|
මහා රංගවේදියාගේ සම්ප්‍රාප්තිය
ඉන්දියානු චිත්‍රපට කතාව 31
ශෂිධර් ගේ මෙහෙයුම යටතේ බොම්බේ ටෝකීස් සමාගම නිපදවන ජනප්‍රිය චිත්‍රපට වනුයේ පුනාර් මිලාන් (1940) ජූලා (1941) නයා සංසාර් (1941) සහ කිස්මට් (1943) ය.මේ අතරින් නයා සංසාර් චිත්‍රපටයට පාදක වනුයේ පසු කලක ඉන්දියානු සිනමාවේ බිහි වූ විශිෂ්ටතම තිර නාටක රචකයකු බවට පත් වන කේ.(ක්වාජා) ඒ.(අහ්මඩ්) අබ්බාස් ගේ තිර රචනයකි. අබ්බාස් එම කාලයේ බොම්බේ ටෝකීස් සමාගමේ ප්‍රචාරක නිලධාරියකු ලෙස කටයුතු කළේය.
පික් පොකට් කාරයෙකු වටා ගෙතුන කිස්මට් ඉන්දියානු සිනමා ඉතිහාසයේ එතෙක් පැවැති සියලු ආදායම් වාර්තා බිඳ හෙලීමට තරම් අතිශය ජනප්‍රිය විය.එය බොම්බායේ සහ කල්කටාවේ සිනමාහල් දෙකක එකවර වසර තුනක් නොකඩවා තිර ගත කළේය.
අමියා චක්‍රවර්ති උපත ලද්දේ වර්තමාන බංගලා දේශයට අයත් බොග්‍රා නම් නගරයේය.
ඉන්දියානු නිදහස් අරගලයේ කොටස් කරුවකු වන හෙතෙම පසු කලක බොම්බායට පැමිණි අතර බොම්බේ
ටෝකිස් සමාගමේ තිර නාටක රචක නිරන්ජන් පාල්ගේ පුතනුවන් ට බාහිර ගුරුවරයෙක් හැටියට
කටයුතු කළේය. ඔහු සිනමාවට පිවිසෙනුයේ එමගිනි.රායි සහ ඔස්ටන් යටතේ විධිමත් සිනමා
පුහුණුවක් ලබන හෙතෙම පසු කලක බොම්බේ ටෝකීස් සමාගමේ ජනප්‍රිය සිනමාකරුවා කෙසේ වෙතත් කිස්මට් ජනප්‍රියවීමත් සමඟ දේවිකා රාණි හා සමාගමේ සෙසු පිරිස අතර අර්බුද බහුල වන්නට පටන් ගත්තේය.එහි ප්‍රතිඵලය වනුයේ ශෂිධර් මුඛර්ජි, ගයාන් මුඛර්ජි, අශොක් කුමාර් සහ රායි බහදූර් චුනිලාල් එයින් වෙන්ව ගොස් ෆිල්ම්ස්තාන් සමාගම ආරම්භ කිරීමය.ෆිල්ම්ස්තාන් සමාගම අක්කර හතක භූමි භාගයක් පුරා පැතිර ගියේය.එය සුපිරි නළුවන් සහ සිනමාකරුවන් රැසකට මං පෙත සාදා දුන්නේය. ඒ අතර ශම්ම් කපූර් ආශා පරේක් මෙන්ම අධ්‍යක්ෂ නසීර් හුසේන් ද කැපී පෙනෙති.වර්තමාන සිනමවේ විශිෂ්ටතම නළුවා ලෙස සැලකෙන අමීර් ඛාන්, නසීර් හුසේන් ගේ බෑණනුවන් වෙයි.
මේ වසරේ වැඩිම ආදායම් ලද හින්දි චිත්‍රපටයක් වන යේ ජවානි හායි දිවානි අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි අයාන් මුඛර්ජි නළු දේබ් මුඛර්ජිගේ පුතනුවන් විය.මේ ආකාරයෙන් බොම්බේ ටෝකීස් පරම්පරාව ඉන්දියාව පුරා විහිද ගියේ නෑයන් පමණක් නොව සිසු පරම්පරාවක් ද ගොඩ නගමිනි.
