|
රුවන් කාටත් හොරෙන් බැඳලා
“ඒක ප්‍රමාදයක් විදියට නොවෙයි මා සලකන්නේ. මම හිතන්නේ විවාහ වීමට මට ගැළපෙන ම කෙනා ලැබෙන්නත් ඕනෑ. ඒ සඳහා සුදුසු කාලය පැමිණෙන්නත් ඕනෑ. මට ම ගැළපෙන කෙනා ලැබෙනතුරු ඉන්න තරම් මා වාසනාවන්ත වුණා. මේ නිසා නියම කාලයේ විවාහ වුණා කියලා මට සිතෙනවා. මා එලෙස පවසන්නේ ජීවිත අවබෝධය හොඳටම තිබෙන කාලයේදියි මා විවාහ දිවියට එළැඹෙන්නේ. මේ නිසා මගේ පැත්තෙන් විවාහ වීමට ප්‍රමාදයක් වුණා කියලා මට සිතෙන්නේ නැහැ.”
මීට වසර දාහතරකට පමණ පෙර ‘චාතුර්යා’ ටෙලි සිත්තම ඔස්සේ ශ්‍රී ලාංකේය රූපවාහිනි නරඹන්නන්ගේ ආදරය දිනාගත් ඔහු අදද හඳුන්වනුයේ ද මාටියා යන ආදරණීය නාමයෙනි. ඒ තරමටම ‘චාතුර්යා’ ටෙලි සිත්තමේ මාටියා ඔවුන්ගේ හදබැඳ ගත්තේ ය. මාටියා ලෙස සිය රංගන දායකත්වය දැක්වූ ඔහු රුවන් වික්‍රමසිංහ ය. ඔබ ආදරය කළ රුවන් පසුගිය කාලයේ වැඩි සද්ද බද්දයක් නැතිව ම විවාහ වූ බව අපට දැන ගැනීමට ලැබිණි. මේ අලුත් කැදැල්ලේ තොරතුරු සොයන අටියෙන් මම රුවන් හා ඔහුගේ බිරිය සොයා ගියෙමි. ඔවුන්ගේ නව කැදැල්ල ඉදිව තිබුණේ තලවතුගොඩ හෝකන්දර මාර්ගයේ මඳක් ඇතුළට පිහිටි පටු පාරක ය. බොහොම නිදහස් පරිසරයක පිහිටි දෙන්නා දෙමහල්ලන්ගේ මේ කැදැල්ල වැඩි ආටෝපවලින් සමන්විත නොවීම මාව පුදුමයට පත් කළේ ය. සරල ලෙස හැඩ ගැසුණු සාලයේ තිබුණේ පුටු සෙටියත්, රූපවාහිනි යන්ත්‍රයත් පමණි. “ඉතිං බොහොම කාලයකට පස්සේ.” ඒ ඇසූ ප්‍රශ්නයට ඔහු සතු සුපුරුදු සිනහව මාවෙත පානා ගමන් ම මට රුවන් ඉඳ ගැනීමට යෝජනා කළේ ය. “කිසිම කෙනෙකුට නොකියා හොරෙන් ම විවාහ වුණා නේද?” කලින් ප්‍රශ්නයට ද පිළිතුරක් නොලැබුණෙන් මම විමසීමි. “හොරෙන්මත් නොවෙයි. ඒක ටිකක් සැලසුම් සහගත වුණු වැඩක්. ඒත් අඬබෙර ගහලා විවාහ වීමට මට වුවමනාවක් තිබුණේ නැහැ. ඒ කටයුතු මට කිරීමට වුවමනා වී තිබුණේ බොහොම සාමාන්‍ය විදියටයි. ඒ හේතු මත ප්‍රසිද්ධියක් නොගෙන ම මම විවාහ වුණා. මේ වනවිට අප දෙදෙනා සතුටෙන් හා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.” රුවන් වික්‍රමසිංහ විවාහ දිවියට පත් වන්නේ ඔහුගේ වයසේ අයත් සමඟ බලන විට පසු කාලයේදී ය. “ඔබ විවාහ වීමට මේ තරම්ම