වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ බඩේ ඉන්නේ සුදු බණ්ඩාගේ ළමයෙක්

මගේ බඩේ ඉන්නේ සුදු බණ්ඩාගේ ළමයෙක්

ශාන්ති දිසානායකගේ සම්මානනීය නවකතාව පාදක කර ගනිමින් සරත් ධර්මසිරි අතින් තිර රචනය කරන ලදුව ෆාහිම් මවුජිඩ් ගේ අර්ථපතිත්වයෙන් සුදත් රෝහණ අතින් ටෙලිවිෂන රූප කාව්‍යයක් වන ගිරිකුළ ඇසුරෙන් සරසවිය වෙත විශේෂයෙන් ලියැවෙන වෘත්තාන්තයකි.

සියල්ලම නික්ම ගිය පසු හීන් බණ්ඩාට දුකට සැපට සිටියේ මිත්තණිය පමණී.ඇගේ කසාය ලිප තැබෙන්නේත් ඇඟේ පතේ අමාරුවට තැවුම් පොට්ටනිය සකසා දෙන්නේත් හීන් බණ්ඩා අතිනි. මේ වගකීම ඔහුට පැවරුනේ නිතැනිනි. උදෑසන නිදි පැදුරෙන් ඔහු අවදි වනුයේත් ඇගේ හඬ අසමිනි.කම්මැලි කමට තවත් මොහොතක් නිදා ගන්නට ඔහු කැමැති වුවත් එයට ඉඩ නොලැබෙන්නේ සිය මිත්තණිය ගේ හැරමිටිය සිය කෙසඟ සිරුර හරහා යන බැව් ඔහු ඉන්තේරුවෙන්ම දන්නා බැවිනි.

“මගෙ වස්තුහාමි නම් උඹේ වයසේ දී ගස් ගල් පෙරලුවා‘

කිරි එතනා පවසන්නේ හීන් බණ්ඩා ගේ කම්මැලි කම පහව යන්නටත් එක්කය.හීන් බණ්ඩාට මෙවැනි කතා හොඳට පුරුදුය.ඔහු ඇගේ බැණ අඬ ගැසීම් ගණන් නොගෙනම වත්ත පහලට ගියේ තවමත් බඩගින්නේ දිගෙලි කොට සිටින රත්තිට තණ කොළ කපා ගෙන එන්නටය.මේ දවස්වල ඇය බඩ ගැබ්බරිනි.තණ කොළ ගෝනිය කරට ගත් ඔහු එක්වරම හැරී බැලුවේ කඩුල්ලේ දමා ඇති ලීයක් වැටුණ හෙයිනි. නන්නාඳුන තරුණියක් කඩුල්ල ඇර වත්තට ආවාය. ඇය ඇඳ සිටියේ මල් ඉහිරුණ චීත්ත ගවුමකි. ඇය පියකරු එකියකැයි හීන් බණ්ඩාට දුටු මතින් සිතිණ.

'කෝ සුදු බණ්ඩයියා'

ඇය විතාලාය.

'මේ අක්කා කවුද ?

ඇයට පිළිතුරු නොදුන් හීන් බණ්ඩා ඇසුවේය.

‘මයෙ වංහුං වලින් වැඩක් නෑ.කොයි සුදු බණ්ඩයියා'

ඇගේ කතා බහේ විලාසය ගැන හීන් බණ්ඩා අපහැදුණේය.

'අප්පච්චිලා අනුරාජපුරේ ගෙහුං"

හින් බණ්ඩා උත්තර දුන්නේ නොකැමැත්තෙනි.

"මලේ මං අහන්නේ සුදු බණ්ඩයියා කොයි කියලා"

එවර ඇය ඇසුවේ තරමක් මෙල්ල වූ ආකාරයටය.

"අයියලත් ගියා අප්පච්චිත් එක්ක.දැං දවස් ගණනක් වෙනවා."

‘කවද්ද එන්නේ ?“

ඇය යළිත් ඇසුවාය.එවර නම් ඇයගේ නපුරු මුහුණට කඳුළු එක්වෙමින් තිබිණ.

"එන්ඩ නෙමේ ගියේ .එහේ පදිංචියට"

තරුණිය මදක් කල්පනාවට වැටුණාය.

'එහෙනං සුදු බණ්ඩයියා මාව දාල ගියා..'

ඇය වියරුවෙන් මෙන් කඩුල්ලේ තිබුණ ලී ඉවතට විසි කළාය. හීන් බණ්ඩා බිය වූයේය. මේ තරුණිය පිස්සියක් විය යුතුය.

'මලේ උඹ කියන්නේ බොරු.මාව කැන්දාගෙන යනවා කියාපු මනුස්සයා.කොහෙද ගියේ මාව දාලා.අයිය මාව දාල යන්නෑ මලේ.මං ඒක සහසුද්දෙන් දන්නවා."

ඈ කෑගෑවාය.

'එහෙනං ගිහිං බලාපං. මායි කිරි අම්මයි විතරයි ඉන්නේ."

තරුණිය ඒ අවසරයෙන් ගෙට දිව ගියාය.ඇය ඉන් අනතුරුව ගේ ඇතුළට කර පොවා බැලුවාය.හීන් බණ්ඩා ඇය පසු පසින් දුව ආවේ බය බිරාන්ත වෙමිනි. මේ පිස්සිය තව මොහොතකින් මහා නාඩගමක් නටන වග නම් ඔහුට සහතිකය.ඇය දන්නා කිසිවකු හෝ මේ නිවස ඇතුළත නැති වග ඇය ට වැටහෙන්නට වැඩි වේලා ගත නොවිණ. ඇය කනුවක් බදා ගත්තේ නොවැටී සිටින්නට වාරුවක් අවශ්‍යයැයි සිතුන බැවිනි.

