වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය උපන් හැටි ඇත්ත කතාව

සරසවිය උපන් හැටි ඇත්ත කතාව

මුල්ම සරසවිය කවරය

සරසවිය ජාතික කලා පුවත්පතට පනස් වසරක් පිරීම නිමිත්තෙන් පළ කෙරෙන සංවත්සර කලාපය සඳහා ‘සරසවිය’ ආරම්භ කිරීමේ පසුබිම හා

එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා

රංජිත් විජයවර්ධන මහතා

 ‘සරසවිය’ බිහි කිරීමට උරදුන් පුද්ගලයන් ගැන විස්තරත් ඇතුළත් ලිපියක් සම්පාදනය කරන මෙන් මට ආරාධනයක් ලැබිණ.

කෙළෙහි ගුණ සැලකීමේ උතුම් පුරුද්ද අප සමාජයෙන් කෙමෙන් ලිහිල්ව යද්දී ‘සරසවිය’ බිහි කිරීමට ප්‍රධාන වශයෙන් මුල් වූ ආදි කර්තෘවරුන් ලෙස ගිණිය හැකි අය සිහි කිරීමේ සත්කාර්යයට හැකි අයුරින් දායක වීම උතුම් කටයුත්තක් බව මම විශ්වාස කළෙමි.

එහෙත් සරසවිය ආරම්භ වී වසර දෙකකට පමණ පසුව කර්තෘ මණ්ඩලයට බැඳුණු මට ‘සරසවිය’ දොරට වැඩීම පිළිබඳව විශ්වසනීයත්වයෙන් යුතුව සඳහන් කළ හැකි තොරතුරු මා සතු නොවීම ගැටලුවක් විය.

‘සරසවිය’ මංගල කලාපයෙහි එම මුල් තොරතුරු ඇතුළත් විය හැකි යයි අනුමාන කළ මා මුල් කලාපය ආශ්‍රයෙන් එම මුල් තොරතුරු ලබාගත හැකි වේ යයි වර්තමාන කතු මඩුල්ලට යෝජනා කර සිටියෙමි.

එවිට මා වැනි බාහිර පුද්ගලයන්ගේ දායකත්වයක් නොමැතිව වුව ද එම තොරතුරු වර්තමාන පාඨකයන් ඉදිරියේ තැබිය හැකි බව ද පැවසුවෙමි. ‘මයික්‍රෝෆිල්ම්’ ආශ්‍රයෙන් සරසවිය මංගල කලාපය බැලූ ඔවුහු එවැනි තොරතුරු කිසිවක් ඇතුළත් කර නොමැති බව පැවසූහ.

සරසවිය වර්තමාන කතු මඩුල්ලේ තරුණ මාධ්‍යවේදියකුගේ අදහස වූයේ නවසිය හැට දශකයෙහි මුල් භාගය අවසන්වීමට පෙර සිටම ලේක්හවුස් ආයතනයෙහි සභාපති ධුරය හෙබ වූ රන්ජිත් විජයවර්ධන මැතිතුමා සරසවිය පුවත්පත දොරට වැඩීම පිළිබඳ මුල් තැනක් ගත් කරුණ අසා ඇති බවයි.

එබැවින් විජයවර්ධන මැතිතුමා හමු වී හෝ වෙනත් මාර්ගයකින් හෝ මෙම කරුණු වර්තමාන පාඨක ජනතාව ඉදිරියේ තැබීම සඳහා සහාය ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

මා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි (ලේක්හවුස් ආයතනයෙහි) අට වසරක පමණ කෙටි කාලයක් සේවය කළ හෙයින් මධ්‍යම තලයේ පුවත්පත් කලාවේදී තනතුරක (සරසවිය – ප්‍රධාන උප කර්තෘ) සිටි නිසා සභාපතිතුමා නිතර හමුවී නොමැති බැවිනුත්, රන්ජිත් විජයවර්ධන මැතිතුමා නිහතමානී, ප්‍රචාරණයට හා ප්‍රසිද්ධියට රුචියක් නොදක්වන මහත්මයකු බව දැන සිටි බැවිනුත් සරසවිය වර්තමාන කතු මඬුල්ලේ මෙම ඉල්ලීම අවකාශයක් ලැබුණහොත් පමණක් ඉටු කළ හැකි යැයි මම දන්වා සිටියෙමි.

