වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




‘බයිට්’ වැඩ සටහනක් නිසා මිහිර සිරිතිලක පැහැරගෙන

‘බයිට්’ වැඩ සටහනක් නිසා මිහිර සිරිතිලක පැහැරගෙන

පොලීසියටත් පැමිණිළි කළා

මිහිර සිරිතිලක අමිහිරි අත්දැකීමක් විඳලා. සිද්ධිය කොච්චර දරුණු ද කියලා කිව්වොත් ඔහු ඒ ගැන පැවසුවේ හරිම කම්පනයෙන්.

මට ඒක නැවත නැවත මතක් කරන්නත් අමාරුයි. මං මේ කල්පනා කරන්නේ මං වගේ සංවේදී, කාටවත්ම කරදරයක් නැති කලාකරුවන්ට මෙහෙම කරන්නේ ඇයි කියලා.

මොකක්ද මිහිර සිද්ධ වුණේ?

ඔන්න මීගමුවෙ තිබුණා මගේ මිත්‍රයකුගේ මියුසික් වීඩියෝවක රූගත කිරිමක්. මමයි එයට දායක වූ අනෙක් පිරිවරයි ඒ කර්තව්‍යය නිම කරලා අප නතර වෙලා හිටිය හෝටලයෙන් වාහනයක නැගලා එළියට එන්න හැදුවා විතරයි කළු පාට ලොකු ජීප් එකක් දඩස් ගාලා අපේ වාහනය හරස් කරලා නැවැත්තුවා.

ඊට පස්සේ?

ඒකෙන් බැහැලා ආවා හතර පස් දෙනෙක්.

‘අපි ලීසිං එකෙන්. මේ වාහනේ ලීසිං ගෙවලා නැහැ. බහිනවා සේරමලා.’

ඔවුන් එහෙම තර්ජනය කළා. රියදුරා පුන පුනා කිව්වත් මේ වාහනය ලීසිං කරපු එකක් නෙවෙයි, මේක වැරදීමක් කියලා, ඔවුන් ඒක ගණන් ගත්තේ නැහැ.

‘මේ වාහනයේ ඉන්නේ ආටිස්ලා. අපිට ඉක්මනට යන්න ඕනේ’

ඩ්‍රයිවර් බැගෑපත්ව එහෙම කිව්වා.

ආ . . . ආර්ටිස්ලා ඉන්නවා නම් ගොඩක් හොඳයි. අපිත් මේ එහෙම අයව තමා හොය හොය හිටියේ.

එතන සිටි කෙනෙක් වාහනය ඇතුළට මුහුණ දැම්මේ එහෙම කියාගෙන. ඔහු මාව දැකලා වාහනයෙන් බහින්න අණ කළා.

ඔයාලගෙ ලීසිං ප්‍රශ්නවලට අපි පළි නැහැනෙ මහත්තයෝ. කරුණාකරලා අපිට යන්න දෙන්න. පස්සේ ඕවා විසඳ ගන්න.

මං එහෙම කිව්වට ඔවුන් මාව ශත පහකටවත් ගණන් ගත්තේ නැහැ.

වරෙන් යන්න කියලා මාව ඔවුන්ගේ ජීප් එකට නග්ග ගත්තා.

ඔබට ඒ වෙලාවේ මොකද හිතුණේ?

ඇත්තටම මට දෙවියෝ සිහිවුණා. පවුලේ අයව මතක් වුණා.

ජීප් එකේ ඉස්සරහ හිටියා කෙනෙක්. ඔහු මා දිහා බලලා සින්දුවක් කියන්න කිව්වා. ඔහු පාතාලෙ කෙනෙක් වග පැවසුවා. මං හොඳටම බය වුණා. මගෙන් සල්ලි තියෙනවද ඇහැව්වා. රූගත කිරීම් කරද්දි මං සාමාන්‍යයෙන් සල්ලි ගෙනි යන්නේ නැහැ. ඔවුන් මට සම්ච්චලයට හිනා වුණා.

