වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




අපිට හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා

අපිට හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා

සුවඳ පද්ම උපහාර උළෙල 07 වැනිදා කෘති අටක් ද දොරට වඩියි

සතිස්චන්ද්‍ර එදිසිංහ නම කී පමණින් ඔහු හඳුන්වා දෙන්න විශේෂ අටුවාටීකා අවශ්‍ය වන්නේ නැහැ. ඔහු මෙරට කලා ක්ෂේත්‍රයේ දශක පහක් පුරා විශාල මෙහෙවරක් ඉටු කළ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් මෙන්ම නිෂ්පාදකවරයකුª ලෙසත් කලා ක්ෂේත්‍රයේ ඉහළින්ම නම රැන්ඳු ඔහු කලා ක්ෂේත්‍රයට පා තැබූයේ 1961 වසරේදී ජේ. ඒ. වී. පෙරේරාගේ ‘වෙස්සන්තර’ වේදිකා නාට්‍යයෙන්. 1963 දී සිය ප්‍රථම වේදිකා නාට්‍යය ලෙස ‘බකතපස්’ නිෂ්පාදනය කළ අතර 1973 වසරේදී ‘මාතර ආච්චි’ අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට ද පිවිසියේය. එදා මෙදාතුර විවිධ නිර්මාණ තුළින් සිය ප්‍රතිභාව පෙන් වූ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අද එතැනින් එහාට ගොස් දේශකයකු, ලේඛකයකු ලෙස ද සමාජ මෙහෙවරක යෙදී සිටියි.

ඔහු විසින් රචිත නවතම කෘති පෙළ දොරට වැඩුම සහ සුවඳ පත්ම උපහාර සම්මාන ප්‍රදානය සැප්තැම්බර් 07 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පවත්වන්නට කටයුතු සූදානම්. මේ ඒ ගැන කතා කරන්න වගේම ඔහුගේ නව තොරතුරු විමසන්න සරසවිය ඔහු හමු වූ අවස්ථාවයි.

* මුලින්ම මෙවර එළිදකින්න නියමිත කෘති පෙළ ගැන දැනගන්න කැමැතියි?

මසුරන් ඔවදන්, සතුට ලැබීමට නම්, මිහිමවගේ දායාදය – ආහාර කෘති ඇතුළුව වඳුරු නුවණ, හොඳ පුතා, රත්තරන් දරුවෙක්, එළුවාගෙන් පාඩමක් සහ නරක මිතුරන් පිළිගන්න එපා යන ළමා පොත් පහක් එළිදක්වන්න කටයුතු සූදානම්. සාරධර්ම අධ්‍යාපනය, පරිසරය සහ කෘතවේදීත්වය තේමා කර ගනිමින් ජනතාව දැනුවත් කරන මිහිඳු සංස්කෘතික පදනමේ සිව් වන සංවත්සරය නිමිති කර ගෙනයි මෙය සිදු කෙරෙන්නේ.

* මේ සියල්ලම උපදේශාත්මක ග්‍රන්ථ?

ඔව්. මසුරන් ඔවදන්, සතුට ලැබීමට නම් සහ මිහි මවගේ දායාදය – ආහාර කෘති වගේම ළමා පොත්වලිනුත් සමාජයට දෙන උපදේශ තමයි ඇතුළත් වෙන්නේ. අද සමාජයේ බොහෝ දෙනා ආතතිය, මානසික පීඩනය වැනි දේවලින් පීඩා විඳිමින් සිටින්නේ. ඒ වගේම දියුණු තාක්ෂණයක් පවතින යුගයක විවිධාකාර වැඩසටහන් නිසා සමහර පුද්ගලයන් තම තමන්ගේ හිත් පාලනය කර ගන්න අපහසු වෙලා තියෙනවා. මේ කෘති ඒ සැමට අත්වැලක්.

ඒ වගේම තමයි අපේ මිහිඳු සංස්කෘතික පදනම පිහිටු වූයේ ප්‍රධාන අරමුණු තුනක් පෙරදැරි කරගෙනයි. සාරධර්ම අධ්‍යාපනය, පරිසරය පිළිබඳ දැනුවත් කිරීම සහ කෘතවේදිත්වය ඒ අරමුණු ත්‍රිත්වයයි. මේ කරුණු තුන ගිලිහීම මුළු සමාජයේම පරිහානියට හේතු වෙනවා. අපි වැඩිහිටියන් විදියට ඒ පිළිබඳ සැලකිලිමත්ව හිතලා කටයුතු කළ යුතුයි. මේ ඒ සඳහා වූ පියවරක්.

* ඔබ අතින් මීට පෙරත් මෙවැනි කෘති රැසක් ලියවුණා. මෙවැනි වූ කාර්යයක් වෙනුවෙන් මූලික වූ විශේෂ හේතුවක් තියෙනවාද?

