වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

පනස් වැනි උපන් දිනයට ‘සරසවියට’ ආසිරි ‘සරසවිය’ පනස්වැනි උපන් දිනයට අප රසික රසිකාවන් මෙසේ සුබපැතුම් එක් කළහ.

පාඨක පැතුම් ඔපවත් කළ සරසවිය
කලා ලොවේ මිණිපහනයි සරසවිය
දින දින අලුත් වන දසුනකි සරසවිය
තවත් බොහෝ කල් වැජඹෙයි සරසවිය

සිනමා පුරාණය සිහි කළ සරසවිය
රසික හදවතට තිළිණෙකි සරසවිය
මුළු විශ්වයම එක් තැන් කළ සරසවිය
අපට මහත් සරසවියකි සරසවිය

කලා ලොවේ නවමං සෙවු සරසවිය
නවතම සැවොම පිරිපුන් කළ සරසවිය
අඩ සිය වසක් මෙහෙවර කළ සරසවිය
මෙරටට අමිල මුතු කැටයකි සරසවිය

සතියට වරක් හැම දෑතක රැඳෙන
පිරුණත් වසර 50 ක් වියපත් නොවුණ
සතියට වරක් හැම දෑතක වගෙ රැඳෙන
පිටුවෙන් පිටුව තොරතුරු රූ නෙතු පිනන
සරසවි කුමරි ඔබ වෙයි අප සිත බැඳුණ

සකළ කලාවෙන් අනූන
‘සරසවිය’
ස-තර දෙසිණ්
ර -ස ගෙන එන
ස-කළ කලාවෙන් අනුන
වි-දේශයන්හි ද
ය-ස ගොස නැං වූ
අපගේ සරසවිය දිනේවා

කොයි කාටත් ගැළපෙයි

යුගයක් එකලු කළ ‘සරසවිය’ පුවත්පතට වසර පනහක් සපිරී තිබේ. වසර පනහක් යනු ඉතා දීර්ඝ කාලයකි. නොකඩවා පාඨක පිරිස රඳවා ගිනිමින් දිනෙන් දින අලුත්වන ‘සරසවිය’ සිංහල සිනමාව වෙනුවෙන් කරනා මෙහෙය අති උතුම්ය. විවිධ තරාතිරමේ අය ‘සරසවිය’ මිලදී ගන්නේ ද ඔවුන් කොයි කාටත් එය ගැළපෙන බැවිනි.

අනෙකුත් පුවත්පත්වලින් වෙනස්ව . . .

අපේ ජාතික කලා පුවත්පත ‘සරසවිය’යි. ‘සරසවිය’ අනෙකුත් පුවත්පත්වලින් වෙනස් වන්නේ පාඨකයන්ට අදහස් දැක්වීමට අවකාශය ලබා දෙන නිසාය. කලාව පිළිබඳ සෘජුවම අදහස් දැක්විමට ‘සරසවිය’ හරහා අපට පුළුවන්ය. අලුත් තොරතුරු සැණෙකින් අපට ගෙන එන ‘සරසවිය’ සදාකාලික පුවත්පතක් වේවා යැයි පතමි.

අකුරු පහේ තරම

‘සරසවිය’ යන අකුරු පහ ඉතාම ප්‍රබලය. මෙතුවක් කල් අභිමානවත්ව එයට දිගු ගමනක් යාමට හැකි වූයේය. ‘සරසවිය’ට සුබ උපන් දිනයක් යැයි මම පතමි.

ආරම්භයේ සිටම නෙවෙනස්ව . . .

‘සරසවිය’ ආරම්භ කළදා සිට මම එය මිලදී ගත්තෙමි. ‘සරසවියේ’ පැරැණිම පාඨකයා ලෙස ‘සරසවිය’ පනස්වැනි උපන් දිනයදාද එය කියවන්නට ලැබීම ජීවිතයේ මා ලද භාග්‍යයකි.

සදා ජය ‘සරසවියට’ සදා ජය පතමි.

ආනන්දයෙන් ප්‍රඥාවට

ආනන්දනීය ‘සරසවිය’ ප්‍රඥාවේ ද පුවත්පතකි. අපේ සුබපැතුම්.

පහත් දේ අතර උසස් දේ

සුජාත දියණ සහ අභීත දියණී යන කොරියන් මාලා නාටක මෙරට රූපවාහිනියෙන් විකාශය වීමෙන් අනතුරුව ඒවා තදින් ප්‍රේක්ෂකයෝ වැලඳ ගත්තෝය. එයට හේතුව පහත් මානසිකත්වයෙන් යුතු ටෙලි නාට්‍ය අතර එය උසස් මට්ටමක තිබීමයි.

මහඟු තිළිණයක්

සම්මානලාභී ගායිකා සුජාතා අත්තනායක ග්‍රන්ථ සංස්කාරකවරියක වී දොරට වැඩූ ‘ටවර් හෝල් නූර්ති ගී’ පොත එවන් ගීී නොඇසූ මෙන්ම ප්‍රිය කරන පැරැණි සහ නවක ශ්‍රාවක පරපුරට මහඟු දායාදයකි.

අධ්‍යක්ෂවරුන් හෝ රැක ගත්තා නම්...

ඈත අතීතයේ පටන් තිරගත වුණු චිත්‍රපට රැසක පිටපත් අද නැත. ඉතිරිව ඇත්තේ අතලොස්සක් පමණි. තිස්ස නාගොඩවිතානයන්ට පින් සිදුවන්නට පැරැණි චිත්‍රපට කිහිපයක් ඔහු සංරක්ෂණය කරයි.

නිෂ්පාදක අධ්‍යක්ෂවරුන්වත් තම චිත්‍රපටවල පිටපතක් හෝ රැක ගත්තා නම් යෙහෙකි. එය ද සිදු වූයේ නැත.

ඒ සැමටම ආදර්ශයක් ගත යුතු අධ්‍යක්ෂවරයකු අප අතර සිටියි. ඒ අන් කවරකුවත් නොව ප්‍රසන්න විතානගේයි. ඔහු ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණ සෑම චිත්‍රපටයක්ම සංරක්ෂණය කර තිබීම අන් අධ්‍යක්ෂවරුන්ට ද ආදර්ශයකි.

පැත්ත ගියත් ඇත්ත කියන්නට ශක්තිය සහ ධෛර්්‍යය

ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට නව ආරක වේග රිද්ම ගී කලාවක් හදුන්වා දෙමින් ‘ලස්සනට පිපුණු වනමල්’ ගීතයෙන් ගායන ලොවට ප්‍රවිෂ්ට වී එදා සිට අද දක්වාම තම ස්ථාවරය එකසේ රඳවා තබා ගනිමින් පනස් වසරක් පුරාවටම සිය මධුර මනෝහර ගැඹුරු හඩින් ගී ලොව එකලු කළ හිත හොඳ නිහතමානී ගායන ශිල්පියෙකි නිහාල් නෙල්සන්.

මුද්‍රිත සහ ෂද්‍යුත් මාධ්‍යන් අතර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන ඔහු පැත්ත ගියත් ඇත්ත ඇති සැටියෙන් කතා කරන අවංක පුද්ගලයෙකි. කැසට්පට වැඩිම ප්‍රමාණයකට ගීත ගයා අසමසම වාර්තාවක් ද පිහිටුවා ඇති නිහාල්ගේ මා ඇලුම් කරන ගීත අතර සුවිශේෂී ගීතයක් තිබේ. ඒ ‘කරුණා සුවඳ තවරාලූ’ ගීතයයි.

බාල මහලු වැඩිහිටි සැමගේ සිත්වල රැඳෙන ලෙසට සමාජ සංසිද්ධීන් සරල සුගම පදවැල්වලට කැටිකොට ගීයට නඟමින් නොසැලී අඛණ්ඩව ගී ලොව සැරිසැරූ නිහාල් නෙල්සන් ගායකයාණෙනි ඔබට තවත් ගී ලොව චිරාත් කාලයක් වැජඹෙන්නට ශක්තිය ධෛර්්‍යය පතමි.


මේ SMS ප්‍රතිචාර තීරයයි

 

රංගනයක් දෝ කියා අමතක වෙයි

‘සුදුයි උසයි’ නාට්‍යයෙහි උදයන්ති දරුවකු සමඟ රංගනයක නිරත වුවත්, එය කොතරම් සංවේදී ද කිව්වොත් උදයන්ති මේ කරන්නේ රංගනයක් කියා අපට අමතක වෙනවා.

