වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




තමිල්නාඩු කලාකරුවනි එන්න ‍‍සහය දකින්න

තමිල්නාඩු කලාකරුවනි එන්න ‍‍සහය දකින්න

නිළි රැජන මාලිනී ෆොන්සේකාගෙන් ඉල්ලීමක්

අද අධිෂ්ඨාන පූජාවට රොක්වන්න

තමිල්නාඩු සියලු කලාකරුවන් ශ්‍රී ලංකාවට එරෙහිව දක්වන විරෝධතාවට පිළිතුරක් වශයෙන් මෙරට කලාකරුවන් පවත්වන අධිෂ්ඨාන පූජාවක් මෙම මස 11 වැනිදා එනම් අද හවස 4.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදි පැවැත්වේ. මේ සඳහා සම්පූර්ණයෙන් සුදුවතින් සැරසී අප රටට පවතින මෙම බාධාවන් ඉවත්වන ලෙසට ප්‍රාර්ථනා කිරීමේ අධිෂ්ඨාන පූජාවට පැමිණෙන ලෙස සියලු කලාකරුවන්ට සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් කරයි. අද මෙරට සියලු චිත්‍රපට, ටෙලි නාට්‍ය රූපගත කිරීම් අත්හිටුවීමට නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු සහ රංගන ශිල්පීන් තීරණය කොට ඇත.

පසුගිය සති කිහිපය තුළ මෙරට සිනමා රසික රසිකාවන් අතර කතාබහට ලක්වූයේ දකුණු ඉන්දීය නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් රැසක් ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක නියැලුණු වගයි. එය තමිල්නාඩුවේ ඇති චිත්‍රපට දේශපාලන ක්ෂේත්‍රයේ එක් පියවරක් ලෙස සලකා ඉවත දැමිය යුතු කරුණක් වුවත් මෙරට සහ තමිල්නාඩු සිනමාව අතර ඇති සබඳතාවය සිහිපත් කළ යුතුය. එය අතිශය දැවැන්ත මිත්‍රත්වය ලංකාවේ මුල්ම චිත්‍රපටය තැනුවේද ඉන්දියාවේ මදුරෙයි නගරයේය. එමෙන්ම මුල් අවධියේ සිංහල චිත්‍රපට අධ්‍යක්ණය කළ කේ. සුබ්‍රමානියම්, ටී.ආර්. සුන්දරම්, ක්‍රිෂ්ණාරාම්, පී. නීලකන්ටන්, කේ. වෙම්බු, ඒ.පී. නාගරාජන්, කේ. ශංකර් වැනි සිනමාකරුවන් දමිල සිනමාවේ පතාක යෝධයන් පිරිසකි. අදටත් තමිල්නාඩුවේ ජීවත්වන ඒ.බී. රාජ්, කේ. ඒ. සේතු මාධවන් සිය මුල්ම චිත්‍රපට නිර්මාණය කළේ සිංහලෙනි. දකුණු ඉන්දියාවේ සුපිරිම නළුවා ලෙස වැජඹූ එම්.පී. රාමචන්ද්‍රන් උපන්නේ මහනුවරය.