කාලයක් ගත්තේ ඇයි?” “ඒක ප්‍රමාදයක් විදියට නොවෙයි මා සලකන්නේ. මම හිතන්නේ විවාහ වීමට මට ගැළපෙන ම කෙනා ලැබෙන්නත් ඕනෑ. ඒ සඳහා සුදුසු කාලය පැමිණෙන්නත් ඕනෑ. මට ම ගැළපෙන කෙනා ලැබෙනතුරු ඉන්න තරම් මා වාසනාවන්ත වුණා. මේ නිසා නියම කාලයේ විවාහ වුණා කියලා මට සිතෙනවා. මා එලෙස පවසන්නේ ජීවිත අවබෝධය හොඳටම තිබෙන කාලයේදියි මා විවාහ දිවියට එළැඹෙන්නේ. මේ නිසා මගේ පැත්තෙන් විවාහ වීමට ප්‍රමාදයක් වුණා කියලා මට සිතෙන්නේ නැහැ.” රුවන් විවාහ වන්නේ වාසනා සුරංගි එදිරිසූරිය වික්‍රමසිංහ සමඟ ය. මුහුණු පොතෙන් මුණ ගැසුණු ඔවුන් දෙදෙනාගේ ආදරය වසර ගණනක් ගලාගෙන ගියේ බොහොම සුන්දරව ය. ඒ සුන්දරත්වය තවත් සුන්දර කිරීමට මෙන් කාලය එළැඹියේ ය. “වාසනා ඔබගේ ජීවිතයට වාසනාව ගෙනාවා” “වාසනාව මට මුලින්ම මුණ ගැසෙන්නේ 1997 වසරේ අග හා 98 වසරේ මුල් කාලයේදී. ඒ කාලයේ මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ජීව විද්‍යා අංශයේ ශිෂ්‍යයෙක් විදියට මා සිටින විට ඈ මට වඩා වසරක් පමණ පහළ කණ්ඩායමේ තමයි හිටියේ. ඒත් අපි එතකොට සාමාන්‍ය විදියට හමුවන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදියටයි ඇසුරු කළේ. ඒ කාලය ගෙවී ගිහින් යළිත් අප හමුවන්නේ මේ මෑත කාලයේ. ඒ කියන්නේ මීට වසර දෙකකට පමණ ඉහතදියි. අහම්බයෙන් වගේයි මට මුහුණු පොතේදි වාසනාව දකින්නට ලැබෙන්නේ. එතැනින් ඇරැඹුණු චැට් එක දිගටම වගේ අප අතර තිබුණා. ඒ කාලය හරියට ම මම විවාහ විය යුතුයි කියලා සිතමින් සිටි කාලයයි. මගේ ඔළුවේ සිටි කෙනාව සොයමින් සිටි කාලයයි. ඒ අතරයි මට දැන ගැනීමට ලැබුණේ වාසනාත් තවම විවාහ වෙලා නැහැ කියලා. ඒත් සමඟම මා වාසනාට මුණ ගැහෙමු යැයි යෝජනා කළා. මුණ ගැසිලා කතාබහ කළා.” ඒ මුණ ගැසීම ඔස්සේ දෙදෙනාම හඳුනා ගත්තේ ඔවුන් සොයන ගතිගුණ දෙදෙනාම සතු බවයි. සිය අදහස් ගැළපෙන නිසාම ඔවුන් දෙදෙනාගේ ආදරය වසර එකහමාරකට වඩා කාලයක් ගලාගෙන ගියේ බොහොම සුන්දරව ය. ඒ සුන්දර ආදරය පසුගිය කාලයේ එක් දිනෙක මල්ඵල ගැනිණි. වාසනා - රුවන් එකම කැදැල්ලක එකට හමුවිණි. “රුවන් වාසනාගේ අගය කරන ගතිගුණ මොනවාද?” “ඈ නිතර ම වැඩ කරන්නේ හොඳට හිතලා බලලා. ඒ වගේ ම වැඩවලට