වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ලද යම් කෙනෙක් සරසවි බැලුමසක් නිසි

ලද යම් කෙනෙක් සරසවි බැලුමසක් නිසි

ප්‍රවීණ මාධ්‍යවේදී

එඩ්වින් ආරියදාස.

“ලද යම් කෙනෙක් සරසවි බැලුමසක් නිසී
කොතරම් වුවද මුළුලොව කෙරෙති අතැවැසි”

සරසවිය ගැන ලියු මෙම කවිය ගිරා සන්දේශය නැමැති සම්භාව්‍ය සන්දේශ කාව්‍යයේ තිබෙන්නකි. සියවස් හාරසිය ගණනකට පෙර ලියන ලද මෙම සන්දේශ කෘතියෙන් කියැවෙන්නේ “සරසවියගේ හොඳ බැල්මක් යන්තමින් ලැබුණත් කෙනෙකුට ඔහු මුළු ලෝකයම තමන්ගේ අතවැසියන් කිරීමට තරම් බලසම්පන්න බැව් ය”.

අප මේ පවසන්නේද මේ සරසවිය කියන ප්‍රකාශය පිළිබඳවයි. පසුගිය පනස් වසරෙහි ප්‍රකාශනයෙහි බැල්ම ලැබූ ලක්ෂ සංඛ්‍යාත වූ කොපමණ ප්‍රමාණයක් සිටියිද? ඔවුන්ට කෙතරම් බලයක් ලැබෙන්නට ඇත් ද යන්නත් ඒ කවිය ඔස්සේ අපට සිතාගත හැකිය. ‘සරසවිය’ යන වචනය සිංහලයෙහි තිබෙන ඉතාම ලස්සන වචනයකි.

මන්ද ලලිත විෂයන්, කලාව, භාෂා ශාස්ත්‍රවලට අධිපති දේවියගේ නාමයෙන් පවතින නිසාම මෙම ප්‍රකාශනයට එය ඉතා වටිනා නාමයකි. ඒ ප්‍රකාශනයට වසර පනහක් සපිරෙන මොහොතේ පළමුව අපේ සුභාශිංසන පිරිනැමිය යුතුය.

මා ලේක්හවුස් ආයතනයට බැඳී මේ ගෙවෙන්නේ හැටහතර වැනි වසරයි. සරසවිය ප්‍රකාශනය මට වඩා වසර දාහතරක් ළාබාලය. මා එසේ පවසන්නේ ලේක්හවුස් ආයතනයට බැඳී වසර දාහතරකින් පසුව මෙම ප්‍රකාශනය ආරම්භ වන නිසයි. මේ නිසාම මගේ ලේක්හවුස් ජීවිතයේදී ‘සරසවිය’ කෙරෙහි විශේෂ ආදරයක්, බැම්මක් හදවතෙහි තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ‘සරසවිය’ ආරම්භයේ සිටම එහි පාඨකයෙකු ලෙස ඊට ලිපි ලිවීමි. එහි ප්‍රගතිය නැරැඹීමි.

සරසවිය පුවත්පතෙහි ඓතිහාසික පසුබිම පිළිබඳ විමසීමේදී එහි ආරම්භය සිදුවන්නේ 1963 වර්ෂයෙහි අප්‍රේල් 10 වැනිදායි. සිංහල අලුත් අවුරුදු සමයෙහි ඇරැඹුණු සරසවිය පුවත්පත කලා සංග්‍රහයක් ලෙසින් පාඨකයන් අතට පත්විය. සරසවිය පුවත්පත පිළිබඳ විමසන අයෙකුට පැහැදිලි වන කාරණයක් වන්නේ හුදෙක් පාඨකයන්ට විනෝදාස්වාදය සැපයීම පිණිස බිහිවූවක් නොවන බවයි. ඔවුන් නිල වශයෙන් කළ ප්‍රකාශයේද ඒ අදහස ගැබ්ව පවතී. විශේෂයෙන්ම පුවත්පතෙහි ප්‍රමාණයද නැවුම් විය.

සරසවිය පුවත්පත පටු පිටු ස්වරූපයෙන් ආරම්භ කිරීම එකල නවීකරණ ක්‍රියාවලියකි. මේ නිසාමදෝ විශේෂයෙන් අවධානයට නතුවීමට සරසවිය පුවත්පතට හැකිවිය. එපමණක් නොව මුල් කාලයේදි පටන් අද දක්වා කාලය පිළිබඳ විමසීමේදී කර්තෘවරුන් එකළොස් දෙනෙක් පමණ එහි කර්තෘත්වය දැරූහ.

එහි පුරෝගාමී කර්තෘ වූයේ හිතවත් මීමන ප්‍රේමතිලක ය. ලලිත රචනාවලට දක්ෂයෙක් වූ ඔහුගේ කාලයෙහි මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය පරණවිතාන, කුමාරතුංග මුණිදාස, වැලිවිටිය සෝරත නාහිමි ආදි විද්වතුන්ගේ ලිපි ලේඛන ද පුවත්පතෙහි බහුල විය. ජී. එම් ගෞතමදාසගේ චිත්‍ර ද ආදී මේ සියලු කාරණා හේතු කොට ගෙන සරසවිය පුවත්පත පාඨක හදවතට සමීප විය.

