වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




රණවීර හා සුරවීරගේ පටලැවිල්ල අප්පට සිරි

රණවීර හා සුරවීරගේ පටලැවිල්ල අප්පට සිරි

මහමුදලිගේ රණවීරට ගැටලු රැසක් ඇත. එනමුදු ඊට විසඳුමක් ලැබේදැයි සැක සහිතය. ඒවා අතර ප්‍රබලතම ප්‍රශ්නය වන්නේ රත්නාවතී ඇලපාත කුමාරිහාමි නමැති තම මිත්තණිය ඉඩකඩම් නිසියාකාරව බෙදා නොතිබීමය. ඇගේ පුතාගේ පුතු වන රණවීරට තවමත් ඒ ඇලපත වලව්වෙන් එකදු බිම් අඟලක්වත් නීත්‍යානුකූලව අයිතිය නැත්තේය.

හදිසි අනතුරකින් රණවීරගේ පියා නොහොත් ඇලපාත කුමාරි හාමිගේ පුතණුවන් මිය ගොසින්ය. ඒ අනතුරින් ලේළිය ද මෙලොව හැර ගියේය. ඉතිරි වූයේ රණවීර පමණි. වතුපිටි හරකබාන මුදල් හදල් බෙදාදීමට ඇලපාත පරපුරේ වෙන කවුරුන් හෝ ඉතිරි වී නැත. එහෙයින් ඒවා තම නමට ලියන මෙන් රණවීර තම මිත්තණියට බල කරනු ලබයි. පුෂ්පදන්ත නමැති රණවීරගේ මිතුරා ඊට උල්පන්දම් දෙයි. මිත්තණිය කිසිදු දෙයක් රණවීරට ලියන්නේ නැත. ඊට හේතුව වන්නේ එසේ කලහොත් තමන්ව මහ පාරට දමාවි යැයි අනියත බිය හේතුවෙනි. රණවීර සහ පුෂ්පදන්ත සටන අත හරින්නේ ද නැත. ගම්මුන්ට ද මෙය එක අතකින් හිරිහැරයක් වන්නේය.

ඇලපාත කුමාරිහාමිට ගමේ උදවිය බෙහෙවින් ආදරය කරයි. ඇයට ගරු කරයි. එහෙයින් රණවීර සහ පුෂ්පදන්ත ඇයට හිරිහැර කිරීම ඔවුනට දරාගන්න බැරි වෙයි. බැරිම තැන ගම්මුන් එක්ව රණවීර සහ පුෂ්පදන්තට පහර දෙනු ලබයි. එය කෙළවර වනුයේ ඔවුන්ව ගමෙන් පන්නා දැමීම තුළිනි. ගුටි කා ඇඳුම් ද ඉරාගෙන රණවීර සහ පුෂ්පදන්ත අයාලේ ඇවිද යයි. මේ අතර සොරකම් කරගත් ඇඳුම් ද ඔවුන් ඇඳ ගනියි. ක්‍රමයෙන් දෙදෙනා ගමක් වෙත ළඟාවේ. පුදුමයකි රණවීර සහ පුෂ්පදන්ත දෙස බලා එම ගමේ ගම්මුන් සුහද වන්නේ දිගු කලක සිට දන්න හඳුනන අය පරිද්දෙනි. රණවීරට සුරවීර යනුවෙන් ගමේ උදවිය ආමන්ත්‍රණය කරයි. දෙදෙනාටම එය මහත් වූ ප්‍රහේලිකාවකි. එනමුදු රණවීර වූ සුරවීරට ලැබෙන සැලකීම් ද වැඩිය.

එහෙයින් රණවීර සුරවීර ලෙසටම ගමේ කාලය ගත කිරිමට පටන් ගනියි. කපටිකම් ද සිදු කරයි. මේ අතර ඇත්ත සුරවීර ගමට එයි. නාගරික මන්ත්‍රීවරයකු වන ඔහු රණවීරගේ හැඩරුවට සමානය. රණවීර සුරවීරගේ නම විකුණමින් ගමේ ගත කළ ජීවිතය හේතුවෙන් සුරවීර මහත් වූ අපහසුතාවයට පත් වෙයි.

අප්පට සිරි. මේ ඒ සිනමාපටයේ කතා පුවතයි. මෙම මස 22 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි අප්පට සිරි තිරගතවීමට නියමිතය. ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයක් වන එහි දිගු කලකට පසු කලක් ජනප්‍රිය රංගන ශිල්පිනියකව සිටි ප්‍රශානි පෙරේරා රංගනයේ යෙදෙයි. එමෙන්ම නැසීගිය ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ පුතණුවකු වන චලක චමුපති පෙරේරා සිනමා රංගනයට අවතීර්ණ වන්නේ ද අප්පට සිරි තුළිනි. එහි පුෂ්පදන්තගේ චරිතය ඔහු විසින් නිරූපණය කරයි. මහේන්ද්‍ර පෙරේරා මෙහි ද්විත්ව රංගනයේ යෙදෙයි. ඒ රණවීර සහ සුරවීර ලෙසටය.

සිනමාවේ තවත් ජනප්‍රිය නළුවකු වන රජීව් නානායක්කාරගේ රංගනය ද අප්පට සිරි තුළින් දක්නට ලැබීම ද විශේෂත්වයකි.

අප්පට සිරි සෙසු චරිත:

බන්දුල විජේවීර, හයිසින්ත් විජේරත්න, ඉනෝකා එදිරිසිංහ, ටිරෝන් මයිකල්, සැනෙට් දික්කුඹුර, සිසිර කුමාරතුංග, දොන් ගයි, චතු ගම්ලත්, සුනිල් ප්‍රේමකුමාර, ටෙඩී විද්‍යාලංකාර, මහින්ද ඉහළගම, මල්කි ප්‍රනාන්දු, සරත් අනුරංග, මහේෂ් ගම්මැද ලියනගේ, ගාමිණී සුබසිංහ, හේරත් ගලිගමුව

අප්පට සිරි නිෂ්පාදන කණ්ඩායම:

නිෂ්පාදනය - එන්. උදයකුමාර්, පී. අරූරන්

තිර රචනය - ලාල් ප්‍රියදේව

කැමරාකරණය - ජනිත් ගුණසේකර, ඉන්දික අත්තනායක

අංග රචනය - මනෝජ් කුමාර, සෙල්වරාජ්

ගායනය - ලතා වල්පොල, උරේෂා රවිහාරි, බන්දුල විජේවීර, චලක චමුපති පෙරේරා

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

සංගීත අධ්‍යක්ෂණය - විශාරද එඩ්වඩ් ජයකොඩි

සංස්කරණය - ප්‍රභාත් පෙරේරා

ගීත රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු

සහාය අධ්‍යක්ෂණය - හර්ෂ මනෝජ් සන්දනායක

පිටපත සැකසීම - දුලානි බාලසූරිය

නර්තන අධ්‍යක්ෂණය - සචිත්‍රා ප්‍රියානි