|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
වසර 65 කට පෙර ප්‍රථම සිනමා සඟරාව ලෙස ‘තරුව’ උදාවෙයිශ්රී ලංකාවේ පළ කරන ලද ප්‍රථම සිංහල චිත්‍රපට සඟරාව පළ වි ඇත්තේ 1952 වසෙර්ය. ඒ මීට වසර 65 කට පෙරය. සඟරාවේ නම 'තරුව'ය. එහි මුල් කලාපය නිකුත් වී ඇත්තේ 1952 නොවැම්බර් 01 වෙනිදාය. මෙහි පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ 'බුද්ධි විකාශනයත්, කලා රසාස්වාදයත්, ආත්ම විනෝදයත් පාඨකයන් තුළ වගා කිරීම තම පරමාධ්‍යාශය බවය. ජිනදාස නියතපාල 'තරුව' ප්‍රධාන සංස්කාරකය. සහාය සංස්කාරක මිණිපුර ජයසේනය. ප්‍රකාශක ජේ. කේ. චාල්ස් පෙරේරාය. දැන්වීම් කළමනාකරු පී. සැම්සන් පෙරේරාය. කාර්යාල ලිපිනය 193, හයිස්ට්‍රීට්, කොළඹ 6 ය. 'තරුව' අධිකාරින් වෙනුවෙන් වැල්ලවත්තේ හයිස්ට්‍රිට් හි පදිංචි ජේ. කේ. ජෝර්ජ් පෙරේරා විසින් මහරගම සිටි ප්‍රින්ටර්ස්හි මුද්‍රණය කරවන ලද මේ සඟරවේ මිල ශත 30 කි. කවරය එකල ජනප්‍රිය හින්දි නිළි නර්ගීස්ගේ රූපයකින් සැරැසී තිබුණි. තරුව ලංකාවේ පළවන ප්‍රථම සිනමා මාසිකය ලෙස පිට කවරයේ සටහන්ව තිබිණ. එහි කතුවැකියේ මෙසේ සඳහන්ව තිබුණි. 'අපේ ප්‍රයත්නය හැට ලක්ෂයක් පමණ සිංහලයනට ආත්ම විනෝදයත්, බුද්ධි විකාශනයත් කලා රසාස්වාදයත් ලබා දිය හැකි මාසික සඟරාවක් බිහි කරවීමය. මෙම අදහසේ ප්‍රතිඵලයක් වශයෙන් අද හාපුරා කියා ශුභ නැකතකින්ය ඔබ හද අම්බරය වෙත 'තරුව' උදාවන්නේ. සිංහලයන් අතර චිත්‍රපට නරඹන්නන් අති විශාල සංඛ්‍යාවක් ඇතිමුත් චිත්‍රපට පිළිබඳ මනා අවබෝධයක් ඇති කරවන සංස්කෘතික සිංහල සඟරාවක් මේ වනතුරු ද ඇති වී නැත. සතිපතා සහ දිනපතා පත්‍ර මාර්ගයෙන් මඳ වශයෙන් විවිධ චිත්‍රපට පිළිබඳ අදහස් - උදහස් පළ කැරෙන මුත් නියම අන්දමට ක්‍රමානුකූලව චිත්‍රපට තොරතුරු අන්තර්ගත කලාත්මක සිංහල සඟරාවක් නැතිකමේ පාඩුව බොහෝ දෙනෙකු අප සමඟ කීම ද මේ සඟරාව මුද්‍රණද්වාරයෙන් පිටවීමට එක් හේතුවක් විය.' සඟරාවේ වැඩි තැනක් හිමිව ඇත්තේ එරල් ෆ්ලින්, ග්‍රෙගරි පෙක් ආදී බටහිර නළුවන්ටත්, නිම්මි, සුරයියා, සයිගාල්, මධුබාලා, දේව් ආනන්ද්, රංජන්, නූර්ජහාන්, රාණි, භානුමතී, නදීරා, මදුරි දේවි, සාබු ආදී භාරතීය කලාකරුවන්ටය. 'සිංහල චිත්‍රපට නිෂ්පාදනය පිරිහෙන්නේ ඇයි?' යන ලිපිය ලියා ඇත්තේ ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා (පසු කලෙක ප්‍රකට චිත්‍රපට, ගීත රචක හා චිත්‍රපට අධ්‍යක්ෂ) විසිනි. 'අලුත් නිෂ්පාදන' යන පිටුවේ එන තිර තෙරතුරු 10 යෙන් 09 ක් හින්දි චිත්‍රපටවලට වෙන් වූ අතර ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ 'එදා රෑ' චිත්‍රපටය ගැන සිංහල චිත්‍රපටයකට වෙන් කර තිබුණි. මේ එක සිංහල චිත්‍රපට ප්‍රවෘත්තියයි. 'එම රාත්‍රිය' (ඊඩචබ ව්ඪඨඩබ) නමැති ශාන්ති කුමාර්ගේ දෙවැනි නිෂ්පාදනය ළඟදීම ඔබට දකින්ට හැකි වෙනවා ඇත. සමාජ නාට්‍යයක් වන මෙහි නළු නිළි පිරිස අතර ගිය වර්ෂයේ ලංකා රූප රාජනිය වශයෙන් තෝරා ගන්නා ලද චෙල්වතී පිලිප්ස් ද වෙයි. සර් ජෝන්ගේ කඳවල ගෘහොද්‍යානය ඇතුළු මෙරට දැකුම්කලු ස්ථාන රාශියක්ම දැක්ක හැකි මේ දර්ශනීය නාටකය සම්පූර්ණයෙන් චිත්‍රපටයට නඟන ලද්දේ ලංකාවේදීය. මෙහි ප්‍රධාන නිළිය සිතා ජයවර්ධනය.' සඟරාවේ හොඳම ලිපිය ලියා ඇත්තේ 'දින දින' සඟරාවේ සංස්කාරක ආනන්ද තිස්ස ද අල්විස් විසිනි. ශ්‍රීමත් ජෝන් කොතලාවල චිත්‍රපට කර්මාන්තය ද භාර ඇමතිතුමාගේ සන්දේශයක් ද මේ සඟරාවට ඇතුළත්ව ඇත. එහි මෙසේ ද සඳහන් විය. 