ලේක්හවුස් ආයතනයෙහි මාගේ සමකාලීනයකු වූ දැනට ශ්‍රීී ලංකා මාධ්‍යය ක්ෂේත්‍රයෙහි ඉහළම තලයක වැජඹෙන මාගේ මිත්‍රයකු සමඟ මෙම සත්කාර්යය ගැන කතාකර දැනට විජය පුවත්පත් සමාගමේ සභාපති ධුරය හොබවන රන්ජිත් විජයවර්ධන මැතිතුමා හමු වී මම කතාබහ කිරීමට කාල වේලාවක් ලබා ගතිමි.

රන්ජිත් විජයවර්ධන මැතිතුමා ඉතා සුහදශීලීව මා පිළිගත්තේය. පුවත්පත් ක්ෂේත්‍රය පිළිබඳ පැරණි හා වර්තමාන තොරතුරු ගැන කතාකර, පෙර හැඳිනි අය ගැන ද මතකය අවදිකර ටික වේලාවකින් මා පැමිණි කාරණය පිළිබඳව කතා කිරීම ඇරඹුවෙමු.

සරසවිය ආරම්භක නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ

සරසවිය පුවත්පත පිළිබඳ මුල් සංකල්පය හා සැලැස්ම කෙරෙහි රන්ජිත් විජයවර්ධන මහතාගේ දායකත්වය පිළිබඳ ඉහත ඡේදයක විස්තර කරනු ලැබූ සඳහන මා ඉදිරිපත් කළ විගසම ඔහු කියා සිටියේ වෙනත් මතයකි.

සරසවිය කලා පුවත්පත ආරම්භ කිරීම පිළිබඳව ලේක්හවුස් ආයතනය තුළ අගැයීමට ලක්විය යුත්තේ එස්මන්ඩ් වික්‍රමසිංහ මැතිතුමා හා මීමන ප්‍රේමතිලක සූරීන් බවයි. සරසවිය කලා පුවත්පතෙහි ආදි කර්තෘවරුන් ලෙස මෙම දෙපළ අවිවාදයෙන් නම් කළ යුතු බවත් එම ගෞරවය ඔවුනට හිමි විය යුතු බවත් ස්ථිර ස්වරයෙන් ප්‍රකාශ කළේය.

එස්මන්ඩ් වික්‍රමසිංහ මැතිතුමා ලේක්හවුස් ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ද දීර්ඝ කාලයක්ම අධ්‍යක්ෂවරයකු ලෙස ද ක්‍රියා කළ පුවත්පත් හා ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි පෙරමුණ ගත් එවකට ජාත්‍යන්තර තලයෙහි ද ප්‍රසිද්ධියට පත් විජයවර්ධන පවුල හා සම්බන්ධ මහත්මයෙකි. මීමන ප්‍රේමතිලක සූරීන් කොළඹ කවි සමයෙහි පතාක යෝධයෙකි. එවකට ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ සුප්‍රසිද්ධ පුවත්පත් කතුවරයෙකි.

පුවත්පතට නම දුන් හක්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න මහතා

‘සරසවිය’ ආරම්භය ගැන ගැඹුරු මතකයක් නොමැති බවත් එම නිසා ‘සරසවිය’ යන නම යෝජනා කළේ කවුරුන්දැයි කිව නොහැකි බවත් විජයවර්ධන මහතා පැවසීය. ‘සරසවිය’ යන ශීර්ෂ නාමය ගැන වර්තමාන කතු මඩුල්ලේ මාධ්‍යවේදියකු හා පසුව කතාබහ කිරීමේදී හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන් විසින් මෙම නම යෝජනා කරන ලද බවත්, එම නම, එවකට වැඩහුන් අති ගෞරවනීය සඟරුවනක් විසින් අනුමත කරන ලද බවත් ලේඛන ගත වී ඇති බවත් දැන ගතිමි.

පී. කේ. ඩී. සෙනෙවිරත්න ප්‍රසිද්ධ කවියකු ද ලේඛකයකු ද විය. පරසතු මල් චිත්‍රපට කතාව ලියා ගාමිණී ෆොන්සේකා නමැති අසහාය රංගධරයාට කුලුඳුල් අධ්‍යක්ෂණ ප්‍රවේශයක් ලබාදීමට සෙනෙවිරත්න සූරීන් දායකත්වයක් ලබා දුන්නේය.