උඹලා ආටිස්ලා නේද, බැලුවාම මහ හිඟන්නොනේ. තව එකෙක් මගේ සාක්කු ඇද්දේ එහෙම කියාගෙන. මංගේ ජංගම දුරකතනය තව කෙනෙකුට අහු වුණා. ඔහු එවලෙම මගේ නෝනට දුරකථන ඇමතුමක් ගත්තා.

මොනවද ඔවුන් ඇයට කිව්වේ?

එවලෙම විසිපන්දහසක් එකවුන්ට් එකක් කියලා ඒකට දාන්න කියලා ඇයට තර්ජනය කළා.

ඔබ එවලේ මහත් වූ කම්පනයකට පත්වන්නට ඇති නේද?

මට වයිෆ් ගැන හරියට දුක හිතුණා. තමන්ගේ මහත්තයා පැහැරගෙන යද්දී ඇයට මොනවා හිතෙන්නට ඇත්ද?

ඔවුන් ඔබව ගෙනිච්චේ කොහෙටද?

මීගමුව කොච්චිකඩේ මුහුදුබඩ ජනාකීර්ණ පාරක් ළඟ වාහනය නතර කළා. ඒ වන විට ඔවුන් මට සෑහෙන්න වද දුන්නා. මට වාහනයෙන් බැහැපන් කිව්වා. බැහැලා ඇවිත් පාරේ මැද දණ ගහන්නට අණ කළා. පාර මැද දණ ගැහැවවා. අත් දෙක වැඳගෙන ඉන්න විදිහට තියාගන්න කියලා එක් කෙනෙක් කිව්වා. මං එහෙම තියාගෙන සෑහෙන්න වෙලා හිටියා. මාව අඳුර ගත්තු අවට ප්‍රදේශවාසීන් මට හිනා වෙවී යනවා. ඇත්තටම මට දැනිච්ච ලැජ්ජාවේ තරම . . .

ඒ අතරතුරදී ඔවුන් මට ගීත ගයන්නලු. අනේ මන්දා මං ඒකත් කළා.

ඉතිං ඊට පස්සේ?

එක පාරට එතැනට ආවා සුදු පාට වෑන් එකක්. ඒකෙන් බැහැලා ආවේ ප්‍රසිද්ධ රූපවාහිනී චැනල් එකක නිෂ්පාදකවරයෙක්. ඔහු කිව්වා මේ අහවල් බයිට් වැඩ සටහනයි. එයට අසු වූයේ මිහිර සිරිතිලකයි කියලා. එතකොටයි මං දන්නේ මේක ටී. වී ප්‍රෝගෑම් එකක් කියලා. මං මෙච්චර වෙලා කරපුවා රූගත කරලා.

ඔබට දැනුණේ කුමක්ද?

මට පුදුම විදිහට කේන්තියි. බැරි වෙලාවත් මට ප්‍රෙෂර් තිබිලා මං මළා නං, මගේ අම්මා මාව පැහැර ගත්තු වෙලේ දැනගෙන ඇයට මොනව හරි වුණා නම්, මගේ බිරියට අතුරු ආන්තරාවක් වුණා නම් කවුද ඒවට වගකියන්නේ. ඇයි මෙතරම් පහත් තත්ත්වයට මාධ්‍ය වැටෙන්නේ. මොකක්ද ඔවුන් අපිට මේ වගේ දේවල් කරලා ලබන වින්දනය.

දැන් ඔබ මොකද කරන්න හිතාගෙන ඉන්නේ.

ගිය ඉරිදා ඔය සිද්ධිය වුණේ.

දවස් කිහිපයක් මං බලාගෙන හිටියා. මට චැනල් එකෙන් කවුරුත්ම කතා කළේ නැහැ. මං පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. මං මේ ගැන දැඩිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා.