වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආපසු හැරී බැලුවෙමි

ආපසු හැරී බැලුවෙමි

අද සිට පනස් වසරකට ඉහත දිනයකි. සැබෑවටම එය පින්බර පැහැබර දිනයකි. 1962 වසරේ අප්‍රේල් 10 වැනිදා කලා ලොවට නව නළු රසය පිරිවරා ගනිමින් සරසවිය නම් පුවත්පත බිහි වන්නේ කලාකාමී හිත් මත පොද වැස්සක සුවදායක බව තවරමිනි.

පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ගේ නමින් හැඩ වී ප්‍රකට කවියකු හා පුවත්පත් කලාවේදියකු වූ මීමන ප්‍රේමතිලකයන්ගේ කර්තෘත්වයෙන් ඔප් නැංවී ආරම්භ කළ සරසවිය පුවත්පත සියලු රස එක්කොට ගනිමින් පාඨක දෝතට තිළිණ කෙරුණේ අර්ථාන්විත හරවත් බොහෝ දේ එක් කරමිනි.

සරසවිය පුවත්පතට පෙර හා පසු අපේ රටේ බිහි වූ පුවත්පත් ගණන බොහොමයකි. නමුදු ලංකාවේ පුවත්පත් කලාවේ ඉතිහාසය සලකා බැලීමේදී අඛණ්ඩව පැවැති පුරෝගාමී පුවත්පත සරසවියයි.

1945 වසරේ ඩී. වී. සෙනවිරත්නයන් විසින් ‘ස්වදේශීය මිත්‍රයා’ පුවත්පත වෙනුවෙන් කලා පිටුවක් ඇරැඹුවේ එදවස කලාකරුවන් පිළිබඳත්, කලාව පිළිබඳත් ජනතාවගේ තොරතුරු පිපාසය සංසිඳුවීම පිණිසය. සිනමාව, කවිය, චිත්‍ර කලාව වැනි විෂයයන්ගෙන් පෝෂණය වූ මෙම පිටු අතර නිතර සැරිසැරූ පාඨකයෝ නිරායාසයෙන්ම කලාව වෙනුවෙන් වෙන් වූ පුවත්පතක් ඉල්ලා සිටියෝය.

එම අඩුව පුරවාලමින් ලංකාවේ පළමු කලා පුවත්පත වූ සිනමා බිහි වන්නේ 1952. 07. 01 දිනය. රොබට් ජයවර්ධනයන්ගේ කර්තෘත්වයෙන් බිහි වූ සිනමා පුවත්පත එදවස කලාවට හිතැත්තන්ගේ ජනප්‍රියම පුවත්පතක් බවට පත් වූයේය.

එම පුවත්පතේ ජනප්‍රියත්වය ඉවහල් වෙමින් ඉන් අනතුරුව ලංකාවේ කලාව වෙනුවෙන්ම පුවත්පත් බිහිවීම ඇරැඹිණ. විවිධ මාතෘකා ඔස්සේ කතිකාවන් ගොඩ නඟමින් කලාව සහ ඒ ආශ්‍රිත විවිධ මාතෘකා පිළිබඳ හරවත් මෙන්ම රසවත් ලිපි විශේෂාංග ඇතුළත් සිනමා පුවත්පත පාඨකයා ළෙන්ගතුව වැලඳ ගත්තෝය.

රිදී තිරයෙන් නිතර දක්නා සුන්දර මුහුණු මෙන්ම වීරයන්ගේ තොරතුරු පිපාසයෙන් පෙළුණු රසිකයෝ කලාව හා සබැඳි පුවත්පත් ආදරයෙන් වැලඳ ගත්තෝය. අලංකාර කවරයෙන් සැරසුණු මෙම පුවත්පත් දිනෙන් දින ජනප්‍රිය වුව ද විවිධ හේතූන් මත බොහෝ පුවත්පත් කාලයාගේ ඇවෑමෙන් වැසී ගියේය.

ඇතැම් පුවත්පත් උපන් ගෙයිම මියගිය අතර තවත් පුවත්පත් කාලයක් පැවතිණි. මේ අතරතුර උපන් ‘සරසවිය’ වෙනස්ම මඟක් ගනිමින් පුවත්පතක් ලෙස ගමන ඇරැඹුවේය. සරසවිය පුවත්පතේ පළමු කර්තෘත්වය හිමිවුණේ එවකට කොළඹ යුගයේ අති දක්ෂ කවියකු වූ මීමන ප්‍රේමතිලකයන්ටය. එතුමා අතින් හැඩ වූ සරසවිය පුවත්පත හුදෙක් සිනමාව, කලාව වෙනුවෙන්ම කොටු නොවූවක් වූයේය.

එදා සරසවිය පුවත්පත ජ්‍යෝතිෂය, ළමා පිටුව, ඉවුම්, පිහුම්, මැහුම් ගෙතුම්වලින් මෙන්ම කවියෙන් ද හැඩ වූයේය.

මීමන ප්‍රේමතිලකයන්ගෙන් පසුව ද සරසවිය බාර වූයේ කොළඹ යුගයේ කීර්තිමත් කවියකුª වූ විමලසිරි පෙරේරා සූරීන්ටය. එතුමා ද තමාගේ නිර්මාණශීලී ගුණය නොමඳව සරසවියට එක් කළේය.

ගුණාත්මක, හරවත් මෙන්ම රසාලිප්ත ලිපි සමුදායකින් සමන්විත වූ නිසාම ‘සරසවිය’ පාඨකයා තදින් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වූයේය. 1973 වසර වනවිට සරසවිය පිටපත් ලක්ෂයකට වඩා අලෙවි වන පුවත්පතක් බවට පත් වූයේ ඒ ගුණාංගය හේතුවෙනි.

එඩ්වින් ආරියදාස, බෙනඩික්ට් දොඩම්පෙගම වැනි ප්‍රකට බුද්ධිමතුන්ගේ ලිපිවලින් එදා සරසවිය පොහොසත් වූූයේය. කිසිවකුගේ චරිතවලට හානි නොවන අයුරින්, කිසිවකුටත් අපහාස නොවන අයුරින් සරසවිය පුවත්පත ජනප්‍රියත්වයට පත් කිරීම ජනතාවගේ ආදරයට පාත්‍ර වීමට ප්‍රධානතම හේතුවක් වූ අතර මෙම කාරණය නිසාම සරසවිය පුවත්පත කලා කරුවන්ගේ නොමඳ ගෞරවයට ද පාත්‍ර වූයේය.

ශාස්ත්‍රීය ලිපි මෙන්ම, කලාකරුවන්ගේ තොරතුරු රසවත් තොරතුරු ඇතුළත් වූ සරසවිය හරහා පසු කලෙක මිහිර, සුබසෙත, තරුණී, ක්‍රීඩා වැනි පුවත්පත් බිහි වූයේය. සරසවිය පුවත්පතේ කාන්තා පිටුව වෙනම පුවත්පතක් බවට පත්වූයේ තරුණී ලෙසිනි. මිහිර බවට පත්වූයේ සරසවිය පුවත්පතේ එදා ළමා පිටුවය. සුබසෙත ලෙස බෙදී වෙන් වූයේ ජ්‍යෝතිෂය පිටුවය. මේ අනුව බලන කල්හි ලේක්හවුස් ආයතනයෙන්ම ප්‍රකාශයට පත් කරනු ලබන ජනප්‍රිය පුවත්පත් රැසක තිඹිරිගෙය බවට පත්ව ඇත්තේ මේ වසර පනහක් පුරා අප සැනසූ, නැළැ වූ සරසවිය පුවත්පතය.

1964 වසරේදී ආරම්භ කරන ලද සරසවිය සම්මාන උළෙල පුවත්පතේ අභිමානය රැකීමට මෙන්ම කලා කෙතෙහි පෝෂණයට ද නිසි ලෙස දායක වූයේය. නොබිඳෙන ප්‍රමිතියකින් පවත්වාගෙන ආ සරසවිය පුවත්පත මෙන්ම සම්මාන උළෙල ද ඉතාමත් ප්‍රමිතිගත සම්මාන උළෙලක්ම වූයේය.

මේ හේතුව නිසාම සරසවිය සම්මානයක් දෝත දරා ගැනීම කලාකරුවකුට ඉමහත් ගෞරවයක් එක් කළේය. රංගනයට පමණක් නොව ඉන් ඔබ්බට ගිය විවිධ කලා ක්ෂේත්‍ර සඳහා සම්මාන පිදූ සරසවිය, නිරතුරුවම ජනතා සම්මාන ලබා ගැනීමට සමත් වූයේය.

ගුණාත්මක බව රකිමින් සිනමාවේ ඉදිරිය දකිමින් ඉදිරියටම යන සරසවිය හරහා අපේ රටේ සිනමා ක්ෂේත්‍රයට දැවැන්ත චරිත බිහි විය. සරසවිය පුවත්පත කියවා ඉන් ලද දැනුමෙන් කලාවට එක්වූ පිරිස අතිමහත්ය.

සරසවිය සම්මාන උළෙලේ ලද අගැයුම දිරිය කොට ගනිමින් ඉදිරියට ආ කලාකරුවන් රැසකි. කලාත්මක සිනමාවට, වාණිජ සිනමාවට මෙන්ම වේදිකාවට සහ රූපවාහිනී මාධ්‍යයට ද පසුකලෙක සරසවියෙන් ලැබුණු පන්නරය සුළුපටු නොවේ.

මඩ පත්තරයක් නොවෙමින් කලාවේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටි සරසවිය හතු මෙන් පිපී පරවුණු සිනමා පුවත්පත් අතර දැවැන්ත අතු පතර විහිදුණු ඵලබර වෘක්ෂයකි. මීට බලපෑ ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ එදවස සිට සරසවිය පුවත්පත පවත්වාගෙන ආ ප්‍රමිතියයි. ඉතාමත් සුපරික්ෂාකාරිව, කිසිවකුටත් අසාධාරණයක්, හිත් රිදවීමක් නොවන අයුරින් එදා සිට අද දක්වාම සරසවිය කටයුතු කරන්නේ ජාතියේ කලා පුවත්පත සතු වගකීම මැනවින් අවබෝධ කොට ගනිමිනි.

කලින් කලට විවිධ කර්තෘවරුන්ට භාර වුවද, කලින් කලට පුවත්පතේ හැඩතලය, අන්තර්ගතය, මාතෘකා වෙනස් වුව ද සරසවියේ එදා තිබූ ගුණාත්මක බව බිඳුවක්වත් නොඅඩුවීම මෙම ස්ථාවරයේ රහස බවට පත්ව තිබේ.

ලංකාවේ සිනමා කර්මාන්තයට පුරෝගාමී සේවයක් කළ සරසවිය බොහෝ සිනමාකරුවන්ට විශ්වවිද්‍යාලයක් ද වූයේය. එදා මෙන්ම අදට ද කලාකරුවන් හට සරසවිය දැවැන්ත වෘක්ෂයක් සේ සෙවණ සදයි.

එදා මෙදා තුර බිහි වූ සිනමා පුවත්පත් අතර වසර පනහක් සපුරණ එකම පුවත්පත බවට පත්වන්නේ සරසවියයි.