ඇත්තටම මෙය සමාජ සේවා කටයුත්තක්. අපේ තාත්තාගෙන් ලැබුණු ආභාසය තමයි මෙයට මූලික වුණේ. මෙය වැඩිහිටියන් ලෙස අපි හැමෝටම පැවරෙන වගකීමක්. වසර කිහිපයකට පෙර මගේ මිත්‍රයෙක් වන කරූ හීනටිගල මට ඇගලුම් ක්ෂේත්‍රයේ සේවය කරන දරුවන් වෙනුවෙන් දේශනයක් කිරීම සඳහා ආරාධනා කළා. එය සාර්ථකව කරගෙන යන විට මට හිතුණා සමාන්‍ය ජනතාවට සාර්ථකව යහපත් ජීවිතයක් ගත කරන්න හැකි වන අන්දමේ උපදෙස් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව 2002 වසරේදී තමයි මා ලේඛන කලාවට පිවිසියේ. යහපත, ජීවිතය දෙස නව නෙතකින්, සාර්ථක ජීවිතයකට සාරවත් සිතිවිලි, නායකත්වය, කළ ගුණ, ආදරය සහ විවාහය වැනි කෘති රැසක් මේ වන විට රචනා කර තියෙනවා. ඒ හැම පොතකින්ම සමාජයට යහපත් පණිවුඩ තමයි ලබා දෙන්නේ.

* මෙවර එළි දකින කෘති අතර ‘මිහිමවගේ දායාදය – ආහාර’ නමින් කෘතියක් තියෙනවා. මෙවැන්නකින් ඔබ අදහස් කරන්නේ?

මේ කෘතියෙන් කියවෙන්නේ දේශීය ආහාරයේ පණ ගුණ පිළිබඳවයි. මෙහි එළවළු, පළතුරු වගේම තනªපහ වර්ග ගැනත් විස්තර කරලා තියෙනවා. මේ පොත සඳහා සංස්කරණ සහාය සහ උපදේශනය ලබා දෙන්නේ ආචාර්ය පියසිරි අමිලසිත් යාපා විද්වත් හිතවතා විසින්. අද බොහෝ දෙනා කෙටි ආහාර ක්‍රමවලට යොමුවෙලා තියෙන්නේ. ඒවා මඟින් කිසිම ගුණයක් සිරුරට ලැබෙන්නේ නැහැ. නමුත් නැවුම් එළවළු, පළතුරු ඉතාම ගුණදායකයි. එහි ඇති පෝෂ්‍ය ගුණයන් වගේම ඒවා මඟින් දුරු කෙරෙන රෝග පිළිබඳවත් සඳහන්. සියලුම දෙනා ඒ පිළිබඳව දැනුවත් වීම නිරෝගීමත් ජීවිතයකට උපකාර වෙනවා.

අපේ කතාබහ අතරතුරේදී අප වෙනුවෙන් තේපැන් සංග්‍රහයක් සූදානම් කර එතැනට පැමිණියේ මේ කලාකරුවාණන්ගේ ප්‍රිය බිරියයි. ඇය ශ්‍රියා එදිරිසිංහ. ඔහුට ශක්තියක්ව ඔහු ළඟින්ම සිටින්නී ඇයයි. මේ අවස්ථාව ඇයගෙන් තොරතුරු බිඳක් විමසන්නයි.

* ඔහු රංගන ශිල්පිියෙක්. නිෂ්පාදකයෙක්. අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම ලේඛකයෙක්. මේ කාර්යබහුල කලාකරුවාගේ බිරිඳ ලෙස ඔබට ජීවිතය දැනෙන්නේ?

ඇත්තටම ඉස්සර ඔහු රංගන කටයුතුවල කාර්යබහුල වෙලා සිටින කාලේ මම තමයි නිිවසේ සියලු කටයුතු සොයා බැලුවේ. ජීවිතය ගැන හරිම සතුටුයි. දැන් ඔහු ලේඛන කටයුතුවල නිරතව සිටිනවා. මම ඒ කිසිවකට බාධාවක් නොවන්න වගබලා ගන්නවා. ඔහු ලියන කෘති මට බලන්න දෙනවා. මම ඒවා බලලා අඩුපාඩු දැක්කොත් ඒවා පෙන්වලා දෙනවා. සතිස් කියන්නේ සරල සාමාන්‍ය විදියට බොහොම සැහැල්ලුවෙන් ජීවත්වෙන පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳවීමට ලැබීම මට ආඩම්බරයක්. අපේ විවාහ දිවියට දැන් වසර හතළිස් හයක් වෙනවා.

