|
|
අපේ පැරැණිම පාඨකයකු සොයා ගියෙමු‘සරසවිය පුවත්පතට වසර පනහයි, මගේ වයස හැත්තෑවයි’
අප නිවෙසට යන විට නිවැසියන් සියල්ල කලබලයෙන්. අපට සිතුණේ අප පිළිගන්නට උත්සවශ්‍රීයෙන් සැරසෙන බවකි. එහෙත් වියානි ගුණවර්ධන අපේ කුකුස දුරලූවේ මගේ පොඩි දුවගේ විවාහය හෙට යනුවෙන් පවසමිනි. වියානි මහතා සමඟ පිළිසඳරේ යෙදෙන්නට ගත් දෙවැනි වතාවටත් බාධා කරමින් වියානි මහතා අපගෙන් ප්‍රශ්න වැලක් ඇසීය. එහි එක් ප්‍රශ්නයක් වූයේ සුනිල් හොරේෂස්, සුනිල් මිහිඳුකුල, අනුර බණ්ඩාර රාජගුරු, දර්ශන ගුණරත්න, හේමාලි විජේරත්න, දීප්ති ෆොන්සේකා, ටෙනිසන් එදිරිසිංහ අපේ කර්තෘ මණ්ඩලයේ සිටි හා සිටින කිහිප දෙනකු ගැන සිහිපත් කරමිනි. වියානි මහතා අපට කියන්නකෝ සරසවිය හා බැඳෙමින් මේ ආ ගමනේ සරසවියට ඔබගේ පාඨක අදහස් යොමු කරන්න තෝරා ගත්තේ ඇයි ද යන වග? මට අවුරුදු දහයෙදි ඒ කියන්නේ 50 දශකයේ තමයි ගුවන් විදුලියේ වෙළෙද සේවයට ලියන්න ගත්තේ. ඒ කාලේ තිබුණු කලා, විසිතුර, චලන චිත්‍ර පත්තරවලටත් ලියමින් සිටින අතරතුර 1960 ගණන්වල සරසවිය කියල පුවත්පතක් අලුතින් වෙළෙඳ පොළට ආවා. පළමු පත්තරය ගෙන බැලූ විට කලාකාමී පත්‍රයක් නිසා එදා සිට සරසවිය පුවත්පතට පැන විසඳුම්, පාඨක අදහස් තීරයට ලිපි යොමු කළා. බොහොමයක් පළ වුණා. එදා සිට අද වනතුරුත් මගේ ජීවිතය අවසන් වනතුරුත් සරසවිය සමඟ බැඳීම අත හරින්නේ නැහැ. මගේ ජීවය සරසවියයි. එදා බිහිවුණු බොහෝ පුවත්පත් අද නැහැ. තිබෙන්නේ සරසවිය විතරයි. ඔබේ පවුල් පසුබිම, පාසල් කාලය ගැන මතක් කර ගනිමු? මගේ තාත්තා ගම්මුලාදෑනි කෙනෙක්. මම පාසල් ගියේ මට්ටාකොටුව වෙරළ පාසලට. අපි පදිංචි වෙලා හිටියේ මහවැව. මගේ පවුලේ සහෝදර සහෝදරයන් එකළොස් දෙනයි. මම තමා බාලයා. පාසල් ගියේ 10 වසර දක්වා. මගේ පාසල් මිත්‍රයෙක් හිටියා ඩග්ලස් බැසිල් ප්‍රනාන්දු කියලා. ඔහු කලා පත්‍රයට ලියනවා. ඔහු තමයි මාවත් කලා පත්‍රයට ලියන්න යොමු කළේ. මෙහෙම ලියන අතරතුර තමයි 60 දශකයේදී සරසවිය පුවත්පත වෙළෙඳ පොළට ආවේ. ඊට පසු තමයි සරසවිය එක්ක සම්බන්ධතා ඇති කර ගත්තේ. පුවත්පත් සඳහා ලිපි ලියන ඔබගේ රැකියාව වුණේ? ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්දොස්තර කෙනෙකු වශයෙන් තමයි රාජකාරි කළේ කුලියාපිටිය, වෙන්නප්පුව, හලාවත යන ප්‍රදේශවල රාජකාරි කළා. සරසවිය කලා උළෙලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණාද?
