වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ලොව හොඳම නළුවා තරු මිහිරටත් ආවා

ලොව හොඳම නළුවා තරු මිහිරටත් ආවා

ජගත් චමිල සමඟ තරු මිහිරේ සිහිල විඳිමු
 

ලෝකයේ කොතෙක් හොඳම රංගන ශිල්පීන් සිටියත් අපට සමීප එවැනි නළුවෙක් හමුවන්න ලැබෙන්නේ කලාතුරකිනි. එවැනි හොඳම නළුවන් වූ අති දක්ෂයන්ගේ ඇසුරත් වාසනාවට හේතුවක්. මේ වාසනාව දෝතින් දරගෙන ලංකාවේ බොහෝ දුර බැහර සිට සරසවියට පැමිණි පිරිසකි. ඒ, මහනුවර හන්දෙස්ස සිට පැමිණි ප්‍රමෝද්‍යා රත්නායක, අම්බලන්ගොඩ, කොස්ගොඩ සලුසි අයේෂ්මා පෙරේරා, කොළඹ මිහිඳු මාවතේ රේණුකා ප්‍රියදර්ශනි, කපුගොඩ සරත් රණසිංහ සහ ගල්ගමුව ඇහැටුවැව ප්‍රමිලා වර්ණසූරිය යන පිරිසයි.

මේ පිරිස සරසවිය ඡායාරූපාගාරයට වී ඇඟිලි ගනිමින් සිටියදී ලේක්හවුස් පිවිසුම් දොරටුව අබියස සුවිශේෂී සිද්ධියක් වෙමින් තිබුණා.

අලුත්ම වර්ගයේ යතුරු පැදියකින් බැසගත් හුරුබුහුටි තරුණයෙන් ප්‍රසන්න සිනවකින් මුව සරසාගෙන පිළිගැනීමේ නිලධාරිනිය වෙත පැමිණීමයි. මොහොතක් ඒ දෙස බලා සිටි පිළිගැනීමේ නිලධාරිනිය දුටුවේ ‘ලොව හොඳම නළුවා’ ලෙස අභිසෙස් ලද ජගත් චමිලගේ රුවයි. සැබැවින්ම ලොකු මාල, මුදු පැලැඳි මේ කාලයේ සංකර වූ නළුවන්ට වඩා ඉතාම චාම් ඇදුමින් සැරැසී සිටි ජගත්ගේ පැමිණීම පිවිසුම් දොරටුව අබියස සිටි බොහෝ අයගේ නෙතට රසඳුනක් වුණා.

ජගත් චමිල නම් වූ ලොව හොඳම නළුවා ලෙස සම්මානනීය වූ රංගන පෞරුෂය හිමි මේ තරුණයා දැක ගැනීමේ ආශාවෙන් සරසවිය ඡායාරූපාගාරයේ සිටි පාඨක පිරිසගේ සිත් ප්‍රමෝදයට පත් වූයේ ජගත් ඔවුන් වෙත පැමිණි පසුවයි.

සරසවිය පැරැණිම පාඨකයකු වූ සරත් රණසිංහ පැමිණ සිටි පිරිස හඳුන්වා දුන්නේ ජගත්ගේ ආගමනයෙන් වශීකෘත වෙමිනි.

රේණුකා සමඟ පැමිණි ඇගේ දියණිය ජයසි සෙනාරා ජගත්ට අසීමිතව ආදරය දක්වන්නියකි. ජගත් පැමිණි විගස ඇය ජගත්ගේ අසලින්ම වාඩි වූයේ ඔහුව හොඳින් දැක බලා ගැනීමේ ආශාවත් සමඟයි.

පාඨක පිරිසේ ජ්‍යෙෂ්ඨයා වූ සරත් ප්‍රථම පැනය ජගත්ගෙන් විමසුවේය. හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ ඔබ රඟපාන චරිතය ඇත්තටම මුල් කෘතිය තරම්ම ලස්සනට නැහැ. මුල් චිත්‍රපටයේ ජගිරියාගේ චරිතය රඟපෑවේ ඇන්තනි සී. පෙරේරා. නමුත් මුල් චිත්‍රපටයේ තරම් ඔබ ඒ චරිතය රඟපෑවේ නැහැ කියලා තමයි මට චෝදනා කරන්න වෙන්නේ.

සරසවිය පාඨකයෙක් හැටියට ඔබ ඇසූ ප්‍රශ්නය ඉතාම වැදගත්. අනික රසිකයෙක් විදියට ඔබ එසේ විචාරය කිරීමත් හරි. ඒක මම අගය කරනවා. නිහතමානීව පිළිගන්නවා. නමුත් ලෝකයේ බොහෝ කලා කෘති නැවත නැවත නිෂ්පාදනය වෙලා තියෙනවා. සමහර ඒවා සමහර විට මුල් කෘතිය සමඟ සසඳනවා.