* ඔබ දෙදෙනා මුලින්ම හමුවන කාලයේදී ඔබ නිළියක්?

සතිස් අයියා මට හමු වුණේ පාසලේදීමයි. පාසලේදී ඔහු අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යවලට මම රංගනයෙන් දායක වුණා. ඊට පසුව රංගනය සඳහා මම එතරම් උනන්දුවක් වුණේ නැහැ. ඒ වුණාට ඔහුගේ නිර්මාණවල ප්‍රඩක්ෂන් බලා ගත්තේ මම. නිෂ්පාදන අංශයේ සියලු කටයුතු හැම දෙයක්ම මම අඩුපාඩු නැතුව බලා ගන්නවා.

* දරු මුනුපුරන් ගැනත් සඳහන් කරමු?

ලොකු පුතා උදය එදිරිසිංහ. ඔහුගේ බිරිඳ දසන්ති. ලොකු පුතාට රවිඳු සහ කුෂිණි කියලා දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දෙවැනියා දුව ශෂිණි. අපේ බෑනා රනිල් නාවාන. ඒ දෙන්නට ඉන්නේ දුවලා දෙන්නෙක්. නේහා චේතා. අපේ බාල පුතා උදාර එදිරිසිංහ. එයා නම් නාට්‍ය හතරක විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. එයාගේ බිරිඳ නිසංසලා. ඒ දෙන්නටත් සිනෙත් සහ සිනෝලි කියලා දුවකුයි පුතෙකුයි ඉන්නවා. අපේ දුවයි පොඩි පුතයි දැනට පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ලොකු පුතා ලංකාවේ අපිත් සමඟ සිටිනවා. අපි පුළුවන් වෙලාවට ඔස්ට්‍රේලියාවට ගිහින් එනවා. දරු මුනුපුරන් සමඟ ගෙවන ජීවිතය හරිම සුන්දරයි.

* ලේඛන කලාවට කාලය යෙමු කිරීම නිසා දැන් රංගන කටයුතුවලින් බැහැර වෙලාද? මම නැවතත් හැරුණේ අපේ ඒ විශිෂ්ට කලාකරුවා දෙසටයි.

රංගන කටයුතුවලින් ඈත්වෙලා නැහැ. මේ දිනවලත් ටෙලි නිර්මාණ දෙකකට දායකත්වය ලබා දෙනවා. නමුත් දැන් සිදු කෙරෙන නිර්මාණ ගැන නම් එතරම් පැහැදීමක් නැහැ. ඒ වගේම අපෙන් සමාජයට ඉටු විය යුතු වගකීම් තියෙනවා. මම පොත්පත් කියවලා ලබන දැනුම අනිත් අය සමඟ බෙදා හදා ගන්නයි ලේඛන කලාවට යොමු වුණේ.

* ඔබ විසින් රචිත කෘති පෙළක් දොරට වඩින මේ අවස්ථාවේ සමාජයට ඔබ දෙන පණිවුඩය?

මම විශේෂයෙන්ම කියන්නේ අපට හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපි පුංචි කාලෙම ඉගෙන ගන්නා හැටි ඉගෙන ගත්තා. ඒ නිසා අදටත් මම ඉගෙන ගන්නවා. අද බොහෝ දෙනා ඉගෙන ගන්නවා විතරයි. ඉගෙන ගන්නා හැටි ඉගෙන ගන්නේ නැහැ. ඒ වගේම තමයි රංගන ක්ෂේත්‍රයෙත් ඒ ගැන හරියට හදාරන්න ඕනෑ. රංගනය සඳහා එහි ලොජික් එක දැනගන්න ඕනෑ. චරිත හොඳට අධ්‍යයනය කරන්න ඕනෑ. එහෙම වුණොත් තමයි සාර්ථක නිර්මාණ එළි දකින්නේ.

කළ මෙහෙවරට පිදෙන උපහාර

මිහිඳු සංස්කෘතික පදනමේ සිව්වන සංවත්සරය නිමිත්තෙන් කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් විසින් රචිත නව පුස්තක දොරට වැඩුම සහ සුවඳ පත්ම උපහාර සම්මාන ප්‍රදානය මහාචාර්ය ජේ. බී. දිසානායකගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 07 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

රට දැය වෙනුවෙන් කළ මෙහෙවරට පිදෙන සුවඳ පත්ම උපහාර සම්මාන ප්‍රදානයේදී ප්‍රවීණ කලාකරුවන් වන පියරත්න හේවාබටගේ, විමල් ජයවර්ධන, චන්න විජේවර්ධන, රෝහණ බැද්දගේ, විජේරත්න වරකාගොඩ, සිරිල් ධර්මවර්ධන, සෝමවීර සේනානායක සම්මානයට පාත්‍ර වේ.