කඩවසම් බවින් පිරිපුන් චන්දික

චන්දික නානායක්කාර මනා රූපයකින් සහ පෞරුෂයකින් හෙබි නළුවෙකි.

පෙර පින් ලද්දෝ

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට දායක වන්නට ලැබීම එහි නළු නිළියන් පෙර කළ කුසලකර්මයක් පළදීමකි.

අපේක්ෂා ටෙලි සිතුවමේ ධනංජය සිරිවර්ධන රඟන චරිතය සැබවින්ම විශිෂ්ටයි.

ගත සිතේ වෙහෙස නිවා ගන්නට ආටක නාටක විකට කථාංගය නියමයි.

පුංචි තිරයේ අවිහිංසක සංවේදී අම්මා රම්‍යා වනිගසේකරයි. ඇය නළු නිළියන්ට සැබෑ මවු කෙනකු මෙන් රඟපානවා.

‘මල් දෙවැට’ ටෙලි නාට්‍යයේ තිවංක ලෙස රඟන උදිත් අබේරත්නගේ හැකියාව අගය කරමි. සිනමාපට කිහිපයකදීම ඔබේ රංගනය දුටුවෙමි. ඒවා ද ඉහළ මට්ටමක ඇති බව ද කියමි.

තමන්ට වඩා අන් අය ගැන සිතූ කපුගේට උත්තමාචාර

ඔබ වැනි මානව හිතවාදී කලාකරුවකු නැවත බිහි වන්නේ නැත. ඔබට අපේ උත්තමාචාරය මෙසේ පුද කරමු. විරහ ගීත ද ඊට නොදෙවෙනි ලෙස මවු ගුණ ගීත ද ගැයූ ඔහු සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නෝ ද වෙති. ඔහුගේ මිනිසත්කම ගැන බොහෝ කතා ඇත.

ඒවා හි සෑම එකකින්ම කියවෙන්නේ ඔහු ඔහුට වඩා අන් අය ගැන සිතූ බවයි. ගුණදාස කපුගේ වියෝ වී දස වසරක් සපිරුන ද ඒ අසමසම හඬට ළංවන්නවත් කිසිවකු අදටත් සමත්ව නැත.

එච්. ආර්. ජෝතිපාල ගායකයාණන් අභිබවා යන්න කවුරුත් සමත් නැහැ. අනාගතයෙත් අපේ සුපිරි තරුව ඔහුයි.

රැඩිකල් රොමෑන්තිකයා චාමින්ද රත්නසූරිය අයියාට තව තවත් අනර්ඝ ගීත ලියන්නට ලැබේවා.

වචනෙන් කියන්නට බැරි දහසක් දේ මුහුණෙන් කියන ධර්මප්‍රිය

ජාතික නාලිකාවේ විකාශය වන රන්සිරිමල් ටෙලි නාට්‍යයේ ධනංජය සර්ගේ චරිතයට පණ පොවන ධර්මප්‍රිය ඩයස් මහතාණෙනි, වචන දහසකින් කියන්න බැරි දුක, සතුට, ආදරය, ජයග්‍රහණය වැනි හැඟීම් ඔබ මුහුණින් මනාව පෙන්නුම් කරනවා.

නැවුම් අදහස් ප්‍රතිචාර පිටුවට බෙහෙවින් වටී. සාම්ප්‍රදායික සුබපැතුම්වලින් බැහැරව කලාවෙහි විවිධ ඉසව්, කලාකරුවන් පිළිබඳ වෙනස්ම ‘ප්‍රතිචාර’ තුළින් තව තවත් හැඩ ගැන්වෙනු ඇත. එවන් වූ ඔබේ අනගි අදහස් ක්ෂණිකව 0752805047 යන අංකයට යොමු කරන්න. මෙම අංකය ප්‍රතිචාර කෙටි පණිවුඩ සඳහා පමණක් බව ද සඳහන් කරමු. එයින් වෙනත් විමසීම් නොකරන ලෙස ද ඉල්ලා සිටිමු. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල් හෝ සටහන්පත් වෙනුවෙනි.