සරසවිය එකම කතුවරිය වූ දීප්ති ෆොන්සේකා
සරසවිය එකම කතුවරිය වූ දීප්ති ෆොන්සේකා
සරසවිය යනු රසගුලාවකි. ඒ රස ගුලාව රස ගන්වන්නෝද සරසවියේම කර්තෘ මණ්ඩල සාමාජිකයන්ය.
කලා ක්ෂේත්‍රයේ ඕපාදූප ද රසවත් සිදුවීම් ද මේ
රසගුලාවේ දෛනික මාතෘකාය. එකිනෙකා කරගන්නා විහළු තහළු කෙළවර වනුයේ අසල ඇති
අනෙකුත් කර්තෘ මණ්ඩලවලින් සද්දේ වැඩියි යනුවෙන් නැගෙන දෝෂාරෝපණයත් සමඟය.
මා කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙනුම ලබන අවදියේදී සරසවිය පුවත්පතට ඇලුම්
කළේ එය කලාව වෙනුවෙන්ම වෙන් වූ පුවත්පතක් වූ බැවිනි. මා තුළ සංගීතයටද විශේෂ
කැමැත්තක් තිබිණි. මිල්ටන් මල්ලවාරච්චි සහ ක්ලැරන්ස් විජේවර්ධන දෙපළට මගේ
විශේෂත්වයක් තිබිණි.
මා සරසවිය කියවන්නට ගත්තේ ද ඔවුන් පිළිබඳ වූ ඇල්ම හේතුවෙනි.
එහෙත් සරසවිය ළමයින්ට නුසුදුසු යැයි සැලකූ මගේ අම්මා එය කිසි විටෙකත් මිල දී
නොගත්තාය. ඇය මට රැගෙන දුන්නේ මිහිර පත්තරයයි. මා සරසවිය කිය වූයේ අපේ අසල්වැසි
කාන්තාවකගෙන් ඉල්ලාගෙනය. ඒ කාලයේ සරසවිය නිකුත් වූයේ සිකුරාදාවකය.
පාසල් අධ්‍යාපනය නිමවීමත් සමඟ, මාධ්‍ය රැකියාවක අවශ්‍යතාව ඇති වූයෙන් මගේ පියාගේ
සොහොයුරු එවකට ලේක්හවුස් ආයතනයේ සේවය කළ ලෝරන්ස් කුරේ මහතාට පැවසීමි. ලේක්හවුස්
ආයතනයේ කීර්තිධර සභාපතිවරයකු වූ රණපාල බෝධිනාගොඩ මහතා එවක එහි සභාපතිවරයා විය. මාගේ
බාප්පාගේ මිත්‍රයකු වූ රංජන් විජයරත්න මහතා එවකට ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විය.
එවකට බුදුසරණ පත්‍රයේ පැවතුණු පුරප්පාඩුවකට විජයරත්න මහතා මා බඳවා ගන්නා ලද්දේ
බාප්පාගේ මිත්‍රකම නිසාය. ඒ ස්ථිර සේවකයකු හැටියටය. එහි පරිපාලනමය ලිපි කටයුතුවලට
සම්බන්ධ වීම මගේ මුල්ම රාජකාරිය විය. මේ අවදියේ තරුණී කතුවරිය වූයේ සුමනා සපරමාදු
මෙනෙවියයි.

ඇය මට හැකි නම් ලියන්න යැයි පැවසුවාය. ඒ අනුව තරුණී පුවත්පතේ තරුණියකගේ
දින පොත නමින් සතිපතා පළවන කොලමක ප්‍රමාණයේ ලිපියක් ලිව්වෙමි. එය මාගේ පුවත්පත් කලා
ජීවිතයේ මුල්ම ලිපිය විය. පැත්තකට හැරී සිටින මගේම පිංතූරයක් සපරමාදු මෙනෙවිය
විසින් එම ලිපියට එක් කරන ලදී. එය පත්තරයක පළ වූ මගේ මුල්ම පිංතූරය විය. ඊට අමතරව
මම තරුණීට ප්‍රවෘත්තිමය වටිනාකමින් යුතුª ලිපි සහ කෑම වට්ටෝරු පිළියෙළ කිරීම්
පිළිබඳ ලිපි ද ලියා පළ කළෙමි.
සරසවිය, තරුණී, මිහිර, නවයුගය සියලුම පුවත්පත් එකල ආයතනයේ පැවැතියේ එකට යාබදවය. මේ
නිසාම බුදුසරණ පත්තරයේ සිට තරුණී වෙත ලිපි ලියාගෙන පැමිණිය යුතු විය. ඇතැම් විට මගේ
කාලය තරුණී පත්තරයටම ගත විය. එවක සරසවිය පත්තරයේ ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකා හා
මා අතර ප්‍රේම සම්බන්ධයක් ද ඇති වූයේ මෙලෙස විටින් විට තරුණී වෙත පැමිණීමත් සමඟය.