"මගේ ඉහ අත තියලා දිව්රුවා නේද දෙයි හාමුදුරුවනේ"

ඈ පවසනු හීන් බණ්ඩාට ඇසිණ.අනතුරුව ඇය අසල ඇති බංකුවක වාඩි වුණාය.හීන් බණ්ඩා මේ විලම්බීතය වටහා ගන්නට නොහැකිව ලතැවිණ.ගෙතුළින් ඇසුණ ආගන්තුක හඬට මදක් කන් දී සිටි කිරි එතනා අමාරුවෙන් එතැනට පැමිණියාය.

'උඹ කවුද ළමයෝ ?‘

'මං මුතු මැණිකා"

ඇය තමාව හඳුන්වා දුන්නාය. මේ නමින් යුතු ගැහැනු ළමයෙකු පිළිබඳ කතා බහක් මේ නිවස වහළ යට ඇති නොවුණ වග හීන් බණ්ඩාට මතකය.

‘මං සුදු බණ්ඩයියා හොයාන ආවේ"

මුතු මැණිකා පැවසුවේ ඉවත බලාගෙනය.

"උඹ මොකටද මයෙ කොල්ලව බලන්ඩ ආවේ"

කිරි එතනා ඇසුවේ හැරමිටිය හඬ නගා බිම ගසමිනි. ඇයට දැන් මේ තරුණියගේ මුහුණ හොඳින් නොපෙනේ. ඇස් වල දැලක් බැඳෙන්නට පටන්ගෙන දැන් වැඩි දොහක් නැත.ඒ ගැන කාටවත් කියා පළක් නැත.සංසාරේ හැටි එහෙමයයි කියා සිත සාදා ගන්නට කිරි එතනා සමත් විය.

"සුදු බණ්ඩගේ පැටියෙක් ඉන්නවා මයෙ බඩේ.මං වෙන මොකද කරන්නේ.‘

මුතු මැණිකා හඬ නගා කීවාය.එක්වරම තද නිහැඬියාවක් පැතිර ගියේය. තමන් කළ යුත්තේ කුමක්දැයි හීන් බණ්ඩා තමන්ගෙන්ම අසා ගත්තේය. වඩත් හොඳ නිශ්ශබ්දව සිටීමය.

'නිස්කාරණේ පද හදන්ඩ එපා බොල.මයෙ සුදු බණ්ඩා හන්දා උඹට ළමයෙක්.යසයි වැඩේ. පෙනේද මේකි ලජ්ජා නැතිව කියන හැටි"

කිරි එතනා ගෝරනාඩු කළාය.මුතු මැණිකා උන් තැනින් නැගිට්ටාය.

“මං කියන්නේ බොරු නං මට හෙන ගහන්ඩෝනා.මයෙ බඩේ ඉන්නේ සුදු බණ්ඩගේ ළමයෙක්.ඒකා මං ඉස්සරහ දිව්රුවා,‘

කිරි එතනා මොහොතක් නිසොල්මන් වූවාය. අනතුරුව ඇය තරුණිය දෙසට හැරමිටිය උළුක් කළාය.

“පල යංඩ. මයෙ එකාට ලැජ්ජා නොකර.“

මුතු මැණිකා නැගිට්ටාය.

“මරපිය.ගහලා මරපිය.මං මැරුණත් යන්නෑ.යන්නෑමයි“

කිරි එතනා මුතුමැනිකාට හැරමිටියෙන් ගසා දැමුවාය. එහෙත් එයින් බේරි ඉවත පැන ගන්නට ඇය සමත් වූවාය. වාරු නැතිව ගිය මහලු කිරි එතනා බිම වැටිණ.හීන් බණ්ඩා වහා ඉදිරියට පැන්නේ සිය මිත්තණිය බේරා ගන්නටය. මුතු මැණිකා අයිනට වූවාය. කිරි එතනා හීන් බණ්ඩාගේ වාරුවෙන් පුටුවක වාඩිවූවාය

“උඹ ගිහිං කසාය මුට්ටියට ගින්දර දාපං“

ඇය හීන්බණ්ඩාට පැවසුවාය. මේ වැඩිහිටියන්ගේ කතා පොඩි එකාට අකැපය.මේ නින්දාවේ සුළ මුල සොයා ගන්නට කිරි එතනාට වුවමනා විය. එයට හීන් බණ්ඩා අවශ්‍ය නැත.මුතු මැණිකා හඬන්නට පටන් ගත්තාය.

‘උඹ හිතාන ඉන්න ඒවා වෙන්නේ නෑ“

කිරි එතනා පැවසුවාය.අනතුරුව ඇය මුතු මැණිකා පන්නා දමන්නට සැරසිණ.ඒ හඬ ඇසුණ හීන් බණ්ඩා යළිත් එතැනට පැමිණියේ මිත්තණිය නාඳුනන ගැහැනියක සමග තනිකර දමා යෑම නොහොබිනා බව සිතට ආ නිසාවෙනි.

“කෑ නොගහ හිටපං යකුනේ.ලැජ්ජාවේ බෑ‘

හීන් බණ්ඩා කෑගෑවෙන් ගැහැනුන් දෙදෙනාම දෙපැත්තට වන්හ.

ලබන සතියේ
මෙව්වා මහ පොළොව නුහුලන කතා