ඇන්තනි සී. පෙරේරා මහත්මයා ජගිරියාගේ චරිතය නිරූපණය කළ ආකාරයත් මම ජගිරියාගේ චරිතය නිරූපණය කළ ආකාරයත් ඇත්තටම වෙනස්. ඒ මමත්, ඇන්තනි මහත්මයත් දෙදෙනක් නිසා. සමහර විදේශයන්හි නිෂ්පාදනය වුණ නාට්‍ය මෙරට නැවත නිෂ්පාදනය කරනවා. හැබැයි අර මුල් නාට්‍ය බලපු කෙනෙක් දෙවැනි මෙරට නිෂ්පාදනයට බනින්න පුළුවන්. නමුත් මුල් නිර්මාණය නොබලපු කෙනෙක් මේ නව නිර්මාණය ඉතාම ඉහළින් අගය කරන්න පුළුවන්.

ඒක තමයි ඇත්ත තත්ත්වය.

රඟපාන්න, නළුවෙක් හරි නිළියක් හරි වෙන්න වාසනාවත් තියෙන්න ඕනෑ, ලස්සනත් තියෙන්න ඕනෑ නේද? ඒ ප්‍රමිලාගේ පැනයයි.

ගුරුවරියක් හරි, වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි, නීතිඥයෙක් හරි වෙන්න නියමිත ප්‍රමාණයක්, විෂය නිර්දේශයකවත්, සීමාවක්වත් නෑනේ. නමුත් බොහෝ අය හිතාගෙන ඉන්නේ ලෙහෙසි පහසුම කාර්ය රඟපාන එක කියලා. නමුත් මේ තුළ තියෙන්නේ අධ්‍යයනය කරමින්, කාලානුරූපීව යා යුතු ගමනක්. අනෙක් හැම විෂයයකටම වඩා අමාරු කාර්යයක් තමයි නිර්මාණ කාර්යය. ඉතින් වාසනාවට වඩා මේ කාර්යයේදී අවබෝධ ඥානය තමයි වැදගත්.

ජගත් මාමේ ඔයාට මතකද මම හය වෙනි මාසේ හය වැනිදා උදේ හයට ඔයාට කතා කළා. ඔයා තමයි මම කැමැතිම නළුවා. ඔයාට මම තෑගිත් අරන් ආවා. ඉන්න මම පස්සේ ඒවා ඔයාට දෙන්නම්. යනුවෙන් රේණුකාගේ දියණිය පැවසුවා.

ඔබට ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන්ද? නැවතත් ප්‍රමිලාගෙන් පැනයක්.

‘මෙහෙමයි රඟපානවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්. හරියට දේව කාර්යයක් කියලා කියන්න පුළුවන් ඒ සංකල්පයෙන් බලන අයට. හරියට අවබෝධ නොකරගෙන චරිතයට ප්‍රවිෂ්ට නොවුණොත් නිකන් පෙනී සිටීමක් විතරයි. බොහෝ විට මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ ගන්නවා.

ඔයා එක ප්‍රශ්නයක්වත් ඇහුවේ නෑනේ’ නිහඬව සිටි ප්‍රමෝද්‍යා දෙස බලා ජගත් විමසුවා.

එහෙනම් ජගත් අයියා ක්ෂේත්‍රයේ වඩාත්ම ගරු කරන කෙනා කවුද කියන්නකෝ? එවිට ප්‍රමිලා විමසුවා.

මේ රටේ නිර්මාණ කරන හැම නිර්මාණකරුවෙකුටම ගරු කරනවා. අන්තිමට අපි හැමෝම මනුෂ්‍යයෝනේ. අන්තිමට ඉතිරි වෙන්නෙත් මනුස්සකම විතරයි.

ඔයා වැඩියෙන්ම වැඩ කරන්න කැමැති මොන අධ්‍යක්ෂවරයා සමඟද?මෙතෙක් නිහඬ සිටි සලුසි ඇසුවා.

ඕනෑම කෙනෙක් එක්ක නිර්මාණ කාර්යයකට දායක වෙන්න මට පුළුවන්.

මාමේ ඔයාට ලෝකේ හොඳම නළුවා සම්මානය ලැබෙන විට මොකද හිතුණේ? රේණුකාගේ දියණිය ජයසි ජගත්ට වඩාත් සමීප වෙමින් ආදරයෙන් ඇසුවා. පුතේ, දුවේ රට නියෝජනය කරමින් ඒ වෙලාවේ එතන සිටියේ මමයි, අධ්‍යක්ෂ ප්‍රියංකර විතානාච්චි මහත්මයයි, විමල් දේශප්‍රියයි, අතුල සුල්තාන්ගොඩ යන මහත්වරුන් හා ඒ වෙලාවේ ඒ රටේ සිටින සම්මාන උළෙල නරඹන්න පැමිණි අපේ රටේ අයයි. මගේ නම කියන කොට දැනුණේ ඉන්දියාව වැනි දැවැන්ත සිනමා කර්මාන්තයක් තියෙන රටක අමීර් ඛාන් පවා නිර්දේශ වුණ උළෙලක මට සම්මානය ලැබීම ශ්‍රීී ලංකාව ලද ජයක් විදියට. මේ සම්මානය පුතේ මම තනියම බුක්ති විඳින්නේ නැහැ. එම චරිතය සඳහා මට අවකාශය ලබා දුන් හැමෝටම වගේම එහි අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු දෙනාටම වගේම විශේෂයෙන් අපේ රටටයි මේ සම්මානය අයිති.

රඟපාන්න ගිහින් කරදර, අකරතැබ්බ වෙලා තියෙනවාද සලුසි නැවතත් ඇසුවා.

දවසක් රුපියල් දෙකේ කාසියක් කටට දමන දර්ශනයක් තිබුණා. ඒ දර්ශනය රූගත කරන කොට හැමොම විහිළුවෙන් සිටියේ. රුපියල් දෙකේ කාසිය කටට දානවත් සමඟම මගේ උගුර කෙළවරටම ගිහින් හිර වුණා. මට කතා කරගන්නවත් බැරිව ගියා. නමුත් වටේ හිටපු අය හිතුවේ මම විහිළුවට එහෙම කරනවා කියලා. හැබැයි මේ වෙලාවේ ශබ්දය පටිගත කරන මහේෂ්ට මගේ උගුරෙන් එන අමුතුª හඬ ඇසුන නිසා එක පාරටම පැනලා මගේ පිටට හයියෙන් තට්ටු කළා. මහේෂ් එහෙම නොකළා නම් අද මම මෙතන නැහැ.

අනේ එහෙම නම් වෙන්න එපා. ඒ කතාව අහගෙන සිටි රේණුකාගේ කටකාර දියණිය ඇස්වලට කඳුළු පුරෝගෙන පැවසුවා.

පෞද්ගලික විස්තර ටිකක් කියන්නකෝ? ප්‍රමිලාගෙන් නැවතත් ඉල්ලීමක්.

මට දැං දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. විවාහ වෙලා ඉන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ විජය ධර්ම ශ්‍රී මහත්මයාගේ දියණිය සමඟ.

ඔයාගේ මුල්ම චිත්‍රපටය මොකක්ද? සරත් වඩාත් විමසිල්ලෙන් ඇසුවා.

විජය ධර්ම ශ්‍රී මහත්මයාගේ ගුරු ගෙදර චිත්‍රපටය.

අනේ මාමේ මට ඉස්කෝලේ යාළුවන්ට පෙන්නන්න ඔයාත් එක්ක ෆොටෝ එකක් ගන්න ඕනේ. දඟකාරකමින් වෙලෙමින් පුංචි දැරිය පැවසුවා.

‘ලක් සළුසල’ලබා දෙන තෑගි වවුචර්පත් ජගත් සියල්ගන්ටම ලබා දුන්නේ ජාවත්ත පිහිටි ලක්සළුසලට යන ගමන් මාර්ගය ද විස්තර කරමින්.

රේණුකාගේ පුංචි දැරිය ගෙදර අයටත් හොරෙන් රැගෙන ආ සිහිවටනය ද ජගත් වෙත ලබා දුන්නේ අපමණ සෙනෙහසක් ද එක් කරමින්.

ප්‍රමෝද්‍යාගේ පියා සාදා දුන් වටිනා සෙත් කවියත් රැගත් සන්නසක් ද ජගත් වෙත පිළිගැන් වූයේ නැවතත් දවසක හමුවන බලාපොරොත්තු බොදි බැඳගෙනයි.

ජගත් සිනමවේ හොඳම නළුවා ලෙස කිරුළ පැලැන්ඳූ ආදරණීය නිරහංකාරයෙකුගේ පැමිණීමෙන් ඒකාලෝක වූ තරු මිහිර ගැයුම්, සාද තෙපුල් අතරින් ගලා යද්දී කාලය ගෙවී ගිය ද නික්ම යාමට කිසිවෙකුගේ සිතක් නොවීය.

හමුවීමක් වෙතොත් වෙන්වීමක් ඇතැයි කියන සත්‍යයට මුහුණ දී නැවත මුණ ගැසෙන පොරොන්දුව සිත්හි දරාගෙන සියලු දෙනාම සතුටින් තරු මිහිරෙන් පිටමං වුණා.