මේ ප්‍රේමය දලුදා වැඩෙත්ම සරසවියේ සිටි අනෙකුත් මාධ්‍ය හිතවතුන් ද මා හා බොහෝ සමීප
විය. එවක සරසවිය පත්තරයේ ප්‍රධාන කර්තෘත්වය හොබවන ලද්දේ ග්‍රැන්විල් සිල්වා මහතාය.
එතුමන් ද මට කදිම අදහසක් ඉදිරිපත් කෙරිණි.
බුදුසරණෙ හිටියට කමක් නෑ. තරුණී
පත්තරයටත් ලියන එකේ සරසවියටත් ලියන්න. මොකද උපාලිගේ සහකාරිය වෙන්න ඉන්න එකේ අපිත්
පොඩි උදව්වක් කරන්න එපායැ . . . ග්‍රැන්විල් මහතාගේ කීමට මම සරසවියට ද කුඩා
ප්‍රවෘත්ති සැපයීමි. මාස කිහිපයකට පසු නවක නළු නිළියන් පිළිබඳව ද මට සරසවියට
ලියන්නට අවස්ථාව උදාවුණි. ඒ අනුව මා මුලින්ම ඩිලානි අබේවර්ධන පිළිබඳ ලිව්වා මතකය.
ටික කලකදී ග්‍රැන්විල් සිල්වා මහතා මා පුවත්පත් කලාවේදී තනතුරට අනුයුක්ත කොට සරසවිය
කර්තෘ මණ්ඩලයට බඳවා ගත්තේය. එවක එහි සෙසු සාමාජිකයන් වූයේ රංජිත් කුමාර, නෙළුම්
විමලරත්න, මුදිත කාරියකරවන, ලතා බොතේජු, සුනිල් හොරේෂස් හා කැමිලස් පෙරේරාය.
කාර්යාල කාර්ය සහායක වූයේ තිලකසිරිය.
මා සරසවියට පැමිණ ටික කලකින් උපාලි හා මා අතර විවාහය සිදු විය. ඒ සඳහා සාක්ෂියට
අත්සන් තැබුවේ ද සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වා මහතාය.
පුවත්පත් කලාව යනු ලිවීම හා එහි පිටු නිර්මාණය යන අංශ දෙකකින් යුක්ත වූවක් බව මා
මනාව වටහා ගනු ලැබුයේ ද සරසවියට පැමිණීමත් සමඟය. මේ දෙඅංශයෙහිම නිපුනතාවක්
දක්වන්නකු වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දක්ෂ පුවත්පත් කලාවේදියකුª බැව් මා හොඳාකාරව
අවබෝධ කර ගත් කරුණක් විය. එම අංශ දෙකෙහිම දක්ෂතා ප්‍රගුණ කරගැනීමට මට සරසවිය
සරසවියක්ම විය.
ග්‍රැන්විල් සිල්වා, ඒ. ඩී රංජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න,
අනුර බණ්ඩාර රාජගුරු වැනි මට වඩා ජ්‍යෙෂ්ඨයන්ගෙන් මට විශාල මඟ පෙන්වීමක් ලැබුණේ
පුවත්පත් කලාවේ අයන්නේ පටන්ය. මේ අතරින් තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගෙන් මට ලේඛන
කලාවේ හා භාෂා ඥානයේ පෝෂණයට විශාල දායකත්වයක් ලැබිණි.
සරසවියට පැමිණි මුල් යුගයේ වැඩි වශයෙන් දායකත්වයක් ලැබුණේ පිටු සැකසීමේ කටයුතු
වෙනුවෙනි. අංශ කිහිපයක් සමඟ මනා සබඳතාවක් ඇතිව ඒ කාර්යය කිරීම තරමක් දුෂ්කර
කටයුත්තක් වුව ද එය නොපිරිහෙලා ඉටු කරනු ලැබුවේ බොහෝ තෘප්තිමත්භාවයකිනි. ඒ අතරේ
කුඩා ලිපි ලිවීමට ද මම සමත් වීමි. මගේ සැමියා ද එහි කටයුතු කළ බැවින් මගේ ගමනට එය
ලොකුª ආශිර්වාදයක් විය.
සරසවියේ ද මා වැඩි වශයෙන් ලිව්වේ සංගීත ශිල්පින් හා සිනමා ශිල්පීන් පිළිබඳවය.
පණ්ඩිත් අමරදේවයන්ගේ සිට සියලු ගායකයන් පිළිබඳවත්, නන්දා මාලිනීගේ පටන් සියලු
ගායිකාවන් පිළිබඳවත්, මාලිනී ෆොන්සේකාගේ පටන් සියලු නිළියන්ගේත්, ජෝ
අබේවික්‍රමයන්ගේ පටන් සියලු නළුවන්ගේ ද, නව පරපුර දක්වාම සරසවියට ලියන්නට මට හැකි
විය. එදා සරසවිය නිසා ඔවුන් හා බැඳුණු සෙනෙහස අදත් නොවෙනස්ව පවතිනුයේ ද සරසවියට
පින් සිදු වන්නටය.