කාලයකට පසුව වේදිකාව, සිනමාව ආදී ආශ්වාදනීය කලා මාධ්‍ය දෙසට යොමුවුණු සරසවිය පුවත්පත සිනමාව කෙරෙහි බැඳුණු පුවත්පතක් වීමට දිගු කලක් ගත නොවුණි. ඉන් පසුව සිනමාවේ ප්‍රගතියට, සිනමාවේ ඉරණම විමසීමට, සිනමාව හා බද්ධ විෂයන් සාකච්ඡා කිරීමට වෙන් වූ පුවත්පතක් ලෙස සරසවිය අභිෂේක ලද්දාය.

සිංහල සිනමාව ආරම්භ වී සොළොස් වසරකට පසුව ආරම්භ වූ සරසවිය පුවත්පතට ප්‍රථම විවිධ වූ ප්‍රකාශන රැසක් තිබුණි. එහෙත් ඔවුන්ට පැවැත්මක් නොතිබිණි. මේ නිසා එදා පටන්ම සිනමා කලාවේ මහා ප්‍රකාශනය ලෙස ස්ථාවර වූයේ සරසවිය යි. එහි විසූ කර්තෘවරු ප්‍රේක්ෂකයන්ගේ, සිනමාව ආශ්‍රිත ශ්‍රී විභූතිය පිළිබඳ වූ අපේක්ෂාව සිය තේමාව කර ගත්හ.

සිනමා විචාර, සිනමා නළු නිළියන් පිළිබඳ, කතා එතෙර මෙතෙර සිනමාව ආදි බොහෝ දේ ඔවුන්ගේ අවධානය දිනා ගැනුණි. ඒ නිසාම සරසවිය සිනමාව පුවත්පත සිනමාව පිළිබඳ පළ වූ ප්‍රබලම ප්‍රකාශනය බවට පාඨක මනස ග්‍රහණය කර ගත්තේය. මේ අතරතුරය මා සරසවිය පුවත්පතට සමීප වන්නේ.

ලෝකයේ විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරු, විශිෂ්ට සිනමා නිර්මාණ පිළිබඳ ලියු ඒ ලිපිපෙළට මා ලැබූ පාඨක ප්‍රසාදය අද ද මගේ මතකයට නැෙඟ්. සිනමාව මූලික කරගනිමින් මෙතෙක් කිසිවිටෙක පාඨක මනස ස්පර්ශ නොකළා වූ දැනුමක් ලබාදීමට සරසවිය පුවත්පතට හැකි වූ බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ.

තාරකා යානය

කාලයක් ගතවීමේදී මෙම ප්‍රගතියත් සමඟ සරසවිය පුවත්පතට මුහුණදීමට සිදුවූයේ අභියෝග රැසකි. මන්ද විවිධ වූ පටු පිටු සහිත ප්‍රකාශන රැසක් වෙළෙඳ පොළට පැමිණි බැවිනි. නමුදු ඊට නොසැලී සිටිමින්, සිනමාවට ළැදි පිරිසක් බිහිකිරීමේ ලා පෙරටුගාමී සිනමා ප්‍රකාශනයක් ලෙසින් ශක්තිමත්ව සරසවිය ඉදිරියට පැමිණියේය.

මේ ගෙවුණු අඩ සියවසක කාලයෙහි සිදුවූ ප්‍රධානම වෙනස එයයි. එමෙන්ම සරසවියට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් පිළිබඳ ද මගේ මතකයට පිවිසේ. ඒ අනුක්‍රමයෙන් සරසවිය පුවත්පත සිනමා පුවත්පතක් වීමත් සමඟම සිනමා ක්ෂේත්‍රයෙහි වූ අයද සිය පුවත්පත ලෙස සරසවියට ආදර ගරුබුහුමන් දැක්වීමට තරම් කෘතඥ වීමයි.

ඒ නිසා ඒ අපූරු බලයත් ගොඩනැඟිණි. තවද වාර්ෂික චිත්‍රපට උළෙල පැවැත්වීමේ ස්ථාවර බවද සරසවිය පුවත්පත වටා ප්‍රබල පාඨක පිරිසක් නිර්මාණය වීමට හේතු වූ බව මගේ හැඟිමයි. එවැනි තවත් වාර්ෂික චිත්‍රපට උළෙල පැවැතියද ස්ථාවර විය හැකි වූයේ සරසවිය පුවත්පතටයි.