ඔහුගේ සිනමා ගමනට මහත් උපකාර වූ චිත්‍රපටයක් වන වේලක්කාරි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඒ.එස්.ඒ. සාමි ලංකාවේ උපන්නෙකි. එපමණක් ද නොව දෙමළ සිනමාවේ සම්භාවනීය සිනමාකරු බඳු මහේන්ද්‍රන් ද ශ්‍රී ලංකාවේ උපන්නෙකි. පනහ දශකයේ ජනපි‍්‍රය නිළි නවමණි දේවි නළු ක්‍රිෂ්ණන්, චන්ද්‍ර බාබු යන මේ සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝය. වසර තිස් පහකට පමණ පෙර ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර තැනූ දැවැන්තම චිත්‍රපටය වන පයිලට් ප්‍රේමනාත් හි ප්‍රධාන නිළිය වූයේ මාය. සිවාජි ගනේෂන් මාගේ පෙම්වතා විය. එය වාර්තා වාර්තා තබා ඉන්දියාවේ තිරගත වද්දී එරට රසිකයන්ට මා පෙම්වතා විය. ශ්‍රී ලාංකිකයකු වීම වරදක් නොවීය. ඒ අවදියේ එම්.ජී.ආර්.අපේ හොඳ මිත්‍රයෙක්ව සිටියේය. මේ හැරත් විජය කුමාරතුංග රඟපෑ නැංගුරම්, ගීතා කුමාරසිංහ රඟ පෑ රත්තනින් රත්මේ, ගාමිණී ෆොන්සේකා රඟපෑ නීීල කඩලින්, බේරුන් තිලෙයි. ඉලෙපි නීීලා, රොබින් ප්‍රනාන්දු රඟපෑ වාසන්තවිල් ඔරු වාන විල් ඉන්දියාව සමඟ මෙරට අතර තැනුන චිත්‍රපට අතර මගේ මතකයේ ඇත.

අපේ සිනමාවේ තාක්ෂණය වෙනුවෙන් මුල් යුගයේ වාහිනී, මෝඩර්න්, නෙප්චුන් වැනි චිත්‍රාගාර සහාය වූවා සේම අදවන විටත් චෙන්නායි පිහිටි ප්‍රසාද් සහ ජෙමිණි යන චිත්‍රාගාරවලින් ලැබෙන සහය සුළුපටු නොවේ. ඒවායේ ඇතැම් කාර්මික ශිල්පීන් “සරසවිය” සම්මාන උළෙලයන්හි සම්මානයට පාත්‍ර වීමේදී අත් පොලසන් දෙනුයේ ශ්‍රී ලාංකිකයන්ය.

ඒ එදාය.

වර්තමානයේ මේ සියල්ල වෙනස් අතට සිදුවෙමින් පවතියි. තමිල්නාඩුවේ දේශපාලනය පසුගිය දශක ගණනක සිට මෙහෙය වූයේ සිනමාව මගිනි. වෙනත් රටවල බිහිකරනුයේ දේශපාලන සිනමාකෘති වුවද තමිල්නාඩුවේ පැත්තේ සිනමාරූපි දේශපාලනයක් බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති. වර්තමාන මහ ඇමතිනිය ජයලලිතා ජයරාම් කළක් ජනපි‍්‍රය නිළියක්ව සිටියාසේම තමිල්නාඩුවේ විපක්ෂ නායක එම්.කේ. කරුණානිධි ඇයට මෙන්ම සිනමාවේ ඇගේ පෙම්වතා වූ එම්.ජී.ආර් ගේ ජනපි‍්‍රයත්වයට මඟ පෑදූ චිත්‍රපටවල තිරකතා රචකයාය. ඔවුන් දෙදෙනාම එකිනෙකට තරගයට මෙන් ඉදිරිපත් වී ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා විරෝධය ඇත්තටම බරපතල ඛේදජනක තත්ත්වයකි. තමිල්නාඩු චිත්‍රපට නළු නිළි සංගමයේ සභාපති ආර්. සරත් කුමාර් රඟපෑමට ඇලුම් කළ අවධියේ දෙමළ සිනමාවේ කිසිවකුගෙන් ඔහුට රඟපාන්න අවස්ථාවක් දුන්නේ නැත. එබැවින් චිත්‍රපටයක රංගනයට අවස්ථාව ඉල්ලමින් ඔහු මගේ නිවසට පැමිණි අයුරු මට මතකය. එයට හොඳම සාක්ෂිය සරත් කුමාර් නම් තරුණයා කැඳවාගෙන ආ ශ්‍රී ලාංකිකයකු වූ ටී අර්ජුනය.සරත් කුමාර් සම්බන්ධ ව්‍යාපාර අදටද ලංකාවේ ඇත. ඔහුගේ බිරින්දෑ රාධිකා, සරත්කුමාර්ගේ මව සිංහල කාන්තාවකි. නෑනා ජනප්‍රිය නිළි නිරෝෂා ඉගෙනුම ලද්දේ කොළඹය. රජිනිකාන්ත් වසර ගණනකට පෙර තිරගත වූ තී චිත්‍රපටය රූපගත කිරීමට මෙරටට පැමිණි අවස්ථාවේදි ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය පිළිබඳ මහ ඉහළින් කතා කළා මතකය. තමිල්නාඩුවේ ලංකාවට එරෙහිව කතාකරන නව පරපුරේ නළු විජයගේ බිරියද ශ්‍රී ලාංකේය කාන්තාවකි