සරසවියේ ගත කළ කාලය පමණක් මගේ මාධ්‍ය කලා ජීවිතයේ වසර විසිපහක් පමණය. මේ කාල පරාසය
තුළ සරසවියේ සිදු වූ දෑ බොහොමයකි.
ඒ අතරින් සරසවියේ පැරැන්නන් ඉවත් විම, නවකයන්
පැමිණීම ද සිදු විය. සුසිල් ගුණරත්න, සුසිල් ජිනප්‍රිය, කැමිලස් පෙරේරා, අනුර
බණ්ඩාර රාජගුරු, අරුණ ගුණරත්න, විවේකා සමරසිංහ, සුනිල් මිහිඳුකුල, දර්ශන ගුණරත්න,
ගීෂා මුණසිංහ, ආරියරත්න පෙරේරා, චන්දන දයාසිරිවර්ධන, හේමාලි විජේරත්න, මනෝලි
සුබසිංහ, සුනිල් හොරේෂස්, අසංක දේවමිත්‍ර, චන්ද්‍රසිරි ලියනආරච්චි, ටෙනිසන්
එදිරිසිංහ, මාලන් කරුණාරත්න, ආශිර්වාදිනී හෙට්ටිආරච්චි, කුමාර සිරිවර්ධන, ගාමිණී
පෙරේරා, පියතිලක, නුවන් නයනජිත් ආදි බොහෝ දෙනෙකු සරසවියට එක් වූයේ විවිධ වකවානුවලය.
කෙසේ වෙතත් පිටු සැකසීමේ කාර්යයෙන් බැහැරව පූර්ණ වශයෙන් ලියන්නට ලැබුණේ කුරුවිට
බණ්ඩාර මහතා සරසවිය කර්තෘත්වයට පත්වීමත් සමඟය.
ඔහු කර්තෘ මණ්ඩලයේ සෙසු සාමාජිකයන්
කැඳවා තමන් කැමැති අංශයක් තෝරා ගන්නා ලෙස කළ ඉල්ලීමට අනුව මම වඩාත් ආශා කළ සංගීත
අංශය තෝරා ගතිමි. වැඩි වශයෙන් කතාබහට ලක් නොවූ සංගීත ශිල්පීන් සොයා ගොස් සරසවියෙන්
ඔවුන් ගැන හෙළි කිරීම මා මුලින්ම ඇරැඹියේ කුරුවිට බණ්ඩාරයන්ගේ කර්තෘත්වය යටතේය.
පුංචි කාලයේ පටන් මා වඩාත් ආශා කළ ගායක දෙපළක් වූයේ ක්ලැරන්ස් විජේවර්ධන හා මිල්ටන්
මල්ලවාරච්චිය. ඔවුන්ගේ ප්‍රසංගයක් පිළිබඳ දැනගන්නට ලැබුණුු සෑම අවස්ථාවකම මා
මවුපියන්ට කරදර කොට කෙසේ හෝ එය රස විඳීමට යාමට පුරුදුව සිටියෙමි. කුඩා කල පටන් මා
ආශා කළ මේ ගායක දෙපළ සරසවියට පැමිණීමත් සමඟ ඔවුන් හා මිත්‍රත්වයක් ඇති කර ගැනීමට මට
හැකියාව ලැබිණි. ඔවුන් හා සම්මුඛ සාකච්ඡා පවත්වමින් ලියන්නට ලැබීම මා සැලකුවේ
භාග්‍යයක් ලෙසය.
සරසවිය යනු රසගුලාවකි. ඒ රස ගුලාව රස ගන්වන්නෝද සරසවියේම කර්තෘ මණ්ඩල සාමාජිකයන්ය.
කලා ක්ෂේත්‍රයේ ඕපාදූප ද රසවත් සිදුවීම් ද මේ රසගුලාවේ දෛනික මාතෘකාය. එකිනෙකා
කරගන්නා විහිළු තහළු කෙළවර වනුයේ අසල ඇති අනෙකුත් කර්තෘ මණ්ඩලවලින් සද්දේ වැඩියි
යනුවෙන් නැගෙන දෝෂාරෝපණයත් සමඟය. සරසවියේ ඇතැමුන් ඉඟි කොට පෙන්වන ඇතැම් විහිළු
දන්නේ අප සාමාජිකයන් පමණි. කැමිලස් පෙරේරා, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු
සරසවිය සිනා සාගරයක ගිල්වන කර්තෘ මණ්ඩල සාමාජිකයන් අතර ඉදිරියෙන් විය.
