වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




පවුල් ජීවිතේට අවුරුදු දෙකයි හොඳට ගෙවෙනවා

පවුල් ජීවිතේට අවුරුදු දෙකයි හොඳට ගෙවෙනවා

බලමු ඉස්සරහට

නදිනි ප්‍රේමදාස

අද අපේ ගායන ලොවට එක් වුණේ ‘සිරස’ සුපර් ස්ටාර් season 02 වේදිකාව ඔස්සේ තමන්ටම ආවේණික මියුරු හඬකින් හා අපූර්ව ගායන ශෛලියකින් රසිකයන් අමන්දානන්දයට පත්කළ ඈ සැබැවින්ම මේ වන විට ගී අඹරේ සුපිරි තාරකාවක වී හමාරයි.

ගායිකාවක මෙන්ම නිවේදිකාවක ලෙසින් ද කුසලතා ප්‍රකට කළ ඒ යොවුන් රුවැත්තිය නදිනි ප්‍රේමදාස සමඟයි අද මේ සොඳුරු කතාබහ.

* මොනවද ඔයාගේ අලුත් කලා කටයුතු?

දැන් මාසෙකට විතර කලින් මගේ අලුත් ගීතය නිකුත්වුණා ‘දිලිසෙන දෑස ඔබේ’ නමින්. ඒක ලිව්වෙ සජිත් චතුරංග. සංගීතවත් කළේ රදීෂ් වැන්දබෝනා. මේ වෙන කොට සෑම ගුවන් විදුලි නාළිකාවකම ඒ ගීතය ප්‍රචාරය වෙනවා. ඒ මිඩුසික් වීඩියෝ එකත් ප්‍රේක්ෂකයෝ අතරේ ගෙඩාක් ජනප්‍රියයි.

* ආදර ගීයක් නේද?

ඔව්. ගොඩක් සුන්දර ආදර ගීතයක්. සමරු අහනවා මේ ගීතයෙන් කියැවෙන්නේ මගේ අත්දැකීමක්ද කියලා. නෑ සජිත්ගෙන් තමයි ඒත අහන්න ඕනෑ. කොහොමටත් එයා වෙනස් වෙනස් තේමාවලටනේ ගීත ලියන්නේ.

* නදිනි ප්‍රසංග වේදිකාවේ අපි දකින්නේ නෑ වැඩිපුර?

පෙරදි වගේම මම ප්‍රසංග වේදිකාවට සහභාගි වෙනවා. ඒත් මට ගැළපෙන ප්‍රසංග තෝරා බේරා ගෙන.

* ලොකු මුදලක් අය කරනවා කියන්නේ ඇත්තද?

ඒක තීරණය වෙන්නේ ප්‍රසංගයේ දුර ප්‍රමාණයත් එක්ක. ගොඩක් වෙලාවට අපට ප්‍රසංග තියෙන්නේ සති අන්තවල. පහුගිය ටිකෙත් ප්‍රසංග කිහිපයකටම ගී ගැයුවා. හැබැයි මගේ මට්ටමට ගැළපෙන ප්‍රසංග තෝරා බේරාගෙන තමයි මම ගී ගයන්නේ.

* ඒ කියන්නේ ඔයා වෘත්තීය ගායිකාවක් නෙවෙයි?

මම සල්ලි හම්බ කරන්නේ මියුසික්වලින් විතරක්ම නෙවෙයි. ඒත් ගායනයත් මගේ එක් වෘත්තියක් වෙලා තියෙනවානේ අද. නමුත් මම සහභාගි වෙන්නේ ප්‍රමිතියක් තියෙන ප්‍රසංගවලට විතරයි.

* සල්ලි හොයන්නේ සිංදු කියලාම නෙවෙයි කිව්වා?

මම කැමැති ව්‍යාපාරිකාවක් විදිහට අනාගත ජීවිතය ගොඩ නගා ගන්න. තාත්තගේ ව්‍යාපාර කටයුතුවලට ඉදිරියේදී සම්බන්ධ වෙන්නයි හිතාගෙන ඉන්නේ.

* තවම සම්බන්ධ නොවුණේ?

රණවිරු රියල් ස්ටාර් තරගාවලිය සහ මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නිසා පහුගිය කාලේ ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. මොකද දෙයක් පටන් ගත්තොත් දිගටම ඒ දේ වගකීමකින් ඉටු කරන්න ඕනෑනේ. තාත්තත් මට කිව්වේ මුලින්ම හොඳට ඉගෙන ගන්න කියලයි.

* ඒ අධ්‍යාපන කටයුතු සිදු වුණෙත් සංගීතය සම්බන්ධවමයි?