මීමන ප්‍රේමතිලකයන් ගෙන් ඇරැඹි කර්තෘ පරපුරෙහි වර්තමාන පුරුක වන්නේ චිත්‍රපට විචාරකයෙක් වූ අරුණ ගුණරත්න ය. කාලයත් සමඟ එල්ල වන අභියෝග හමුවේ සිනමාව කියන විෂය අද වන විට විවෘත විෂයක් බවට පත්ව ඇත. අද වන විට පුවත්පත තරඟකාරී මාධ්‍යයකට පිවිස ඇත. ඒ නිසාම වර්තමාන සංස්කාරවරයාට නියමිත විෂය ධාරාව ආරක්ෂා කරන අතරම වර්තමානයෙහිදී පෙර නොවූ විරූ අභියෝගවලට ද මුහුණදීමට සිදු වෙයි.

සිනමා මාධ්‍යයට කැපවුණු හා ඒ පිළිබඳ මනා දැනුමක් ඇති සිනමා ලෝලියෙකු වන ඔහු මෙම අභියෝගයට නොබියව මුහුණ දෙමින්, පනස් වසරක් සපිරෙන මේ මොහොතේ ‘සරසවිය’ට නව පරිච්ඡේදයක් ආරම්භ කළේය. නව ජීවනයක් ඉදිරිපත් කළේය. ඒ බව සරසවියට පනස් වසරක් සපිරෙන මේ මොහොතේ අනිවාර්යයෙන්ම කිව යුත්තකි.

මෙසේ පැවසිය යුතු අනෙක් සුවිශේෂ කාරණය වන්නේ අනාගතය පිළිබඳ දැක්මයි. විද්‍යුත් මාධ්‍යයෙන් සරසවිය ප්‍රකාශයට පත්වීම ඒ අනාගත දැක්මයි. ලෝකයේ වඩාත් ජනප්‍රිය බොහෝ සඟරාවල ජනප්‍රියත්වය ගිලිහෙද්දී සරසවිය සිටින්නේ ඉදිරියෙනි.

මම ප්‍රශ්න කිහිපයක් අසමි. සරසවිය ලංකාවේ සිනමාලෝලීන් උදෙසා මෙහෙයක් කළාද? සිනමා මාධ්‍යයේ ප්‍රගතියට, සිනමා සංස්කෘතිය රැක ගැනීම පිණිස යමක් මෙතෙක් සරසවියෙන් වූයේද? යන්නයි. පැහැදිලි පිළිතුරක් ඇත. ඒ ‘ඔව්’ යන්නය. මන්ද සරසවිය තරමට කාලාන්තරයක් මුළුල්ලේ ගැඹුරින් සිනමාව හදාරන අයකුටත්, මතුපිටින් සිනමාවෙන් ආශ්වාදය ලබන අයෙකුටත් එක සේ උකහා ගත හැකි ලිපි ලේඛන අන් ප්‍රකාශනයක තිබේද යන්නයි.

බහුල ලෙස සිනමා සම්මාන උළෙල පැවැත්වීම ද අපගේ අගය කිරීමට ලක්විය යුතු කාරණයකි. මේ කාරණය පැවසීමේදී මගේ මතකයට පිවිසෙන්නේ අපූරු සිදුවීමකි. සිනමා ඉතිහාසය හා සම්බන්ධ විශේෂ සිදුවීමකි. මුල් කාලයේදී සිනමාව පිළිබඳ කතාබහ කිරීම බොහෝ දෙනා සැලකුවේ ප්‍රසිද්ධියේ නොකළ යුත්තක් ලෙසිනි. ඊට නම්බුවක් නොතිබුණි. මේ නිසාමදෝ එකල සම්මාන උළෙල පැවැත් වූයේ නගරයෙන් ඈත කොණක වන්නටය.

මීට අපූරු ප්‍රවේශයක් දෙමින් සම්මාන උළෙල නගරයට රැගෙන පැමිණෙමින් ගෞරවණීය බවක් ලබා දුන් නියමුවා වන්නේ සරසවිය පුවත්පතයි. සිනමාව ඉහළ තලයකට ඔසවා තබන්නට සරසවියට හැකියාව ලැබිණි. සිනමාවට සම්මානයක් රැගෙන පැමිණීමට සරසවිය සමත් විය. සරසවියෙන් සිනමාව ඉහළ තලයක මාධ්‍යයක්ය යන හැඟීම තහවුරු කිරීමට අඩ සියවසක කාලයේදී සිදුවුනු මෙහෙය ඓතිහාසික සිදුවීමකි. සේවයකි.

පනස් වසරකදී සිනමා ලෝලීන්ගේ ආදරය දිනූ ප්‍රබල සිනමා ප්‍රකාශනයක් වන සරසවියට හොඳ අනාගතයකට පිවිසීමේ ඉඩකඩ වෙන් වී ඇති අයුරු මම දකිමි. ඊට හේතුව වත්මන් කර්තෘවරයාගේ මනා දැක්මයි. පනස් වසරක් පිරුණු මේ මොහොතේ සරසවිය විද්‍යුත් මාධ්‍යය හා මුද්‍රිත මාධ්‍යය ඔස්සේ ජනතාව අතරට පිවිසෙමින් සිනමා සංස්කෘතියක් සකස් කිරීමේ ක්‍රියාවලියට බොහෝ සේ උපකාර වනු ඇතැයි හුදෙන් මම විශ්වාස කරමි.