කම්මැලි කාන්තාවක නොවෙයි. ප්‍රසන්නයි. ඇගේ වෘත්තියත් එක්ක බලන විට මා නියළෙන්නේ වෙනස් ම වෘත්තියක. ඒ වෘත්තියට හැඩ ගැසෙන්නට හැකි නම්‍යශීලී බවක් ඈට තිබෙනවා. ඒ අතර මා ඇගේ දකින වැදගත් ම ලක්ෂණය වන්නේ ඈට තිබෙන හොඳ සමාජ කියැවීමයි. බොහෝ දේවල් දෙස බලද්දි අප දෙදෙනා ම ඒ දෙස බලන්නේ එකම විදියටයි. චිත්‍රපටයක් නැරැඹුවත් ඒ පිළිබඳ කරන විචාරය, කරදයක් වුණු සිදුවීමකදි වුණත් ඒ අය දෙස බලන විදිය එකම වගෙයි. විශේෂයෙන්ම මගේ බිරිය වීමටත් වඩා මගේ දරුවන්ගේ අම්මා වීමට ඈ තරම් සුදුසු කෙනෙකු මා දැක්කේ නැහැ.” රුවන් කටයුතු කරන්නේ දුරදිග බලා ය. ඒ දුර දිග බැලීම වාසනාගේද සිත් ගත්තා ය. “රුවන් කියනවා වගේ අප දෙදෙනා සිතන විදිය එක ම රටාවකටයි ගලාගෙන ගියේ. අපේ දෙන්නාගේ වෘත්ති දෙක වෙනස් තමයි. සමහර විට ඔහු නිදහස් වෙලාවට මම ඉන්නේ වැඩවලයි. මා නිදහස් වනවිට ඔහු ඉන්නේ වැඩවලයි. ඒ නිසා අපේ කාලසටහන් දෙක එකට යන්නේ නැති ගතියක් තිබුණත් රුවන් ඒක මනාව අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසා ඊට අවශ්‍ය විදියට හැඩ ගැසෙන්නට අපට පුළුවන් වුණා. මා ඔහුගෙන් බලාපොරොත්තු වුණේ විවාහයෙන් පසුව සිතේ සතුටින් ජීවත් වීමටයි. එය ඔහුගෙන් මට ලැබෙන බව හැඟුණා. ඒ නිසා මා රුවන් හා විවාහ වුණා.” වාසනා සිය අලුත් ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් ගත කරන ගමන් පිළිතුරු බඳීන්නී ය. වෘත්තියෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරියක වන වාසනා හා රුවන්ගේ සොඳුරු ජීවිතයේ රහස ඔවුන් එකිනෙකා අතර තිබෙන නිවැරැදි අවබෝධයයි. “නිවෙසේ කටයුතු සිදුවන්නේ දෙදෙනාගේ ම සහයෝගයෙන්ද?” “අලුත් ගෙදර අප දෙදෙනා ජීවත් වන්නේ තනිවමයි. ඒ නිසා කටයුතු ගොඩයි. ඒ සියලු දේ ම අප දෙදෙනා ම කර ගත යුතුය යන අවබෝධය අපට තිබෙනවා. මේ නිසා අප දෙදෙනා බෙදාගෙනයි නිවෙසේ කටයුතු සිදුකරන්නේ. වාසනා නැති වෙලාවට මා මගේ කටයුතු තනිවම කර ගන්නවා. නිවෙසේ කටයුතු සඳහා දෙදෙනාගේ වෘත්තිය අප කිසි විටෙක බාධාවක් කර ගන්නේ නැහැ. සරලව වාක්‍යයකින් පැවසුවොත් කිසිම වෙලාවක අප දෙදෙනා පිටතින් කෑම අරගෙන ඇවිත් කන්නේ නැහැ. නිවෙසේ උයලාමයි කෑම