අශෝක් කුමාර් ගෙන් පසු බොම්බේ ටෝකිස් සඳහා අලුත් නළුවකු ගේ වුවමනාව දේවිකා රාණිගේ
සිතෙහි බලවත් ගැටලුවක් විය.අමියා චක්‍රවර්ති විසින් නිර්මාණය කරනු ලබන නවතම
චිත්‍රපටය සඳහා බොහෝ තරුණයන් කෙරෙහි අවධානය යොමු කළ ද ඒ කිසිවකු හෝ අතරින් සාර්ථක
ප්‍රතිඵලයක් ලබා ගත නොහැකි විය. වර්තමාන පාකිස්ථානයට අයත් පේශවර් පළාතේ පළතුරු අලෙවි කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක සාමාජිකයකු වූ මොහමඩ් යූසුෆ් ඛාන් බොම්බායට එන්නේ සිය පවුලේ ව්‍යාපාරික කටයුතු සඳහා හවුල් වන්නටය. එහි දී ඔහු පූනාවේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරේ අවන්හල ද බාරව සිටියේය. මොහමඩ් යූසුෆ් ඛාන් නම් මේ තරුණයා ගේ කඩවසම් පෙනුම දැක ඔහු සිය සිනමාකරුවා වෙත යොමු කරවනුයේ දේවිකා රාණි ය.ඒ අනුව අමියා චක්‍රවර්ති ගේ ජ්වාර් භාතා යූසුෆ් ඛාන් සිනමාවට හඳුන්වා දුන්නේය. එහෙත් එනමින් නොවේ.ඉන්දියානු සාහිත්‍යධරයකු වන භග්වති චරන් වර්මා ඔහුගේ නම සහමුලින් වෙනස් කොට තිබිණ. ඒ අනුව තව දුරටත් ඔහු යූසුෆ් ඛාන් නොවීය. වර්මා ඔහු ට දුන් නාමය වනුයේ දිලිප් කුමාර්ය. ඉන්දියානු සිනමාවේ බිහි වුන විශිෂ්ටතම නළුවන් ගෙන් කෙනෙකු වනුයේ ඔහුය. ජ්වාර් භාතා චිත්‍රපටය ඔහුගේ නම සිනමාවේ ඉහළින් රඳවන්නට සමත් වූවක් නොවීය. එයින් වසර කිහිපයකට පසු තිරයට එන් ජුග්නු චිත්‍රපටය ඔහු සිනමා අම්බරයේ ඉහළින්ම රඳවන්නට සමත් විය.
දිලිප් කුමාර් හඳුන්වා දීමේ ගෞරවය අත් පත් කර ගන්නා සමය වන විට බොම්බේ ටෝකීස් පාලනය එක් අතකින් තවත් අතකට ආදි වශයෙන් ගමන් කරමින් තිබිණ.නිවැරදි තීන්දු ගන්නට සමත් කිසිවකු හෝ එහි නොවීය. සැබැවින්ම එය ඉතිහාසයේ දීප්තිමත් යුගය හමාර කොට තිබිණ.සමාගමේ පාලනය දේවිකා රාණි ට තව දුරටත් කළ නොහැකි විය.
එහි ආයෝජකයා වන රාජ්නාර්යන් දුබේ
සමාගම අවසානය දක්වාම එය පවත්වා ගෙන යන්නට උත්සාහ කළේය. 1954 වන වට එය චිත්‍රපට 102 ක් නිපදවා තැබූ අතර ඒ සියල්ලටම දුබේ ආයෝජනය කර තිබිණ.රුසියානු චිත්‍ර ශිල්පියකු වූ ස්වෙත්සලොව් රොයෙරිච් සමග විවාහ වූ දේවිකා රාණි සිනමාවෙන් සමු ගෙන බොම්බායෙන් පිටව බැංග්ලෝරය බලා පිටව ගියාය. 1954 වසරේ සිය ඓතිහාසික මෙහෙවර නිමා කළ බොම්බේ ටෝකීස් ඉතිහාසයට එක්විය.පසු කලක එනම් 1969 වසරේ දී ඉන්දියානු සිනමා කර්මාන්තයේ යාවජීව මෙහෙවර සලකා ඉන්දියානු රජය මගින් පිරිනමනු ලබන ඉහළම සම්මානය වූ දාදා සහාබ් පාල්කේ සම්මානය මුල්වරට පිරි නැමුනේ දේවිකා රාණි සුරතටය.1994 වසරේ මාර්තු නව වැනි දින ඇය මිය ගිය පසු අවමගුල් කටයුතු සිදු කරන ලද්දේ ඉන්දියානු මධ්‍යම රජයේ පූර්ණ ගෞරවය ඇතුවය. එයටත් වසර ගණනකට පසු එනම් 2010 වසරේ දී බොමාබේ ටෝකීස් සමාගමේ ආයෝජකයා වූ රාජ්නාරායන් දුබේ ගේ මුණුපුරා විසින් ඔවුන්ගේ මූලික ව්‍යාපාරය වූ දුබේ කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම වෙත බොම්බේ ටෝකීස් සහ ෆිල්ම්ස්තාන් සමාගමේ භූමියද පවරා ගන්නා ලදී.අනතුරුව අද මුම්බායි නමින් හැඳීන්වෙන එදා බොම්බාය බොලිවුඩ් ලෙස අන්වර්ථ නාමයන් ලබන්නට මග පෙන් වූ එය තිබූ සියලු දේපළ සමතලා කොට ඒ මත නවීන නිවාස සංකීර්ණයක් ගොඩ නැංවූයේය.
ඉන්දියානු සිනමාවේ සියවස සපුරද්දී බොම්බේ ටෝකීස් සහ ෆිල්ම්ස්තාන් සොයා
යන්නෙකුට දැක ගත හැකි වනුයේ එහි ඇති අහස සිඹින අලුත් නිවාස පද්ධතිය පමණී. මතු සම්බන්ධයි |