වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මේ කට කතාවලට මම සැලෙන්නේ නෑ

මේ කට කතාවලට මම සැලෙන්නේ නෑ

සුරාජ් මාපා

සුරාජ්ට එරෙහිව එස්. එම්. එස්. ඔබටත් ලැබුණාද?

සීතල කන්ද උඩරටින් කලා ලොවට පැමිණි ඔහු මේවන විට පුංචි තිරයත්, රිදී තිරයත් සිය ආකර්ෂණීය රංගනයෙන් මුසපත් කර හමාරය. මෝස්තර නිරූපණ වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු තිරයේ ජනපි‍්‍රයතම තාරකාව බවට පත් වූයේ ප්‍රෙමණීය රංග ප්‍රතිභාව තුළින් සුවහසක් රසික සිත් අමන්දානන්දයෙන් පින වූ නිසාය. තිරයේ වසන්තය අග හමු වූ මේ සොඳුරු හිතවතා නම් ආදරණීය සුරාජ් මාපා ය. බොහෝ කාලයකට පසු අප ඔහු හමුවූයේ කාලයත් සමඟ ගලන් ගිය මේ අපූරු තාරුණ්‍යයේ නැවුම් තතු ඔබ වෙත ගෙන ඒමටය.

ඉතින් ....ඉතින් සුරාජ් කාලයකට පසු සරසවිය සමඟ ඔබ...?

අනේ ඔව්, කවදත් මම සරසවියටත්, සරසවිය මටත් හිතවත්නේ. මට මතකයි මගේ මුල්ම ලිපිය, කවරය සරසවියේ ගියදා විඳපු සතුට. කලා ජීවිතයේත් පෞද්ගලික ජීවිතයේත් පසුගිය ටිකේ හරිම කාර්යබහුල වුණා. ඇත්තටම මම කැමති විවේකීව පාඩුවේ පැත්තකට වෙලා ටිකක් ඉන්න. ඒත් තියෙන වැඩ එක්ක එහෙම ඉන්න හැටියක් නැහැ.

හදිස්සියේම තාත්තා අසනීප වුණාලු නේද?

මානසිකව මම හුඟක් වැටුණා. මොකද මම මගේ මවුපියන්ට හරිම ආදරෙයි. තාත්තට හුඟාක් අමාරු වුණා. පවුලේ අපි හැමෝම පුදුම තරම් දඟලලා කොහොම හරි තාත්තාව ගොඩ ගත්තා. දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් දැන් තාත්තාට සනීපයි. අම්මයි තාත්තයි දෙන්නම කොළඹ අරන් ආවා. නිතර නුවර දුවන්නත් බැරි එකේ මට පේන දුරකවත් ඉන්න එක සැනසීමක්.

සුරාජ් නාඳුනන තරුණයකුගෙනුත් ඔබට කරදරයක් වුණාලු නේද?

මගේ ජංගම දුරකථනයට මා ගැන එක එක බොරු ගොතලා ඔහු එස්. එම්. එස්. කරන්න පටන් ගත්තා. නුවර ඉන්න අම්මලාටත් නිතර නිතර කතා කරලා මා ගැන වැරදි කියලා තිබුණා. මම දන්න හඳුනන හිතවත් කලා ශිල්පීන්ටත් එස්. එම්. එස්. යවලා මා ගැන වැරදි ප්‍රකාශ කරලා. ඒ අය මට කතා කරලා ඇසුවා සුරාජ් මොනවද මේ කතා කියලා. එතකොටයි මට හරියටම තේරුණේ මේ ප්‍රශ්නය ගොඩක් දුර ගිහින් කියලා.

ඉතින් ඔබ නීතිමය පියවරක් අරගත්තේ නැතිද?

පොලිසියට ගිහින් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ තරුණයාව කැඳෙව්වා. ඔහු හරිම නිහඬ ගුප්ත අයෙක්. මම කවදාවත් දැකලා තිබුණු කෙනෙක් නෙමෙයි. පසුවයි තේරුණේ ඔහු ගොඩක් නළු නිළියන්ගේ දුරකථන අංක සොයාගෙන මෙවැනි වැඩ කරන මන්ද මානසික තරුණයෙක් කියලා. එහෙම කෙනෙක් සමඟ ප්‍රශ්න දිගින් දිගට ගෙනියන්නේ මොකටද? මම ඔහුට සමාව දීලා ප්‍රශ්නය ඉවර කළා. ආයෙ ඔහු මෙවැනි දේවල් කරන එකක් නම් නැහැ.

