වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අප සිනමාව හැදෑරූ සරසවිය

අප සිනමාව හැදෑරූ සරසවිය

ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත පනස් වසර සමරන්නේ අභිමානයෙනි. එය ආරම්භක සමයේ සිටම මම එහි පාඨකයකු වීමි. අපේ යොවුන් වියේදී මෙරට සිනමාව හැදෑරීමට අපට තිබූ විශිෂ්ටතම පුවත්පත් වූයේ විසිතුර සහ සරසවියයි.

මේ පුවත්පත් යුගලම ඕපාදූප පිරි පත්‍ර කලාවෙන් බැහැරව සිය පාඨකයා වැදගත් මානයකට ගෙන යාමට මහෝපකාරී වූයේය. සිනමාවේ ස්වර්ණමය යුගයේදී මෙන්ම විවිධ කාල විපර්යාසයන් හමුවේ ද සරසවිය නොනැවතී පෙරට ගියේය.

සිනමා පුවත්පත් පිළිබඳ අත්දැකීම් ඇති මම කලක් සරසවියට තරගකාරීව සරසි පුවත්පත ආරම්භ කොට එහි කර්තෘ පදවිය හෙබවීමි.

සිනමා පුවත්පතක් පවත්වා ගෙන යාමේ දුෂ්කරතාවන් හා එය මුහුණ දෙන අභියෝග පිළිබඳ මම එහිදී හොඳින් අත්වින්දෙමි. එක් අතකින් සිනමා පුවත්පතක් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ හොඳ හිතත් රැකගෙන පවත්වා ගෙන යාම දැළි පිහියෙන් කිරි කන අන්දමේ වැඩකි.

සරසවිය වසර පනහක් ඒ කර්තව්‍යයේ යෙදිණ. එය ඉදිරියේදී ද එසේ වනු ඇත. ගැටවර වියේදී අපට යහපත් සිනමාව පෙන්වා දුන් සරසවිය පනස් වැනි විය සපුරද්දී ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස එයට මඟ පෙන්වන්නට ලැබීම මගේ ද වාසනාවකි.

බන්දුල පද්මකුමාර

සභාපති

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

 

පනහක් ගෙවුණද නව යොවුන් සරසවිය

කලා ලෝකයේ ජනප්‍රියතම පුවත්පත ‘සරසවිය’යි. ලාංකීය සිනමාවේ ආරම්භක යුගයේ පාඨකයාට දායාද වූ සරසවිය දේශීයත්වයෙන් සරසන්නට පුරෝගාමී විය.

රංගන ශිල්පීන් සිනමාවට කැන්දා ගෙන ආවේත්, සිනමාවේ නියුතු රංගන ශිල්පීන් ප්‍රකට තරු බවට පත් කළේත් ‘සරසවිය’යි.

සරසවිය’ චිත්‍රපට උළෙලෙන් සම්මානයක් ලබා ගැනීම සිනමා ශිල්පියකු කලා දිවියේ ලබන විශිෂ්ටතම අගැයීම විය.

‘සරසවිය’ නිසාම කලාවට පිවිස සිය ප්‍රතිභාව ප්‍රගුණ කළ ප්‍රවීණයන් වූ පිරිස බොහෝය. ‘සරසවිය’ සැබවින්ම කලා ලෝකයේ සරසවියකි.

අඩ සියවසක් අඛණ්ඩව තම ජනප්‍රියතාවය මඳකුදු නොඅඩුව රැක ගැනීමට හැකි වී ඇත්තේ කලා ලොවේ රසමුසු තොරතුරු නව මුහුණුවරකින් ගෙන එන නිසාමය.

වසර 50 ක් ගෙවුණ ද ‘සරසවිය’ තොරතුරු අතින් නව යොවුන්ය.

පාඨකයාට ඇවැසි දෑ නිවැරැදිව හඳුනා ගෙන ඇති මේ ජනප්‍රිය කලා පුවත්පත කලාකරුවන්ටත්, පාඨකයන්ටත්, දේශිය සිනමාවටත් එකසේ තම මෙහෙවර ඉටු කරමින් තවත් අඩ සියවසක් කලා ලෝකයේ ජනප්‍රිය පුවත්පත ලෙසින් පුවත්පත් ලෝකයේ ඉහළින්ම වැජඹෙනු ඇත.

සීලරත්න සෙනරත්

කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