වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




පබ්ලික් හෝල් එකේ සිරි පැරකුම් පෙන්වන හැටි

පබ්ලික් හෝල් එකේ සිරි පැරකුම් පෙන්වන හැටි

පහුගිය දොහක උදේ අපේ ගෙදර උන්දගෙන් බේරෙන්න බෑ සිරි පැරකුම් බලමු කියලා. පොඩි එකා තමයි ඉත්තා. ‘තාත්තේ සිලි පැලකුම් බලමු.’ පොඩි එකා හතේ ඉඳලා මොරේ. මොන්ටිසෝරි නිවාඩුවත් එක්ක ආච්චිලගෙ ගෙදර හිටිය පොඩි එකයි ගෙදර උන්දැයි මමයි සිරි පැරකුම් බලන්න තෝර ගත්තේ ගම්පහ පබ්ලික්හෝල් එක. 10.30 ෂෝ එකට නවය හමාරේ ඉඳන් සෙනඟ කියල ආරංචි වෙච්ච ගමන් මං මුලින්ම පෝලිමට ගියේ ගෙදර අයට පස්සේ එන්න කියාගෙන.

මහ අව්වේ කරවෙවී සෙනඟ පෝලිම්. බයිසිකල් ටික ගැරේජ් එකට දාල ටිකට් එකක් කඩාගන්න එක ඇරෙන්න හෝල් එකේ කාටවත් ෆිල්ම් එකට ටිකට් දෙන්න උවමනාවක් තිබුණෙ නැහැ. මහ අව්වේ වේලෙමින් හිටිය සෙනඟට දැන් භාගෙට සිරි පැරකුම් පෙනිල. ඔන්න ගේට්ටුව ඇරල ටිකට් දෙන්න පටන් ගත්තා. එතකොට අපේ ගෙදර අයත් හෝල් එක ළඟට ආවා. මට හම්බ වුණේ 14523, 14524 කියන ටිකට් දෙක. මගේ පොඩි එකාට අවුරුදු 3 1/2 යි. ඒ නිසා නීති ගරුක කෙනෙක් විදියට මං එයාටත් ටිකට් එකක් ගත්තා. ඒකෙ නොම්මරේ 39646.

ඔන්න දැන් ඇතුළට ගිහිං ඉඳගත්තා. මං කොනේ, පොඩි එකා මැද, ගෙදර උන්දෑ ඊට පස්සෙ. බලද්දී පොඩි එකා නෑ. පුටුවෙ වලෙන් පොඩි එකා බිමට වැටිලා. කුෂන් සීට් එක ඉරිල පුටුවෙ ඇන්ද අටපට්ටම් වෙලා. බොහොම අමාරුවෙන් පොඩි එකාව ඔඩොක්කුවේ තියාගෙන බලන් හිටියේ චිත්‍රපටය පෙන්වන කොට දැන් 10.45 ත් පහුවෙලා. ඔන්න චිත්‍රපටය පටන් ගත්තා.

මකුණො කන පුටුවලට ඉහළ වව්ලො රොත්තක් පියාඹගෙන ගියා. අපේ දරුවට හරිම සතුටුයි. ‘තාත්තෙ මේ කැලේ ඇතුළෙ කුමාරයා යනවද?’ මොනවත් නොදන්න පොඩි එකා අහපි. තැන තැන පාවෙන වව්ල්ලු ඉඳල හිටල හෝල් එකේ මැදට ආවේ මඟ වැරදිලා.

ඔන්න දැන් චිත්‍රපටය දුවනවා. චිත්‍රපටය දුඹුරුම දුඹුරු පාටයි. තිරයේ රූප එනවා යනවා. එනවා යනවා. හැමෝම බැන්නේ රේණුටයි සෝමෙටයි.

‘මුං චිත්‍රපට බලන්න එන්න කියනවා මහ ලොකුවට. බලන්න චිත්‍රපටය නවතිනවනෙ.’

තාක්ෂණික ක්‍රමවේදයන් නොදත් පොදු ප්‍රේක්ෂකයා බැන්නේ චිත්‍රපටයට. හතර වතාවක් නතර වුණා.

මේක තමයි කතාව . . . කෙටියෙන්.

ගම්පහ කියන්නේ කොළඹට ඉතාමත් ආසන්න නගරයක්. අනෙක දියුණු ජනාකීර්ණ නගරයක්. මේ වගේ නගරෙක චිත්‍රපට හෝල් එකක් කියන්නේ හොඳ තත්ත්වයෙන් තිබිය යුතු තැනක්. රුපියල් 200 ක් දීලා මිනිිහෙක් චිත්‍රපටයක් බලන්න එන්නේ උපරිම වින්දනයක් ගන්න. ඒත් මේ හෝල්වල වෙන්නෙ මොකක්ද?

ටිකට් කඩන්නෙත් එක්කෙනා.

කැන්ටිමේ ඉන්නෙත් එක්කෙනා.

චිත්‍රපටය දුවන්නෙත් එක්කෙනා.

ඉතිං . . .

ටිකට් කඩල ඉවර වෙනකං චිත්‍රපටය දුවන්න බෑ.

කැන්ටිමේ සෙනඟ ඉවර වෙලා තමයි චිත්‍රපටය පෙන්වන්න වෙන්නේ.

මේක තමයි තත්ත්වය. චිත්‍රපට බලන්න මිනිස්සු නෑ කිය කිය ඉන්න කාලේ චිත්‍රපටයක් බලන්න එන මිනිහටත් එපා කරන මේ වගේ හෝල් ගැන වගකියන්නෙ කවුද?

චිත්‍රපට හෝල්වල ප්‍රමිතිය තීරණය කරන්නේ කවුද?

මේක තමයි අපේ ප්‍රශ්නය.

පිටපත් 55 ද 75 ද කියල කතා කරන කවුරුවත් මේ පොදු ප්‍රේක්ෂකයාගේ පහසුකම් ගැන හෙව්වද?

අපි චිත්‍රපටයේ නිෂ්පාදක පාර්ශවයෙන් ඇහුවම කිව්වේ ඔය හෝල් එක ඔහොමමයි. ඒක ඉදිරියේදී නොවෙන්න වග බලා ගන්නවා කියලයි.

රේණු සහ සෝමෙ වගකීමෙන් වැඩ කරන නිසා මේ තත්ත්වයට යම් විසඳුමක් ලැබේවි කියල අපි හිතනවා. කොළඹට කිට්ටු ගම්පහ මේ වගේ නං ගම්වල තියෙන හෝල් ගැන කවර කතාද?

‘මාලිගය අහිමි රජකම හිමි කමාරයාගේ කතාව බලන්න ගිය අපේ පොඩි එකාට වුණේ පුටුව සහ රූප අහිමි නම පමණක් හිමි චිත්‍රපටයක් බලපු අසරණයෙක් වෙන්න.

මේ කතාවට ඕන කෙනෙකුට උත්තර, විසඳුම්, මත එවන්න පුළුවන්.