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බටහිර සංගීත උපාධිය තමයි මම ඉවර කළේ. අවුරුදු හතරක් ඉගෙන ගත්තා. ඉතින් දැන් ඉගෙනීමේ කටයුතු ඉවරයි. ළඟදීම ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙනවා.

* තමන්ගේ ඥානය, දැනුම තව පරපුරකට ලබා දෙන්න කැමැති නැද්ද?

පුංචි කාලේ හරිම ආසාවක් තිබුණා ගුරුවරියක් වෙන්න. නමුත් කාලයත් එක්ක අපේ අදහස් වෙනස් වෙනවා. ගුරු වෘත්තියට වගේම උපදේශන සේවාවන්ට, වාද්‍ය ශිල්පීන් වන්නට යොමු වූ පිරිසක් අද ඉන්නවා. කවුරු හරි මගෙන් යමක් ඉගෙන ගන්නට ආවොත් මම ඒක කියලා දෙනවා. නමුත් ගුරු වෘත්තියේ යෙදෙන්නට බලාපොරොත්තුවක් නෑ.

* නදිනි, අපේ ප්‍රසංග වේදිකාවට අමුතු හඬක් සහ ගායන ශෛලියක් රැගෙන ආ ගායිකාවක්. කොහොමද මේ ‘අනන්‍යතාවය’ ඔයා ගොඩ නගා ගත්තේ?

පොඩි කාලේ ඉඳන්ම මම හැදෑරුවෙ පෙරදිග සංගීතය. විශාරද විභාගය වසර අටක්ම මම හැදෑරුවේ සනත් නන්දසිරි සර් යටතේ. හැබැයි විශ්ව විද්‍යාලයේදී නම් මම හැදෑරුවේ සම්පූර්ණයෙන්ම බටහිර ගායනය, සංගීතය. එය තමයි මගේ ප්‍රධාන විෂය වුණේ. මගේ හඬ උපතින්ම බටහිර ආරට පිහිටපු එකක්. මම කාවවත් අනුකරණය කරන්න ගියේ නෑ. මම හිතන්නේ මගේ පිය පාර්ශවයෙන් උරුම වුණු දෙයක් ඒක.

* ඔයාගේ හඬෙන් නියම ප්‍රයෝජනයක් ගත්තා කියලා හිතනවාද?

අවුරුදු හයයි මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා. තව ගොඩක් ප්‍රයෝජන ගන්න තියෙනවා මගෙ හෙඬන්. හැබැයි කෙටි කාලයක් වුණත් මේ ආ ගමන ගැන මට සතුටුයි.

* ඇයි ඒ?

අද ගොඩක් තරු බිහිවෙනවා. ඒ අතරේ මෙවැනි ස්ථාවරයක් ලබා ගන්න හැකි වීම ගොඩක් ලොකු වාසනාවක් කියලා හිතෙනවා. නමුත් තව ගොඩක් දුර යා යුතුයි. මගේ වයසට මේ ආපු දුර ගැන තෘප්තිමත් වෙනවා.

* වයස කියන්න කැමැති නෑනේ?

අපෝ අකමැත්තක් නෑ. තවම අවුරුදු විසි පහයි.

* ඩැල්රීන් සූබි, කොරින් අල්මේදා වගේ බටහිර ගීත ශෛලියට නැඹුරු වූ ගායිකාවන් සිංහල ගීත වගේම ඉංග්‍රීසි ගීතත් ගායනා කරනවා. ඔයාගේ අදහසක් නැද්ද ඉංග්‍රීසි ගී ගායනා කරන්න?

ඒ හැකියාව මට තියෙනවා. මොකද මම බටහිර සංගීත අධ්‍යාපනය ලැබුවේ. මම ගොඩක් වෙලාවට සිංහල ගීත ගායනා කරන්නේ බටහිර ශෛලියට නැඹුරුව. කොහොම වුණත් ඉදිරියේදී අර ඔයා කිව්ව දේත් බලමු.

* අද රියැලිටි ප්‍රසංග කලාව බොහොම දියාරු මට්ටමක තියෙන්නේ. ජයග්‍රාහකයන්ගේ නමවත් මතක නෑ. නමුත් ඔයා සහභාගි වුණ සිරස සීසන් 02 තරගාවලියට හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා.

ඇත්තෙන්ම රියැලිටි ප්‍රසංග කලාව අපේ රටේ ආරම්භ වෙන්නේ ‘සිරස සුපර් ස්ටාර්’ හරහා. එහි season 01 වගේම season 02. තරගාවලි ගොඩක් ජනප්‍රිය වුණා. S. M. S. එකකින් තරුවක් තෝරන එක ඒ කාලේ අපේ ජනතාවට අලුත් අත්දැකීමක් වුණා. ඒ ගැන විවේචන නොතිබුණා නෙවෙයි. ඇත්තටම දක්ෂයාම නෙවෙයි ඒ තෝරන්නේ ජනප්‍රිය තරුව. මම හිතන්නේ සිරස season 02 තරගයෙන් පස්සේ එවැනි වැඩසටහන් රාශියක් විවිධ නාළිකාවලින් ආරම්භ වුණා.