නැහැ. ඒ සඳහා නිර්දේශ වුණු චිත්‍රපට සතියක් මුළුල්ලේ පෙන්වනවා. ඒ සඳහා නම් ආවා. ඉස්සර චිත්‍රපට පෙන්නුවේ ග්‍රෑන්ඩ්පාස්වල තිබුණු අශෝකා චිත්‍රපට ශාලාවේ. අප්පෝ හරි සෙනඟ. හැන්දෑවේ දර්ශනයට නළු නිළියොත් සහභාගි වෙන නිසා හරිම අමාරු වුණා චිත්‍රපට බලන්න. සරසවිය පුවත්පතට ඔබේ තුන්වැනි පරම්පරාවත් යොමු වී තිබෙනවා. හඳුන්වා දෙන්නකෝ ඔබේ පවුලේ සැවොම? මගේ නෝනා ශීලා වැන්ඩර්ලන්. අපිට දරුවෝ තුන්දෙනයි. ලොකු දුව ගයානි විවාහකයි. පොඩි දුව වයානි, එයාගේ විවාහය හෙට . පුතා නිලන්ත පෞද්ගලික ඉංග්‍රිසි පංති පවත්වනවා. විවාහයෙන් පසුව තමයි මම වෙන්නප්පුවට පදිංචියට ආවේ. එතෙක් මම ලිව්වේ මහවැව මගේ උපන් ගමේ නමිනුයි. පුවත්පත් හා ගුවන් විදුලිය සඳහා ඔබේ පැන විසඳුම් යොමුකිරීම නිසා ඔබ හඳුනා ගත් බොහෝ පිරිසක් ඇති? ආරියරත්න කහවිට, ගැමුණු විජේසූරිය, ලලිත් එස්. මෛත්‍රීපාල, ශ්‍රීපාලි වයමන්, සිරි කහවල, ජෝ අබේවික්‍රම යන මහත්වරු ඇතුළු බොහොමයක් කලාකරුවන් හඳුනාගන්න අවස්ථාව උදා වුණා. සරසවිය පුවත්පත පිළිබඳ ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද? සරසවිය පුවත්පත කියන්නේ හැම දෙනාටම අයිති දෙයක්. කලාකරුවන්ට පමණක් නෙමෙයි පාඨක අපටත් අවස්ථාව දෙන පුවත්පතක්. මට මතකයි 2012 දී මාව රිය අනතුරකට පත්වුණු වෙලාවේ සරසවිය මා පිළිබඳව පුවත්පතේ පළ කරපු හැටි. එතැනදී තමයි මට දැනුණේ සරසවිය කියන්නේ කලාකරුවන්ට පමණක් වෙන් වූ පත්‍රයක් නොවන බව. මෙය පෝෂණය කිරීම සඳහා දායක වන සැමගේ පත්‍රයක් බව. ඇත්තටම සතුටුයි. සරසවිය කියන්නේ කලා ලොවේ සරසවියක් වැනි පත්‍රයක්. මෙරට පමණක් නෙමෙයි බොහෝ රටවල කලා සිදුවීම් අපට දැනගන්න තිබෙන එකම කලා පුවත්පත සරසවිය පුවත්පතයි. තවත් වසර 50 කට වැඩි කාලයක් කලාවේ යෙදෙන්නන්ට කලාවට හිතැති අප වැනි පාඨකයන්ට කලාකරුවන් මුණගස්වන පාලමක් වේවායි මගේ පැතුමයි. සරසවිය ඔබට චිරං ජයතු!
|
|