සුරාජ් ට ආදරේ කරන අය සේම මේ වාගේ නම කැත කරන්න දඟලන අයත් ඉන්නවානේ?

මේක මම හුඟක් කට්ට කාලා ආපු ගමනක්. නුවර ඉඳන් කොළඹට ඇවිත් දුක් ගැහැට විඳගන ස්ථාවරේකට ආවේ. අද මම හොඳ තැනක ඉන්න නිසා සමහරුන්ට විඳ දරාගන්න අමාරුයි. කෙනෙකුගෙ නම කැත කරලා මොනවා ලබන්නද? අපි මේවා සදාකල් අයිති කරගන්න ඇවිත් නැහැ. උත්සාහයෙන්, කැපවීමෙන් මම ජීවිතය ගොඩනඟා ගත්තේ. ඔය වැඩකට නැති මිනිස්සු තමා නොයකුත් දේවල් කරන්නේ. කියන්නනේ. මම අද ජීවිතය හුඟක් හොඳින් තේරුම් අරන් තියෙන්නේ. සුළං හැමුවා කියලා ශක්තිමත් ගස් ඇද වැටෙන්නේ නැහැ.

ඔබට දැන් ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා වගේ?

ඔව්, වයසට යනකොට අපි අත්දැකීම්වලින් පරිණත වෙනවා. දැන් මම පසු වන්නේ අවුරුදු දහ අටේ, විස්සෙ නෙමෙයිනේ. වයස තිස් තුනක් කියන්නේ මනා තේරුම් ගැනීමේ ශක්තියක් තිබෙන කාලයක්.

වයස ගත වෙනකොට ජීවිතේ තනි කමක් දැනෙන්නේ නැද්ද සුරාජ්?

දවස පුරාම කාර්යබහුල නිසා තනිකම දැනෙනවා අඩුයි. විවාහයකට යන්න තරම් මගේ හිත තවම සූදානමක් නැහැ. මේ අවිවේකී ජීවන රටාව තුළ ඉඳගෙන මම බැන්දා නම් දැන් දික්කසාද වී ඉන්න තිබුණා. අපේ බොහෝ දෙනා විවාහ වෙන්නේ අවසාන කාලේ කාත් කවුරුත් නැතිව යයි කියන බයට. ආත්ම ශක්තිය නැතිවුණාම ජීවිතයට බයයි.

ඒ කියන්නේ සුරාජ් ට එහෙම බයක් නැහැ?

ඇතතටම නැහැ, මට මා ගැන හොඳ අවබෝධයක්, ආත්ම විශ්වාසයක් තියෙනවා. මම දන්න මගේ යාළුවෝ ඉන්නවා විවාහ වූ. අපි කට්ටිය එකතු වුණහම ඒ බැඳපු අය කියනවා ගෙදර යන්න ආසාවක් නැහැ කියලා. මොකද වයිෆ් සැරලු. ඇනුම්පද ඉවරයක් නැතිලු. කනක් ඇහිලා ඉන්න හැටියක් නැහැලු. ඉතින් කසාදෙන් පසු මේ අය තැවෙනවා. මට ඕනෙ එහෙම ජීවිතයක් නෙමෙයි.

ඒ වුණාට බොහෝ දෙනා බලන් ඉන්නේ සුරාජ් විවාහවන තුරු?

සමාජයට ඕන විදිහට අපි හැදෙන්න ඕන නැහැ. මේ නිදහසට ඇත්තටම මම ආදරෙයි. නිදහස ජීවිතයට පහසුයි. මම හිතන්නෙ මා දිහා බලා ඉන්න අයට ඕනේ මගේ විවාහය නෙමේ. මගේ රංගනය.

අවංකවම කියන්න ඔබ ඔය කියන්නේ ඔබට ආදරයක් නෑ කියලා ද?

