වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන අතහැර අමීෂා රට ගිහින්ලු

අර්ජුන අතහැර අමීෂා රට ගිහින්ලු

අර්ජුනගෙන් අහලා බලමු

ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටය අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තිබියදී ක්ෂේත්‍රය පුරා අර්ජුන කමලනාත් සහ දීර්ඝ කාලයක් පෙම්වතිය ලෙස සිටි අමීෂා කාවින්දි පිළිබඳව විවිධ කතා බහ පැතිරුණා.

‘අර්ජුනව අතහැර අමීෂා රට ගිහින්’ ඇසුණු තොරතුරයි. ඒ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව විමසන්නට අර්ජුන කමලනාත්ට කතා කළත් ඔහුගේ කාර්යබහුල තත්ත්වය නිසා ඔහු සම්බන්ධ කර ගැනීම පහසු වූයේ නෑ. කොහො වුණත් අන්තිමේදී අර්ජුන මේ පිළිබඳව අපට කිව්වේ මෙවන් කතාවක්.

ඔය කියන කතාව අමූලික බොරුවක්. අමීෂා ගියේ දොහා කටාර්වලට. අමීෂගේ අක්කයි, ළමයි දෙදෙනායි, මස්සිනයි එක්ක. එහෙම නැතිව වෙන කෙනෙක් එක්ක යාළුවෙලා මාව දාල ගියා නෙමෙයි.

හැබැයි අපි අතර ආදර සම්බන්ධය නතර වෙලා දැනට මාස 6 ක් විතර වෙනවා. ඒ අපි දෙදෙනා කතා කරලා ගත් තීන්දුවක් අනුවයි.

මවුපියන්ගේ ආශිර්වාදය මැද අපි එකතු වෙන්න හිටියේ. ඒ නිසා හඳහන් බලන කොට අපි දෙන්නටම අපලයි. මට සෙනසුරු ලබලා, අමීෂාට රාහු ලබලා. මේ කාරණය ඇත්තද බලන්න බොහෝ අය ළඟට ගිහින් අපේ හඳහන් බැලුවා.

ඒ හැමෝම කිවේවේ අපි දෙන්නට වෙන් වෙන්න කියලා. අමීෂා විදේශ ගත වෙනවා නම් හොදයි කියලා කිව්වෙත් ජ්‍යෝතිෂවේදීන්.

කොහොම වුණත් ඉඟිලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයෙන් පස්සේ අමීෂා ක්ෂේත්‍රය පිළිබඳව කලකිරීමෙන් හිටියේ. එයා රඟපාන්න ආයෙත් සහභාගි වෙන්නේ නැති තරමට කලකිරිලා තමයි රට ගියේ.

ප්‍රධාන පෙළේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකුයි ජනප්‍රිය නළුවෙකුයි එකතු වෙලා ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටය සිනමා ශාලාවලින් ගැලෙව්වා. මේ හැම දෙයක්ම නිසා අමීෂා කලකිරුණා.

ආශාවේ මායා චිත්‍රපටයේ ප්‍රචාරක වැඩ කටයුතු සඳහා අමීෂා නැවත ලංකාවට එයි. කොහොම වුණත් සතියකට දෙපාරක් විතර අමීෂා මට කතා කරනවා. එයා යන කොට කිව්වේ අවුරුදු දෙකකින් එන්නේ කියලා.

නමුත් දින කිහිපයකට ඉස්සෙල්ලා කතා කරලා කිව්වා සැප්තැම්බර් එනවා කියලා. අමීෂා ආපුවාම ඔබ දෙපළ යළිත් එකතු වෙනවාද? එකතු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක දෛවයට බාර දෙනවා. හැබැයි අපි දෙන්න හොඳ යහළුවෝ. අමීෂා ලංකාවට ආපුවහම ඇයගෙන්ම මේ ගැන අහලා බලන්න.

ක්ෂේත්‍රයේ හැදෙන හැම කතාවක්ම ඇත්ත නෙමෙයි. මේක අපේ පෞද්ගලික ජීවිතයේ වෙන ප්‍රශ්න. රසිකයන් අපි ගැන අවධියෙන් ඉන්න එක ගැන සතුටුයි.