ධනුෂ්ක. දෙවැනියා සුමිත් අසංක. තුන්වැන්නා සමීර මධුශංක. සිව්වැනියා මමයි. පස්වැනියා මල්ලි ශෙහාන් රස්මිකයි. අනෙක් අයගෙන් මගේ රංගන කටයුතුවටල ලැබෙන සහයෝගය අපමණයි. නිතරම බොහෝ දේවල් හුවමාරු කරගන්නේ අප දෙදෙනායි. මෙහිදි විශේෂයෙන්ම අම්මා හා තාත්තාත් සිහිපත් කළ යුතුයි. මගේ ජීවිතයේ වීරයන් බවට පත්වී තිබෙන්නේ ඔවුන් දෙදෙනායි. * රැකියවත් සමඟ රඟපෑම පහසුයිද? විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් වන්නේ මා රැකියාව කරන කාගිල්ස් බැංකුවයි. එහි මා කටයුතු කරන්නේ සහකාර බැංකු නිලධාරියකු විදියටයි. ඒ රැකියාව කරන අතරතුරදි කසුන් කියන චරිතයට එළියට එන්නට ඔවුන් මට උපරිම සහයෝගය ලබා දුන්නා. මගේ නිවාඩු අනුමත කිරීමට, මට විවිධ සංදර්ශනවලට යෑමට සුවිසල් සහයෝගයක් ලබා දුන්නා. විධායක නිලධාරි ප්‍රභූ මාධවන්, මිස් ත්‍යාගරාජා, මානව සම්පත් නිලධාරිතුමා, ගීතා දසනායක, මගේ මැනේජර් වත්සලා විමලසේන වගේ ම මාත් සමඟ වැඩ කරන සියලු ම යහළුවන්ගෙන් ලැබෙන සහයෝගය නොවන්නට මට මේ විදියට රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් සියලුදෙනාට ම ස්තුති කිරීමට මා මේ අවස්ථාවක් කර ගන්නවා. * ඔබට රඟපෑම වගේ ම ගායනයත් එකලෙස හැකියි? මා කන්තාරු කණ්ඩායමේ අවුරුදු හයක් ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු විදියට කටයුතු කළා. එහිදි මා කළේ වෙස්ටන් වර්කල්. පදවි මාධ්‍ය කේන්ද්‍රයෙන් කළ තරගාවලියේදී සිංහල අංශයෙන් පළමු ස්ථානයත්, 2005 වසරේදී ඉංග්‍රීසි අංශයෙන් පළමු ස්ථානයත් මා ලබා ගන්නවා. පාසලේ නිවේදන කටයුතු කරනවා. ඒ අතරදියි මා සහන් සර්ගේ කණ්ඩාමට එකතු වන්නේ. ඊට පසුවයි රඟපාන්නේ. * ඉදිරියේදී ඔබ රඟපෑමෙන්ම පමණක් නරඹන්නන් ඉදිරියට පිවිසේවිද? රැකියාව කරන ගමන් ම රඟපෑමෙන්, ගායනයෙන්, නිවේදනයෙන් ඉදිරියට පිවිසීමටයි මා සිතාගෙන සිටින්නේ. ඉදිරියේදී මගේ ගීතයක් එළිදැක්වීමටත් අදහසක් තිබෙනවා. මට මේ තරම් හැකියාවක් දුන්න දෙවියන් වහන්සේටත් මා ස්තුති කරනවා. නිමන්ති අක්කා අපව බලා ගන්නේ හරියට අම්මා කෙනෙකු වගේ. ඈටත් ස්තුති විය යුතුයි. රඟපෑමට අවස්ථාව දුන්න සුදත්, ප්‍රභාත් මහත්වරුන් ඇතුළු සහය අධ්යක්ෂ, කැමරා අධ්යක්ෂවරයාගේ පටන් තේ හදන කෙනා දක්වාත්, කෲ එකේ සියලුදෙනාගෙත් සහයෝගයෙනුයි අප මේ විදියට ශිල්ප දක්වන්නේ. ඔවුන්ගේ මහන්සියයි මේ අපගේ දක්ෂතා පසුපස තිබෙන්නේ. ඔවුන් සියලුදෙනාවම සිහිපත් කළ යුතුයි.
|