* තණකොළ පෙත්තොත් සිංදු කියන්න පටන් ගත්තා?

අද එක නාළිකාවකින් නෙවෙයි, මම හිතන්නේ නාළිකා තුන හතරකින් පෝලිමට ස්ටාර්ස්ලා බිහි වෙනවා. මිනිස්සුන්ට මතක තියාගන්න අපහසුයි. නමුත් අපේ තරගාවලියේ ජයග්‍රාහකයා විතරක් නෙවේ අවසන් වටයට ආපු දොළොස් දෙනා ගැන පවා අදටත් මිනිස්සුන්ට හොඳට මතකයි. ඒ ගැන මම සතුටු වෙනවා.

* ඒ කාලේ ඔයාට චෝදනාවක් තිබුණා?

මොකක්ද අප්පේ ඒ?

* නදිනි ගායිකාවක් වුණේ සල්ලි තියෙන නිසා කියලා. තව විදියකින් කිව්වොත් මුදල් වියදම් කරලා කියලා. ඒ චෝදනාවට අද ඔයා දෙන පිළිතුර?

ඒකට මම පිළිතුරු දීලා ඉවරයි. මේ වසර හය තුළ මම කිසියම් ස්ථාවරයක්, ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන තියෙනවා. මගේ යම් ආකර්ෂණයක්, හැකියාවක් හා ප්‍රාසංගික බවක් තියෙන්නට ඇති. මොකද අවසන් දොළොස් දෙනාට තේරුණේ විවිධ හැකියාවන් තියෙන තරු. මාව ප්‍රේක්ෂක මනාපයෙන් ඒ අතරට එන්න ඇත්තේ යම් විශේෂත්වයක් තිබුණ නිසා වෙන්නැති. ඒ නිසා අර චෝදනාව මට කොහෙත්ම අදාළ නැහැ.

* නදිනි ප්‍රේමදාස කියන නිවේදිකාවත් අපට අමතක කරන්න බැහැ?

මගේ පළමුවනි නිවේදන කටයුත්ත මම පටන් ගත්තේ සිරස ආයතනයෙන්මයි. Super Star Chart. ඊට පස්සේ මම බාර ගත්තා ස්වර්ණවාහිනියේ ShowTalant Sri Lanka පස්සේ රූපවාහිනියේ Chart Show කළා. එතනින් පස්සේ හිරු ටී. වී. එකේ Count Down කියන වැඩ සටහන. ඔය හැම දේම සංගීතයට අදාළ වැඩ සටහන්. ඊට පසුව තමයි මට රණවිරු රියල් ස්ටාර් mision 03 වැඩ සටහනට ආරාධනා ලැබුණේ.

* නිවේදිකාවක් විදිහට ඔයාගේ හැකියාවන් ඉහළටම ගේන්න හැකි වූ වැඩ සටහනක්?

ඔව්. ඒ ගැන මම සතුටු වෙනවා. වෙනස් පරිසරයක, වෙනස්ම අත්දැකීමකටයි මම මුහුණ දුන්නේ. මොනවා වුණත් මම නිවේදිකාවක් වෙන්නටම කැමැති නැහැ. ඊට වඩා මම කැමැති ගායිකාවක් කියනවාට.

* දැන් මම මෙහෙම ඇහුවොත් ඇත්තටම නදිනි ප්‍රේමදාස කියන්නේ කවුද?

මම ඉතාමත් සැහැල්ලුවෙන්, විනෝදයෙන් කා සමඟත් මිත්‍රශීලීව කටයුතු කරන්න කැමැති කෙනෙක්. මාව ගායිකාවක් විදිහට තමයි හැම දෙනාම වගේ දන්නේ. සමහරු හිතනවා මම ටිකක් අහංකාර, ආඩම්බර කෙනෙක් කියලා. නමුත් ගොඩක් දෙනා මාව ආශ්‍රය කළාට පස්සේ කියනවා මම හරි හොඳයි කියලා.

* නපුරු මෛත්‍රී කෙනෙක් නෙවෙයි?

නපුරු නැහැ. තරහා යනවා. හැබැයි ඒ වෙලාවට විතරයි. සැර නපුරු නෑ.

* කොහොමද පවුල් ජීවිතේ?

හොඳින් ගෙවෙනවා. දැන් ඉතින් අවුරුදු දෙකහමාරක් ගත වුණා.

* වෙනසක් නෑ?

නෑ තාම නෑ. බලමු ඉස්සරහට . . .