‘සරසවිය’ නම යෝජිත පුවත් පතෙහි ශීර්ෂ නාමය ලෙස චිත්‍රණය කළේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී තලන්ගම ජයසිංහ සූරීන් විසිනි. පසු කලක ද ඔහු සරසවිය කලා පුවත්පත උචිත අයුරින් විසිතුරු කිරීම සඳහා විශාල සේවයක් කළ බව මම දනිමි.

නැවතත් රන්ජිත් විජයවර්ධන මැතිතුමා හා කළ කතාබහට මම අවධානය යොමු කරන්නෙමි. නවසිය හැට දශකයෙහි මුල් භාගයෙහි විජයවර්ධන මහතා එක්සත් රාජධානියෙහි ඉපැරැණි සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා සියරට පැමිණි බව මම දැන සිටියෙමි. එහෙත් ඒ ගැන සඳහනක් නොකරම ඔහු කියා සිටියේ එංගලන්තයේ සිට පැමිණි තමාට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේත්, ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාර කළමනාකරණයේත් පෙරහුරුවක් හෝ ප්‍රවේශයක් සඳහා පමණක් නව සරසවිය පුවත්පතෙහි ව්‍යාපාර ප්‍රතිපත්ති හා අධීක්ෂණ කටයුතු පවරනු ලැබූ බවයි.

සරසවිය කලා පුවත්පතෙහි ආරම්භක අරමුණු ගැන ද අවධානය යොමු කෙරිණ. විජයවර්ධන මහතා කීවේ එස්මන්ඩ් වික්‍රමසිංහ හා මීමන ප්‍රේමතිලක යන ආදි කර්තෘවරුන් දෙපළගේ අදහස වූයේ සරසවිය මගින් ලේක්හවුස් ප්‍රකාශනවලට විවිධත්වයක් එක් කිරීමත්, දේශපාලන විශ්ලේෂණ ඉදිරිපත් කිරීම පිළිබඳව පැවති අධි ප්‍රමුඛත්වය සමතුලිත කිරීමත් බවයි.

එමෙන්ම ‘සරසවිය මගින් නව පාඨක පිරිසක් එක්වන බව ද ඉඟියෙන් කියා සිටියේය. ප්‍රධාන වශයෙන් දිනපතා හා ඉරිදා පුවත්පත්වලට සීමා වූ ලේක්හවුස් ආයතනයේ ප්‍රකාශන ව්‍යුහය විවිධාංගීකරණය කිරීමත්, දේශපාලන විශ්ලේෂණයන්හි පමණක් නොව කලාව හා අන් අංශ කෙරෙහි ද උනන්දුවක් දක්වන පුවත්පත් ආයතනයක් ලෙස ද මහජන පිළිගැනීමක් ඇති කිරීමත්, ආදායම් මාර්ග පුළුල් කිරීමත් ‘සරසවිය’ ආරම්භ කිරීමට බලපෑ සාධක ලෙස එස්මන්ඩ් වික්‍රමසිංහ හා මීමන ප්‍රේමතිලක දෙපළ සලකන්නට ඇතැයි ද විස්තර කළේය.

මෙම කතාබහෙන් අනතුරුව මම රන්ජිත් විජයවර්ධන මහතාගෙන් සමු ගත්තෙමි.

නවසිය හැටපහේ ජූනි මාසයෙහි මා සරසවිය කතු මඩුල්ලට එක්වන විට සරසවිය කලා පුවත්පත සම්බන්ධ අධ්‍යක්ෂ මණ්ඩලයේ සෘජු අධීක්ෂණ වගකීම සභාපති රන්ජිත් විජයවර්ධන මහතා වෙත පැවරී තිබුණු අතර සරසවිය කලා පත්‍රයෙහි අලෙවි වර්ධනය අපක්ෂපාතිත්වය හා ආචාර ධර්ම ආරක්ෂා කිරීම සඳහා එතුමාගේ මග පෙන්වීම මනා උත්තේජනයක් වූ බව සඳහන් කළ යුතුමය.

සරසවිය මුල් පුවත්පතේ ප්‍රථම අත්පිටපත මීමන පේ‍්‍රමතිලක මහතානන් විසින්  එවකට ෆෝර්මන්ව සිටි කර්තේලිස් වෙත බාරදුන් අවස්ථාව. විමලසිරි පෙරේරා මහතා ද පසෙකින් සිටී.

