වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




හැම දෙයක් ගැනම දෙපාරක් හිතන්න තාත්තා කිව්වා

හැම දෙයක් ගැනම දෙපාරක් හිතන්න තාත්තා කිව්වා

සනෝජාට තාත්තාගෙන් ලැබුණු ඔවදන

සැදෑ අඳර සෙසෙමන් සෙමෙන් අවට සක්මන් කිරීම අරඹා ගතවූයේ හෝරා කිහිපයක් පමණි. ඈතින් පෙනෙන නිවහනක විදුලි පහන් එක, දෙක දැල්වෙනු පෙනෙයි. එකෙණෙහි ම සිහින් වැහි බිඳු කිහිපයක් දවටා ගත් සුළං රැල්ලක් මා අසල දැවටෙයි. අඳුරු පැහැගත් අහස් කුසේ වූ වැහිබර බව කියාපාන්නේ කුමන මොහොතක හෝ මිහිමත පතිත විය හැකි වැස්සක පෙර නිමිත්තකි. ඒ අඳුරු පැහැති වලාකුළු අතර ම මම දෙනෙත රැඳවීමි. අඳුරු වලාවන් අතරින් මතුවූයේ ඔබගේ උවන ය.

අප්පච්චී, ඔබ අපගෙන් සමුගෙන ගොස් අදට සති දෙකකි. අසූ හයවසරක් ම නිදුක් නිරෝගී ජීවිතයක් ගත කළ ඔබට මීට සිව් මසකට පෙර වෛද්‍යවරයා දැන්වූයේ ඩිමෙන්සියා රෝග තත්ත්වය වැලඳී ඇති බවකි. ඒ රෝගයට ප්‍රතිකාර කරමින් සුව සේ සිටි ඔබ පසුගියදා හදිසියේ ම රාගම රෝහලට ඇතුළත් කරන ලද්දේ උණ රෝගය වැලඳීම නිසා ය. ඊට ප්‍රතිකාර කළ ද එක්වර ම මතු වූ සෙම් රෝගය ඔබව අඩපණ කළේ අප නොසිතූවිරූ අයුරිනි. ඉන් සුවය ලැබූවද ඔබට ජීවිත් වීමට තිබෙන ඉඩකඩ සියයට පනහක් බව ඔවුන් පැවසූ කල අපගේ සිතේ ඇති වූ ශෝකය වදනකට නඟන්නේ කෙලෙසද?

අප ඔබව නිවෙසට රැගෙන පැමිණියේ ඉන්පසුව ය. සුපුරුදු ලෙස ම ආදරයෙන් රැකබලා ගත්ත ද යළිත් හදිසියේ ම මෙන් රාගම රෝහලට ඇතුළත් කරන ලද්දේ ඔබට හුස්ම ගැනීමට අපහසු වූ බැවිනි. දින කිහිපයකට පසුව ඔබ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් සාමාන්‍යය වාට්ටුවක් වූ නවයට මාරු කරන ලද්දේ යළිත් පියවි තත්ත්වයට පැමිණි බව කියමිනි. එහෙත් ඉන්පසුව හදිසියේ ම යළිත් ඔබගේ රෝග තත්ත්වය උත්සන්න විය. බොහොම අපහසුවෙන් ඔබගේ පණ නළ මිහිමතට මුසු කිරීමට තතනන අයුරු මා බලා සිටියේ ඔබගේ අසල ම සිටිමිනි. එලෙස ඔබ දෙනෙත් පියාගත් ඒ මොහොත මා කෙසේ නම් අමතක කරම්ද? එහෙත් අපගේ සිතට සතුටක් ගෙනෙන්නේ මමත්, අක්කාත්, නංගීත් ඔබව ආදරයෙන් බලාගත් අයුරු සිහිපත් වනවිට ය. ඔබගේ සියලු කටයුතු අපට ම කිරීමට හැකිවූයේ කුඩාකල පටන් ඔබත්, අම්මාත් අපට ඉගැන් වූ ගුණ දහම් නිසාම ය. අපි තිදෙනා ඔබව කිසිවිටෙකත් තනි නොකරන්නට වග බලා ගතිමු.

