වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මෙගා කිව්වාට මෙගාම නෙවෙයි

මෙගා කිව්වාට මෙගාම නෙවෙයි

ස්වර්ණවාහිනියේ අලුත් ටෙලි නාට්‍ය ගැන උණුසුම් කතාබහක්

Commander of Set

මෙගා ටෙලි නාට්‍ය ගැන ඇතුල් පැත්ත

දියවන්නා ඔයේ සන්සුන් දියවර එකවරම ප්‍රචණ්ඩ වුණේ දියවර මත ගැටිච්ච ආගන්තුක වියළි සුළං රැල්ලෙන්. දවල් දවස තිස්සෙම අව්වත් එක්ක පොර බදල සිහිල් වෙන්න වෙර දරණ කොන්ක්‍රිට් බංකුව උඩට වෙලා මේ කතාව කොතනින් පටන් ගන්න ද කියලා දෙවතාවක් හිතන්න ඉඩක් නෑ.

‘අපි මෙගා ගැන කතා කරමු’

මං මුලින්ම ඇහුවා ප්‍රශ්නයක්.

ඔහු බලන් හිටියේ ඈත පියාඹන්න ඉගෙන ගන්න සේරු රෑන දිහා.

‘මෙගාත් හරියට අන්න අර වගේ’

දියට වැටිච්ච කුරුලු පැටියෙක් පෙන්නන ගමන් ඔහු කිව්වා.

‘ඒ කිව්වෙ’

මෙගා කියන්නේ මගේ ජීවිතේ හොඳ පෙරහුරුවක්.

මේ කතාවට එකතු වුණේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ නම ගිය කෙනෙක්. දමින්ද මඩවල. ලංකාව් සහාය අධ්‍යක්ෂවරු අතර ඔහු තමයි ඉහළින්ම ඉන්නේ. ඒක බය නැතුව ලියලා තියන්න පුළුවන්. දමින්ද අළුතින් ටෙලියක් කරන්න පටන් ගත්ත කිව්වම මට දැනුණේ ආගන්තුක හැඟීමක්. මොකද හම්බවුණු හැම වෙලාවෙම මේ හාදයා කතා කළේ ෆිල්ම්ස් ගැන.

‘දමින්ද මොකද එක පාරටම ටෙලියක් කළේ?

චිත්‍රපටයක් කරන්න තමයි හිත තිබුණේ. ඒත් කවුද චිත්‍රපටයක් කරන්න එක පාරටම සල්ලි දෙන්නේ. ටෙලියක් කරලා ජනප්‍රිය වෙලා නිෂ්පාදකයව ගොඩ දැම්මොත් ඊළඟට චිත්‍රපටයකට සල්ලි හොයා ගන්න පුළුවන්. ටෙලි නාට්‍ය කියන්නේ ඉක්මනට සල්ලි ලැබෙන ව්‍යාපාරයක්. චිත්‍රපටයක් කරල ඒක සල්ලි කර ගන්න කොච්චර කල් බලන් ඉන්න ඕනෑද? මේ හේතු නිසා තමයි ටෙලියක් කරන්න හිතුවේ.

උත්තරේ දෙනවාත් සමඟ දමින්දගේ මුහුණේ ඇඳුණේ අව්‍යාජ හිනා රැල්ලක්.

‘ඉතිං මොකද මේ නාට්‍යයට ‘මෙගා’ කියලා නම දැම්මේ. මං ඇහුවේ හිනාවට ඉඩ හරිමින්.

‘මේ ටෙලි නාට්‍යය ඇතුළෙ කතාබහට ලක් කරන්නේ ටෙලි නාට්‍යයක් කරන කණ්ඩායමක් ගැන. පොදුවේ ගත්තම කලා ක්ෂේත්‍රයේ විවිධ තැන් ගැන මේ කතාවේ සාකච්ඡාවට බඳුන් වෙනවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ ඇතුළු තැන් ගැන උපහාසාත්මකව විෙවිචනය කිරීමකුත් වෙනවා. මේ නාට්‍යයේ චරිත තුළ මා ඇතුළු කලාවට සම්බන්ධ හැම දෙනාම ඉන්නවා.