විජයවර්ධන මහතා නිහතමානිව මෙම කාර්යභාරය ගැන සඳහන් නොකළ ද සභාපතිතුමාගේ විශේෂ උනන්දුව සරසවියට ලැබුණ නිසා සරසවිය පුවත්පත අලෙවිකරණය සඳහා ද විශේෂයෙන්ම සරසවිය චිත්‍රපට උළෙල සංවිධානය කිරීම සඳහා ද ලේක්හවුස් ආයතනයේ කර්තෘ මඬුල්ලට පරිබාහිර වූ දැන්වීම් අංශය, බෙදා හැරීමේ අංශය වැනි දෙපාර්තමේන්තුවල හා අන් සිංහල පුවත්පත් කර්තෘ මණ්ඩල විධායක හා පිරිස් සහායද නොමඳව ලැබිණ. දැන් ව්‍යාපාර කළමනාකරණයෙහි ආවේණික ලක්ෂණයක් සේ සැලකෙන කණ්ඩායම් මගින් කටයුතු කිරීමේ සංකල්පය එකල ලේක්හවුස් ආයතනයෙහි සරසවිය චිත්‍රපට උළෙල සංවිධානය කිරීමේදී මැනවින් ක්‍රියාත්මක වූ ලක්ෂණයකි.

සරසවිය කලා පුවත්පතෙහි ආරම්භක වකවානුව ගැන කතා කරද්දී අමතක නොකළ හැකි නමකි විමලසිරි පෙරේරා නාමය. මා අසා ඇති හැටියට සරසවිය පත්‍රය ආරම්භ වී නොබෝ කලකින් ආරම්භක කර්තෘ මීමන ප්‍රේමතිලක මහතාගේ නිර්දේශය මත විමලසිරි පෙරේරා මහතා එහි ප්‍රධාන කර්තෘ තනතුරට පත්කරනු ලැබූ බවය. විමලසිරි පෙරේරා මැතිතුමා මා සරසවියට බැඳුණු මුල් කාලයේදීම ගුරු මුෂ්ටි නොතබා ඔහුගේ දැනුම හා කුසලතා මට ලබාදීම, මා වඩාත් කාර්යක්ෂම පුවත්පත් කලාවේදියකු මෙන් සේවය කිරීමට මහත් පිටුවහලක් විය.

විමලසිරි පෙරේරා මහතා ද ගුණාත්මකව, අපක්ෂාපතීව සදාචාර සම්පන්නව රංගධර විශ්වාසය හා පාඨක විශ්වාසය ආරක්ෂා කරමින් සරසවිය කලා පුවත්පත ස්ථාවරත්වයට පත්කිරීමට අති මහත් සේවයක් කළ ප්‍රවීණ පුවත්පත් කතුවරයෙකි. නවක නිදහස් ලේඛකයන් රාශියකට පුවත්පත් කලා ක්ෂේත්‍රයෙහි මග එළිපෙහෙළි කරමින් එමගින් සරසවිය කලා පුවත්පත ප්‍රතිපෝෂණය කිරීමෙහි දූරදර්ශී නුවණක් ඔහු සතුවීම සරසවිය කලා පුවත්පත ප්‍රතිෂ්ඨාපනයෙහි වැදගත් හේතුª සාධකයක් විය.

2013 වර්ෂය ආරම්භයේ සිටම සරසවිය කලා පුවත්පතට මුල් යුගයේ සිට දායක වූ මාධ්‍යවේදීන් ගැන ලිපි පෙළක් පළ කරනු ලබයි. අද පළවන මෙම ලිපිය සරසවිය දොරට වැඩීමට මුල් වූ ආදි කර්තෘවරුන් යයි හැඳීන්විය හැකි දූර්දර්ශී පුද්ගලයන් ගැන ලිය වෙන්නකි.

ඒ සම්බන්ධ සියලු දෙනා මෙම ලිපියෙන් අගැයීමට පත්වූවාදැයි අපට සහතික විය නොහැක්කේ සරසවිය දොරට වැඩුම ගැන ලිය වී ඇති හෝ අසා දැන ගත හැකි කරුණු විරල බැවිනි. නම් ගම් නොලීවත් සරසවිය කලා පුවත්පත සංකල්පයෙහි සිට දොරට වැඩුමටත් ඒ ආසන්න කාලයේ පුවත්පත නඟා සිටුවා ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් දායක වූ ආදි කර්තෘවරුන්ට මෙම ලිපිය උපහාරයක්ම වේවා.