තමිල්නාඩු ඇතැම් මාධ්‍ය හෝ දේශපාලකයන් කියනවාට වඩා සුබදායි පරිසරයක් මෙහි ඇති බව කිව යුතුය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිට පුනරුත්තාපනය වී සෙල්වම් චිත්‍රපටයේ රඟපෑ ගෝකුලන් අද මෙරට ජනප්‍රිය නළුවෙකි. තවත් දමිළ නළුවෙකු වූ දර්ශන් ධර්මරාජ් සම්මානනීය මෙන්ම ජනප්‍රිය තරුණ නළුවෙකි.යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ඇති කළ වේගවත් සංවර්ධනය සමඟ ඇතැම් නගරයන්හි ඉදිවූ සුඛෝපබෝගි සිනමා ශාලාවල දර්ශනය වනුයේ තමිල්නාඩු චිත්‍රපට විනා ශ්‍රී ලාංකික චිත්‍රපට නොවේ. නගරයේ පවා තිරගතවන තමිල්නාඩු චිත්‍රපට නරඹන්න රොක් වනුයේ ජාති භේදයකින් තොරවය. එල්.ටී.ටී.ඊ.යේ මුලාවට හසුවී සිටි බොහෝ තරුණ තරුණියෝ අද කලාවෙන් මෙන්ම විවිධ සංස්කෘතික අංගවලින් ඉදිරියට පැමිණ පමක් නොව, මෙරට ආරක්ෂක හමුදාවලටද සම්බන්ධ වී ඇත. ඒ අතීතය අමතක කොට ඇත. ඒ අතීතය හාරා ඇවිස්සීමේ පුරුද්දක්ද අපට නැත. අපි එක රටක එක මවකගේ දරුවන්මෙන් එකට වැලඳ සිටිමු.

මෙරට සාමයට මෙලෙස බාධා කිරීම කලාකාරිණියක හැටියට ඉතා සංවේදි කටයුත්තක් ලෙස මම විශ්වාස කරමි. එබැවින් සිනමා ශිල්පිණියක් හැටියට මෙයම එකම වෘත්තියක නියැළෙන්නෙකු හැටියට ඉන්දීය සිනමාවටද දායක වූ කෙනෙකු හැටියට මම සියලු ශ්‍රී ලාංකික කලාකරුවන් සමඟ ඔබට ආරාධනාවක් කරන්නට කැමැත්තෙමි. තමිල්නාඩුවේ සියලු කලාකරුවනි මෙරටට පැමිණ වෙනස විමසා බලනු මැනවි. අපේ මිනිසුන් එකම ජාතියක් ලෙස කිසිදු බාධාවකින් තොරව ජීවත්වන අයුරු දකිනු මැනවි. අද තමිල්නාඩුවේ දහසකුත් මුරකාවලින් හෝ ආරක්ෂක වැට කඩොළු නිති වලින් තොරව මෙරට සිවිල් ජනතාව නිදහසේ සමඟියෙන් සැරිසරන අයුරු දකින්නට පැමිණෙනු මැනවි. නිදහසේ ජීවත්වන මනුෂ්‍යයන්ගේ සොම්නස විඳීනු මැනවි.

මේ ඔබට අපේ සහෝදරාත්මක ආරාධනයයි.
එන්න සත්‍යයේ අර්ථය දකින්න