මෙගා වගේ වැඩකට අදහස ආවේ කොහොමද?

ඇත්තටම මේක රූපවාහිනී නාලිකාවක තෝරා ගැනීමක්. එක්තරා රූපවාහිනි නාලිකාවකට ටෙලි නාට්‍යයක් සඳහා කතා සංකල්ප තුනක් අප රැගෙන ගියා. ඒ කතා තුනම අසංක සායක්කාරගේ. ඒ නාලිකාව තෝරා ගත්තේ මේ කතා සංකල්පය . එ නිසා අප ඊට සුදානම් වුණා.

ඒ කියන්නේ දමින්ද මේක ඉල්ලුමට කරන සැපයීමක් මිසක් ස්වාධීන නිර්මාණයක් නෙවෙයි?

නැහැ. මේක ස්වාධීන නිර්මාණයක්. නමුත් ටෙලි නාට්‍ය කරද්දී ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. බෙල්ට් එකක්, ස්පොන්සර් කෙනෙක් මේ වගේ මූල්‍යමය වගේම ප්‍රායෝගික කාරණාත් නිර්මාණවලට බලපෑම් ඇති කරනවා. නමුත් ‘මෙගා’ අපි කරන්නේ ස්වාධීන නිර්මාණයක් විදියට.

දැන් මෙගා කොටස් කීයක් කරලා තියෙනවාද?

කොටස් 10 යි. ඒ කොටස් දහය ඉතාමත් සාර්ථකව නිමා කරන්නට අපට හැකි වුණා.

ආයෙමත් රාස්සිගේ අව්ව. දියවන්නාවේ දිය තලය දැන් රන් තැඹිලි පාටයි. මෙගා ගැන තව ප්‍රශ්න ඉතිරියි.

මෙහෙම බැලුවම මෙගාත් මෙගා එකක්නෙ?

‘නැහැ . . . මෙගා කොටස් 40 කින් ඉවර කරන්න තමයි බලාපොරොත්තුව.

ඒ වුණාට දමින්ද නාලිකාව මේක කොටස් 200 ක් කරමු කිව්වොත්?

නැහැ. වැඩිම කොටස් පනහයි. ෂුවර් . . . ඒක . . .

දමින්ද කාවද මේ නාට්‍යයෙන් ඉලක්ක කළේ?

ගුණදාස කපුගේ සන්ෆ්ලවර්ස්ලා එක්ක කැසට් එකක් කළා මතක ඇතිනෙ. ඔහුගේ සින්දු ඇහුවේ නැති අහන්න හිතන්නෙවත් නැති පිරිසක් සන්ෆ්ලවර්ස් කැසට් එක ඇහුවා. කපුගේ දැනගෙන හිටිය පිරිස කපුගේගෙ සින්දු මොනවද කියල දැනගත්තා. ඒ වගේ මමත් ලංකාවේ හැම ප්‍රේක්ෂක කණ්ඩායමක්ම ඉලක්ක ගත කරනවා. මගේ නාට්‍යය හැමෝම බලනවානං මං කැමැතියි.

හරි . . . දමින්ද දැන් අධ්‍යක්ෂවරයෙක්. නමුත් ඔබ ප්‍රසිද්ධ සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට. මේ නාට්‍යයෙන් කලාව විවේචනය කරලා ෆීල්ඩ් එකේ වැඩ කරන්න පුළුවන් වෙයිද?