පනහ දශකයේ ජීවත්ව සිටි නළුවන් අතරින් අවසන් හුස්ම පොද වාතලයට මුසුකළ නළුවා වූයේ ඔබ ය. උමතු විශ්වාසය, අශෝකා, සෙනෙහස යන චිත්‍රපටවල පමණක් ඔබ රංගනයේ නියැළුණ ද සුමිත් බිබිලේ යන නාමය ඔබට ආදරය කරන සිනමා ප්‍රේක්ෂකයන්ට අමතකව නොතිබිණි. ඒ වග ඔබගේ දෙණට ආචාර ගෞරව දැක්වීමට පැමිණි සියල්ලන්ගෙන් ම වැටහිණි. ඔබගේ චිත්‍රපට සිහිනය බොඳව ගියේ අයියාත්, අක්කාත්, මමත් නංගීත් නිසා බව මම දනිමි.

“දැන් ඔය මදැයි චිත්‍රපටවල රඟපෑවා. දරුවන් ගැන බලන්න කාලය හරි.”

අප කුඩාකල කළ අම්මාගේ ඉල්ලී ම ඔබ පිළිගත්තේ හිස් මුදුනෙනි.

ඔබ පිළිබඳ වන චිත්‍රපට සිහිනය මගේ මතකයේ ලියැවී ඇත්තේ මා කුඩා දැරියකව සිටි කාලයේ ය. ඒ ‘අශෝකා’ චිත්‍රපටය තිරගත කළ විශේෂ දර්ශනයක් නැරැඹීමට ගිය දිනයයි. අප්පච්චී, මා එදින ඔබගේ සුලැඟිල්ලේ එල්ලී එහි පිවිසි අයුරු මගේ මතකයේ නිදන්ගතව ඇත්තේ යන්තමිනි. ඊට සාක්ෂියක් ලෙස තිබෙන සේයාරුව මා අද ද කැන්ඳා ගෙන යන්නේ ඒ අතීතයේ එක් දිනෙකට ය.

ඔබ අප සිවුදෙනාට බෙහෙවින් ආදරය කළේ ය. ඒ ඔබගේ ජීවිතයට නෙදෙවෙනි ලෙසිනි. කලක් අම්මා විදෙස් ගත වී සිටි අවදියේ අපව බලා ගත්තේ ඔබ ය. අම්මා සිටි දිනවල මෙන් කිසිඳු අඩුවක් නොවන්නට ඔබ වෙහෙසුණු අයුරු මගේ මතකයේ ලියැවී තිබේ. අලුයම අවදිව අපට ආහාර පිසිමින් නියමිත වේලාවට පාසලට යන්නට අප සූදානම් කළ අයුරු මේ දැනුදු මගේ දෙනෙතේ ඇඳේ. අප පාසලට ගියේ බසයෙනි. සමහර දිනෙක නිවෙසේ සිට බසයට නඟින්නට තිබෙන නැවතුමට අප සමඟ පැමිණෙන්නට අමතක නොකරන ඔබ, එහි පිවිසි අප බසයට නැඟ බසය නොපෙනී යනතුරුම එහි රැඳී සිටින දසුන කිසි දිනෙක මතකයෙන් නොමැකෙනු නියත ය. පාසල් නිල ඇඳුම මැසීමට අපව රැගෙන යන ඔබ, මා උපකාරක පන්තියට රැගෙන යෑමටද අමතක නොකළේ ය. මෙලෙස අප සිවුදෙනාගේ ම සියලු කාර්යයන් කිසිදු මැසිවිල්ලක් නොනඟා කළ ඔබට මා සම්බන්ධයෙන් හිමිවන්නේ යම් අස්වැසිල්ලකි. ඒ මා පාසලේ කාන්තා නේවාසිකාගාරයක නවාතැන් ගැනීමත් සමඟිනි. එවැනි කැප කිරීමක් එකල ඔබ නොකළේ නම් අද අපට මෙවැනි තැනක ස්ථානගත වීමට නොහැකි බව මම දනිමි.

ඔබ අප සිව්දෙනාගේ දක්ෂතා වෙන්වෙන්ව හඳුනාගෙන සිටියේ ය. ඒ සියලු දේ ඔප් නංවා ගැනීමට ඔබ දුන් සහයෝගය අපමණ ය. පාසල් යන වයසේ කුඩා දැරියක ලෙස මා රංගනයට මෙන්ම ක්‍රීඩාවට ද චිත්‍ර ඇඳීිමට දැක්වූයේ මහත් ඇල්මකි. ඒ ඒ අවස්ථාවලදි මා ඉන් ජය ගත්තේ ඔබ කළ දිරිමත් කිරීම මගේ සිතේ නොනවත්වා ම පිළිරැව් දුන් බැවිනි.

එකල මම අටවැනි පන්තියේ ශිෂ්‍යාවක් වීමි. මා බෙහෙවින් ආදරය කළ චිත්‍ර ශිල්පය ඇසුරින් තිබුණු තරගයකට සෑම වසරක ම මෙන් මෙවර ද මම සිත්තමක් යැවීමි. මෙවර ද මගේ සිත්තමට සමස්ත ලංකා තරගයෙන් ත්‍යාගයක් හා සහතික පතක් තිබෙන බවට දන්වා එවා තිබිණි. ඒ සඳහා සහභාගි වීමට නම් කොළොම්පුරවරයට යා යුතුම ය. මෙවරද ඊට සහභාගි වීමට සූදානම් වන ලෙස ඔබ මට දැන් වූ බැවින් මම බෙහෙවින් සතුටට පත්වීමි. මගේ හිසේ මලක් පිපුණා සේය. ඒ මෙවරද එහි යන්නට ඔබ කැමැත්ත පළ කිරීම නිසා ය. නියමිත දිනයේ ඔබ මාව උඩරට මැණිකේ දුම්රියෙන් එහි රැගෙන ගියේ ය. සෑම වසරකම ත්‍යාගය හා සහතික පත් ගැනීමට ගිය බැවින් ඒ වසරේ ඒ ගමන නොයා සිටින්නටද ඔබට හැකියාව තිබිණි. එහෙත් ඔබ එසේ නොකළේ ය. මා සිත මනා අයුරින් හඳුනා ගත් ඔබ ඊට දයාබර බව පෙරදැරිව එකඟ විය.

නුවර පෙරහැර නරඹන්නට ඔබේ සිතේ වූයේ නොතිත් ආසාවකි. ඒ ආසාව මුදුන්පත් කර ගැනීමට තනිවම ඔබට හැකි වුවද, නුවර පෙරහැර නරඹන ගමනට අප තිදෙනාවත් සහභාගි කර ගත්තේ සිනහ මුසු මුහුණෙනි. නුවර පෙරහැර නරඹා ඒ අසල තිබුණු කානිවල් එකටද අපව රැගෙන යෑමට ඔබ යුහුසුළු විය. එහි ගතකළ විනෝදජනක කාලය යළිත් කිසිදු දිනෙක නොඑන බව පමණක් මම දනිමි.

අස්ගිරියේ අප පදිංචිව සිටි කාලයේ ගිය තවත් ගමනක් මගේ මතකයට නැඟේ. එකල නුවර ක්ලබ් එකට වරින්වර රිදී තිරයේ ජනප්‍රියව සිටි නළු - නිළියන් හා ගායක - ගායිකාවන්ගේ පැමිණීම අරුමයක් නොවේ. ඔවුන් අතරින් රුක්මණී දේවිය පැමිණි එක් දිනෙක අප තිදෙනාව එහි රැගෙන ගොස් පෙන්වූ අයුරු තවමත් මට මතකය. එදින රුක්මණී දේවිය ඇතුළු කලාකරුවන් කිහිපදෙනෙකු ම පැමිණ සිටි වග මගේ මතකයේ ඇඳීි තිබේ.

මා චිත්‍රපට නිළියක වීම පිළිබඳ ඔබගේ සිතේ තිබුණේ නොමඳ සතුටකි. ඒ ඔබගේ සිතේ වූ සිහිනය මා සැබෑ කළ බැවින් යැයි මට හැඟෙන්නේ දැන් ය.

“හැම දෙයක් ගැන ම දෙපාරක් සිතන්න. සිතලා බලලා ඉදිරියට යන්න”

ඔබ පැවසූයේ කෙතරම් අවිහිංසක අයුරින් දැයි මට සිහිපත් වෙයි.

නිළියක ලෙස මා රංගනයට පිවිසෙන්නේ අහම්බයෙනි. ඒ මගේ මිතුරියකගේ නිවෙසේදී මට හමුවන විශේෂ කෙනෙකු නිසා ය. දේවින්ද මාක්ස්ට මගේ දසුන පළමු වරට නෙත ගැටෙන්නේ එහිදී ය.

“ඔයා කැමැති නැද්ද රඟපාන්න. අලුත් චිත්‍රපටයකට මේ දවස්වල අලුත් ම නිළියක් සොයනවා.”

ඔහු මා දුටු පළමුවරම විමසූ ඒ වචන පෙළ මගේ නිළියක වීමේ සිහිනය සැබෑ කළේ ය. වයි.එම්.බී. ඒ. ශාලාවේ තිබුණු සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ මම ජෝ මයිකල් මහතා හා මර්වින් ජයතුංග මහතා ඉදිරියේ පෙනී සිටියෙමි. ඔවුන් දෙදෙනා මා එකපයින් ම තෝරා ගත්හ.

“ඔයාට තියෙන්නේ විජය කුමාරතුංගත් එක්ක රඟපාන්න.”

ඔවුන් පැවසුවේ මා පුදුමයට පත් කරමිනි. චිත්‍රපටයේ රඟපෑමට මම කැමැත්ත දුනිමි. ඒ මාසයේ අග ම රූගත කිරීම් ආරම්භ විණ. එහි රථයක් පදවන දර්ශනයක් විය. රථයක් පැදවීම ගැන හසරක් නොදැන සිටි මම රථය පදවන්නට ගොස් ජීවිතය බේරා ගත්තේ අනූනවයෙනි. ඒ සිදුවීම කොතරම් භයානක ද කිවහොත් ඊට පසුවදා පුවත්පතේ පළ විය. මගේ මවට මා රඟපෑමට ගිය වග දැන ගැනීමට ලැබෙන්නේ ඒ අයුරිනි. මා නිවෙසට ගිය විගස අම්මා යුද ප්‍රකාශ කළා ය. නිවෙසේ දොර වැසිණි. කෑලි කැපිය හැකි ඝන අඳුරේ මම නිසොල්මන් ව සිටියෙමි. යළිත් මා නිවෙසට ගත්තේ, මා නැවත චිත්‍රපටවල රඟ නොපාන බව පැවසූ විට ය. ඒ සියලු දේ සිදු වුවද අප්පච්චී, ඔබ සිටියේ නිශ්ශබ්දව ය. ඒ අම්මාගේ බල අධිකාරයට එරෙහිව කිසිවක් ඔබට කිරීමට නොහැකි බව මම අවබෝධ කර ගත්තෙමි. ඉන්පසු දින යළිත් කොළොම්පුරවරයට පිවිසි මම අලුත් චිත්‍රපටයක රඟපාන්නට ගියෙමි.

එහෙත් ඔබ අම්මා හා සටන් කළේ හෙමිහිට ය. මා ඊළඟට රඟපෑ ‘ජය කොතැනද’ චිත්‍රපටයට අම්මාගෙන් බැණුම් නොඇසුවේ ඒ නිසා ම බව මම දනිමි. මා රඟපෑ ‘මාෂා සහ ශේන්’ නාට්‍යය නැරැඹීමට අම්මා පැමිණියේද ඔබගේ අදහසක ප්‍රතිඵලයක් ලෙස ය. එහිදි මුණ ගැසුණු එච්.ඩී. ප්‍රේමරත්නයන් ඔහුගේ ‘මංගල තෑග්ග’ චිත්‍රපටයට මා සම්බන්ධ කර ගැනීමට අම්මාගෙන් අවසර පැතූ බව මා දන්නේ පසුව ය. අම්මාගේ අවසර ඇතිව රංගනයේ නියැළීමට තරම් මට වාසනාව ලැබුණේ අප්පච්චී, ඔබ නිසාම ය. මිය යන්නට පෙර ඔබ මා ගැන ආඩම්බර වූ බව මම දනිමි.

ඔබ වඩාත් දුක්වූයේ අම්මා අප අතැර ගිය දවසේ බව මම වටහා ගතිමි. එවැනි දුකක් ඔබේ සිතේ හට ගත්තේ ඔබ දෙපළ එකිනෙකාට බෙහෙවින් ආදරය කළ බැවිනි. ඒ සෝකය ඔබ මියෙනතුරාවට ම අපෙන් සැඟ වීය. ඒත් අද ඔබත් අප අතර නොමැත. අම්මා යන්න ගියා‍ සේ ඔබද අද අප අතැර ගොසිනි. ඔබගේ සුවඳ තබා ඔබ යන්නම යන්නට ගොසිනි.