කන්නේ. වාසනා කෑම උයන වෙලාවට මමත් ඈට සහයෝගය දෙනවා. ඒ සියලු කටයුතු මනාව කළමනාකරණයකින් යුතුව කරගෙන යන්නට අප දෙදෙනාටම තිබෙන්නේ විශේෂ හැකියාවක්.” වාසනාට බොහොම රසට උයන්නට හැකිය. ඒ අතර ඈ විවිධ අලුත් කෑම වර්ග හැදීමටද අමතක නොකරන්නී ය. එහි රස විඳීන්නා රුවන් ය. ඒ රස විඳීමේදී සමහර කෑමවලට අලුත් නම් දමන්නටද රුවන්ට සිදුවන අවස්ථා නැත්තේම නොවේ. සාලය ඇතුළු නිවෙස අස්පස් කර පිරිසිදුවට තබා ගැනීම භාරගෙන තිබෙන්නේ රුවන් ය. මුළුතැන්ගෙය වාසනාටත්, සාලය ඇතුළු නිවෙසේ අනෙක් ස්ථාන රුවනුත් භාරගෙන බෙදාගෙන වැඩ කෙරෙන බැවින් දෙදෙනාට ම ගෙනෙන්නේ පහසුවකි. “පසුගිය කාලයේ රුවන් රංගනයේ නියැළෙන අයුරු අප නුදුටීමු” “පසුගිය කාලයේ මට ලැබුණු නිර්මාණත් අඩුයි. ඒ ආරාධනා ලැබුණු නිර්මාණත් භාරගන්න සුදුසු ඒවා කියලා මට දැනුණේ නැහැ. ඒ නිසා මා රංගනයෙන් තරමක් ඈත්වෙලයි සිටින්නේ. හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයෙන් දායක වෙනවා. රංගනයට පිවිසි මුල් කාලයේ නම් මා සෑම නිර්මාණයකට දායක වුණා. මේ වනවිට තෝරාබේරා ගැනීමක් සමඟයි නිර්මාණවලට දායක වන්නේ.” ඉංග්‍රීසි ගුරුවරයකු විදියට ළමයින් රැසකට සිය දැනුම බෙදාදෙන රුවන්ගේ රංගනය මේ දවස්වල දකින්නට ලැබෙන්නේ ‘කවුරුන්ද ඔබ මගේ’ ටෙලි සිත්තම ඔස්සේ ය. මේ කුමන තටයුත්තක නිරත වුවත් රුවන් දහම් පාසලේ උගන්වන කටයුතු තවමත් අමතක කර නොමැත. එදිනට කිසිඳු වැඩක් නොදමා ගන්න හේ ඒ දිනය වෙන්කර ඇත්තේ ම දහම් පාසල් දරුවන් වෙනුවෙනි. “හැමෝගෙම ළමයි ගැන සිතන ඔබගේ කැදැල්ලට තුන්වැන්නකු කැඳවාගෙන එන්නේ කවදාද?” “වාසනා වගේ ම මමත් දරුවන්ට බොහොම ආදරෙයි. ඔබ මේ පවසන මොහෙතෙත් එවැනි අයකුගේ පැමිණීමේ බලාපොරොත්තුවෙනුයි අප දෙදෙනා ඉන්නේ. මා සිතන්නේ ඉදිරියේදි ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම සඵල වන බවයි.” වාසනා රුවන්ව දකින්නේ සරල ගති පැවතුම් ඇති, වාසනාගේ පවුලේ සියලු දෙනාට ම තමන්ගේ අයට මෙන් ආදරය කරන, ජීවිතය බුද්ධිමත්ව දකින අයකු විදියටයි. ඒ දැකීමත් සමඟ සොඳුරු දිවියකට උරුමකම් කියන රුවන් - වාසනා දෙපළගේ වාසනාවන්ත යුග දිවියට සුබ පැතුම් එක් කරමින් මම සමුගතිමි.
|