දැනටත් තැන තැන කසුකුසු යනව කියලා ආරංචියි. ඒත් මං මේ කතා කරන්නේ ඇත්ත තත්ත්වය. මං විවේචනය කළ යුතුª තැනුයි විවේනය කරන්නේ. අනෙක සහාය අධ්‍යක්ෂ කියන්නේ මගේ වෘත්තිය. සහාය අධ්‍යක්ෂවරයා කියන්නේ අධ්‍යක්ෂවරයාට ආවතේව කරන, අධ්‍යක්ෂවරයාට දෙවනුව ඉන්න කෙනෙක් නෙවෙයි. සහාය අධ්‍යක්ෂකවරයාට පැවරෙන වෙනම රාජකාරි කොටසක් තියෙනවා. ඒ නිසා මගේ වෘත්තියට මේ නිර්මාණය බාධාවක් නොවේවි කියලා මං හිතනවා. අනෙක සහාය අධ්‍යක්ෂවරයාට පිටරට භාවිත කරන්නේ ‘කමාන්ඩර් ඔෆ් සෙට්’ කියලා. ඒක වෙනම තනතුරක්.

හරි . . . අපි හිතමු දමින්දට මින් පස්සේ එක වැඩක්වත් ආවේ නෑ කියලා?

එහෙම වුණොත් ඉතිං ඉඩකඩං බලාගෙන සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා. එහෙම ඉන්නත් මට පුළුවන්.

ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවර නෑ?

ස්ථාවරයි. පැරැණි කලාකරුවෝ තමයි ප්ලෑනක් නැතුව වැඩ කළේ. අලුත් පරම්පරාව හැම දේම කරන්නේ ප්ලෑනක් ඇතුව. මටත් ප්ලෑනක් තිබෙනවා. මං වැඩ කරන්නේ ඒ ප්ලෑනට.

මෙගා මිනිස්සු පිළිගනීවිද?

මේ බෙල්ට් එකේ විකාශය වුණේ යාය හතර. ඒ ටෙලි නාට්‍යය හොඳට මිනිස්සු බැලුව නිර්මාණයක්. ඒ පිරිස වගේම තවත් අලුත් පිරිසකුත් මේකට එකතු වේවි.

මේ ජනප්‍රියත්වයත් එක්ක මෙගා එකකට ආරාධනා ලැබුණොත්?

මෙහෙමයි . . . නිර්මාණය මෙගා ද නැද්ද කියන එක නෙවෙයි. නිර්මාණයේ ගුණාත්මක බව තමයි වැදගත්. මෙගා එකකට අත ගහන්න මගේ අදහසක් නැහැ.

චිත්‍රපටයක් කරන්න අදහසක් නැද්ද?

මුලින්ම තිබුණේ ඒ අදහස තමයි. තාමත් චිත්‍රපටයක් කිරීම ප්‍රමුඛ බලාපොරොත්තුවක්. ඒ ආසාව නිසාම මගේ අතින් වියදම් කරලා චිත්‍රපටයට ගීත දෙකකුත් හැදුවා. මගේ තිර පිටපත ළමා චිත්‍රපටයක්, රජ කතා, බෞද්ධ කතා, දැන් ළමා කතා මේ රැල්ලට මගේ කතාවත් අහුවේවි කියලා හිතේ චකිතයකුත් තියෙනවා. ඒ නිසා මගේ පිටපත වෙනස් කර ගන්නත් හිතේ තියෙනවා.

හොඳ කලාත්මක නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?

ඉදිරියේදී ටෙලි නාට්‍ය කරන්න හිතක් නැහැ. මෙතනින් පස්සේ මොනව වේවි ද කියලා මං දන්නේ නැහැ.

දැන් අඳුර වැටෙන්නත් ළඟයි. දියවන්නාවේ මැද දූපතේ නවාතැන කර ගත්ත කොක්කු රෑන නවාතැන සොයාගෙන ඇවිත්. දැන් අපි සමුගත යුතුයි.

දමින්ද, හෙට මේ රටේ කලාකරුවෙක් විදියට ඔබ පිළිගන්නවද?

ඔව්. මං ගැන මට තක්සේරුවක් තියෙනවා. මගේ නිර්මාණය දැන් විකාශය වෙනවා. මගේ රසිකයෝ දැන් මාව දන්නවා.