'තරුව' සඟරාව උසස් වෑයමක් බව කිව යුතුය. චිත්‍රපටය විනෝදයටම සීමා වී පැවති අවධිය ගෙවී ගොස් එය මාහැඟි කලාවක් බවට පත්ව පවතින මේ කාලයෙහි ඒ පිළිබඳ සිංහල ජනතාව තුළ ද අමුතු ප්‍රබෝධයක් දක්නට ලැබේ. කලකට උඩදී චිත්‍රපටවලට පෙනී සිටි නළු නිළියන් පවා සමාජයේ උසස් අය වශයෙන් නොසලකන ලදී. ඒ තත්ත්වය මඟ හැරී ගොස් චිත්‍රපටිය සංස්කෘතික වටිනාකමක් ඇතිව සම්පාදනයවීමත්, චිත්‍රපටිවල පෙනී සිටින නළු නිළියන් ඉහළ පෙළේ කලාකාරයන්වීමත්, චිත්‍රපට නැරැඹීම හුදු විනෝදයට පමණක් නොව, බුද්ධි විකාශයට ද ඉවහල්වීමත් නිසා ඒ හැම දෙයක්ම සිංහල ජනතාවට කරුණු දැන ගැනීමට මෙවැනි සඟරාවක් අතිශයින්ම ප්‍රයෝජනවත්ය. එබැවින් 'තරුව' සඟරාව දරන වෑයම හැම අතින්ම සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි.' ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයේ නිෂ්පාදක ඇස්. ඇම්. නායගම් ද පණිවුඩයක් 'තරුව' සඟරාවට ඇතුළත්ව තිබිණ. 'තරුව' සඟරාවේ සංස්කාරක ජිනදාස නියතපාල අද ජීවතුන් අතර සිටින පැරැණිම හා මුල්ම චිත්‍රපට සඟරා කතුවරයාය. ඔහු ඊට පසු වඩාත් කැපී පෙනුණේ පරිණත දේශපාලනඥයකු ලෙසය. දැනට ඔහු තලවතුගොඩ හෝකන්දර පාරේ නිවසේ සිය සන්ධ්‍යා කාලය ගත කරයි. නියතපාල මහතාගේ දියණියක් විවාහ වී සිටින්නේ වර්තමාන ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා සමඟය. පොල්තුටුව ආරච්චිගේ ජිනදාස නියතපාල 1930 අප්‍රේල් 20 වෙනිදා උපත ලබා පෙම්රොක් ඇකඩමිය හා රජයේ අභ්‍යාස ගුරු විද්‍යාලයේ (අද තර්ස්ටන් විද්‍යාලය) ඉගෙනුම ලබා තරුණ වියේදීම එක්සත් ජාතික පක්ෂයට බැඳී කටයුතු කළ තරුණ සංවිධායකයෙකි. ලේඛන කලාවට, පුවත්පත් කලාවට පෙම් බැඳි මේ තරුණයා එ. ජා. ප. නිල පුවත්පත වූ 'සියරට' පත්‍රයේ ප්‍රධාන කර්තෘ වී ඇත්තේ ආනන්ද තිස්ස ද අල්විස්ගෙන් පසුවය. එසේම එ. ජා. ප. ඉංග්‍රීසි නිල පුවත්පත වූ 'ඛ්ඥරතධද ට්භචපඤඪචද' පුවත්පත හා දමිල නිල පුවත්පත වූ ර්‍ථචපමඥඪ පුවත්පතේ ද කළමනාකාර කර්තෘවරයා ද ඔහු විය. ලංකා ජාතික පෙරමුණේ ආරම්භක හා මහා ලේකම් ලෙස ද, මව්බිම සුරැකීම සංවිධානයේ සම ලේකම්වරයා ද වූ ඔහු කෝට්ටේ බෞද්ධ සංවිධානයේ සභාපතිවරයා ද විය. ජාත්‍යන්තර බෞද්ධ සභාවේ අනුශාසකවරයා ද වූ ඔහු ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර නිදහස් ව්‍යාපාරයේ මහා ලේකම් හා ස්වාධීන ජනමාධ්‍යය සංගමයේ නිර්මාතෘවරයා ද විය. 1960 මාර්තු මහා මැතිවරණයෙන් කෝට්ටේ ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ලෙස තේරී පත් වූ ඔහු 1989 මහා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙනි. ඔහු කෝට්ටේ හා කොලොන්නාව ආසන ශ්‍රී ල. නි. ප. සංවිධායක ලෙස ද කටයුතු කොට ඇත. 'තරුව' සඟරාවේ සහාය සංස්කාරක වූ මිනිපුර ජයසේන ප්‍රකට විරුදු ගායකයකු හා කවියකු විය. සඟරාවේ කළමනාකාර අධ්‍යක්ෂ වූ ජේ. කේ. චාල්ස් පෙරේරා පසුව 'විස්මය' (1978) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. 'තරුව' සඟරාව සිංහල සිනමා සාහිත්‍යයේ මුල් යුගයේ උදා වූ 'තරුවක්' ලෙස බැබළුණේය.
|