දැනට එහෙම විශේෂ ආදරයක් ඇත්තටම මට නැහැ. තිරයේදි ඕන තරම් මම පෙම්වතා වෙලා තියෙනවානේ. සැබෑ ජීවිතයේ දී ආදරය නිසා ඇතිවන ඔය දුක, සැප, සංකා මට නැහැ.

ඒත් නිතරම ඔබ සම්බන්ධ කරලා කට කතා හරියට?

මම සැලෙන්නේ නැහැ. තමන් කැමති අය සමඟ ඉන්න, සම්බන්ධතා ගොඩනගා ගන්න අයිතිය තමුන්ට තිබිය යුතුයි. ජනපි‍්‍රය වුණාට අපිටත් පුද්ගලික ජීවිතයක් අවශ්‍යයි.

සුරාජ් කලාවෙන් ලැබෙන මුදල ජීවිතයට ඇතිද?

දැනට මට ඇති. අනුන්නට අත නොපා ජීවත්වෙන්න පුළුවන් ආර්ථික මට්ටමක් අද මට තියෙනවා. හැබැයි ජීවිතය කියන්නේ මුදල්ම නොවන බව මම තේරුම් අරන් ඉන්නේ.

මෙවර නුවර පෙරහැර බලන්න ගියාද?

අප්පේ ඔව්, හැම අවුරුද්දකම සිදු කෙරෙන කටයුත්තක් තමා ඒ. අවසන් රන්දෝලි මහා පෙරහැර බලන්න මම නුවර යනවාමයි. පූජාවන්ට සහභාගි වෙලා දිය කපන උත්සවයටත් ඉඳලා යළිත් ලබන අවුරුද්දෙ පෙරහැරට එකතු වෙන්න වරම් ලැබේවා කියලා දළදා මාලිගයෙන් පිටතට එන්නේ.

සුරාජ් පසුගිය කාලේ ජනපි‍්‍රය නළුවා වෙන්න ලැබුණේ නැහැ නේද?

පසුගිය සම්මාන උළෙලවල් වලදී ජනපි‍්‍රයම නළුවා වුණේ සාරංග දිසාසේකරනේ. ඇත්තටම එය සාධාරණයි. ඒ සම්මානය ඔහුටමයි දිය යුත්තේ. හැබැයි එයිට කලින් ඔය සම්මානය ලැබුණේ සුදුසුම අයටද කියලා හිතාගන්න බෑ. ජනපි‍්‍රය නළුවා වෙන්න හැමදාම පුංචි තිරයේ ඉන්න ඕන නැහැ. මිනිස්සු පිළිගන්නවා නම් එය ප්‍රමාණවත්.

සිටි ඔෆ් ඩාන්සින් අවසන් දහදෙනා අතර නේද ඔබ දැන්..?

ඔව්, තරගය දැන් තමා උණුසුම්. මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයින් මා සමඟ ඉන්නවා. නොවැම්බර් 09 වැනිදා තමයි අවසාන මහා තරගය. අපි බලමු නේද.

සුරාජ් මේ දිනවල කෙරෙන ඔබේ රංගන කටයුතුත් මතක් කරමුද?

‘තරුමලී’ නාට්‍යය රූපගත කරනවා. සිහින සින්ඩරෙල්ලා, මකුළු දැල් කියන අලුත්ම නාට්‍ය දෙකෙත් වැඩ. ඇත්තටම මේ ආ දුර ගැන මම සතුටුයි. අපිට හොඳ අධ්‍යක්‍ෂවරු ලැබුණා. පිටපත් කියවලා කාලය අරගෙන රඟපෑවා. අද අයට ඒ දේ අඩුයි. ගුරු හරුකම් පිළිගන්නවා අඩුයි. අපි අදටත් ප්‍රවීණයන්ට හරියට ගරු කරනවා. කලාවට එන්න ලේසියි.

කලාවෙන් යන්නත් ලේසියි. ජනපි‍්‍රය වෙන්නත් ලේසියි. ඒ ජනපි‍්‍රයත්වය රැකගන්නයි අමාරු. ඒ වාසනාව මට තියෙනවා. කලාවත්, ජීවිතයත් අතර මගේ කාලය මෙසේ ගලාගෙන යයි. බොළඳ ප්‍රේමය මම අත්හැරියා. ජීවිතයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්නයි මං ඉතින් හිතන් ඉන්නේ.