පුවත්පතින් ඔබ්බට ගිය කර්යභාරයක් ලෙස කරනු ලැබුවේ සරසවිය සම්මාන උළෙලයි. මේ වාර්ෂික
මංගල්‍යයේ සියලු කටයුතුවලට මාගේ සේවා කාලය තුළ මම උපරිම දායකත්වයක් දැක් වූයෙමි.
විනිශ්චය මණ්ඩලය තේරීම, චිත්‍රපට සතිය, සංස්කෘතික ප්‍රසංගය, ප්‍රධාන සම්මාන උළෙල,
ජනප්‍රිය නළුවා, නිළිය තේරීම ආදී විශාල වැඩ කොටසක් සඳහා සම්මාන උළෙල වෙනුවෙන් කැප
වෙන්නට සිදු විය.
මා මුලන්ම සරසවිය සම්මාන උළෙලක් සඳහා සහභාගි වූයේ ග්‍රැන්විල් සිල්වා මහතාගේ
කර්තෘත්වය යටතේය. එවැනි උළෙලක අසිරිය වින්දේ ද එයට ශ්‍රමයෙන් දායක වූයේ ද එහිදීය.
අත්දැකීම් බහුල සියලුම කර්තෘවරුන් මා සම්මාන උළෙලේ බොහෝ කටයුතු සඳහා දායක කරගනු
ලැබුවේ එහි රහස්‍යභාවය ආරක්ෂාවීමේ අපේක්ෂාවෙනි.
මා එවැන්නකට සම්බන්ධ කරගැනීම නිසාම
උළෙලක සංවිධාන කටයුතුª පිළිබඳ මනා පුහුණුවක් ලැබුණේ මට ද නොදැනුවත්මය. වසර ගණනාවක්
සරසවිය සම්මාන උළෙල සංවිධාන කටයුතුවල නියැළීම නිසාම මා තුළ පෞද්ගලික වශයෙන් ද හොඳ
සංවිධාන ශක්තියක් ගොඩ නැගුණි.
එමෙන්ම සරසවියේ සිටි අප සැම සතුටින් ඉපිල ගිය කාල වකවානුව වනුයේ සම්මාන උළෙල
අවදියයි. රාජකාරිමය වශයෙන් අපට පැවරුණ කාර්යයන්ට අමතරව අපි වැඩි වශයෙන් සිත් යොමු
කරන්නේ උළෙලේ විචිත්‍රත්වයට නොදෙවැනිව අඳින්න පලඳින්නටය.
බොහෝ අවස්ථාවල චිත්‍රපට සතිය පැවතියේ කොළඹ රීගල් සිනමා ශාලාවේය. දවස් හත පුරා ඇඳීමට
එවක සරසවියේ සිටි මමත් ලතා බොතේජුත්, නෙළුම් විමලරත්නත් තරගයට ඇදුම් හතක් මැසූ
අවස්ථාත් තිබිණි. මහා සම්මාන උළෙලට වෙනම ඇඳුමකි. එවැන්නක් කෙරේ අපි වඩාත් ආශා කළේ
නළු නිළියන් අතර අපි ද නොදෙවැනි වීමටය.
අවස්ථා කිහිපයකදීම සරසවිය සම්මාන උළෙලවලදී වේදිකාවට සම්මාන රැගෙන ගියේ මාත්, ලතා
බොතේජුත්ය. ඉතාම අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසෙන අපි චිත්‍රපට සතිය පුරා පැමිණෙන
නළු නිළියන්ට වේදිකාව මතදී මල් කළඹක්දී පිළිගැනීමද අපට රාජකාරි වශයෙන් පැවරී තිබුණ
ද එවැන්නකට අපි බලා සිටින්නේ ද මහත් වූ බලාපොරොත්තුª දල්වා ගත් දෑසකින් යුතුවය.
චිත්‍රපට සතිය පුරා කොළඹ රීගල් සිනමා ශාලාව රසිකයන්ගෙන් පිරී ඉතිරී යන්නේ චිත්‍රපට
නැරැඹීමටත් වඩා නළු නිළියන් දැක ගැනීමේ ආශාව නිසාමය. එක් අවස්ථාවකදී ජනකාන්ත නළු
විජය කුමාරණතුංගයන් රීගල් සිනමා ශාලාවට පැමිණි මොහොතක යකඩ දොරවල් කඩාගෙන රසිකයන්
ශාලාවට ඒමට පොර කෑ අයුරු ද පසුව ඔවුන්ව පොලීසිය යොදවා ඉවත් කළ අයුරු ද මට සිහිපත්
වේ.
ග්‍රැන්විල් සිල්වා මහතාගෙන් පසුව පැමිණි සියලු කර්තෘවරුන් සරසවිය සම්මාන
උළෙලකදී මගෙන් බොහෝ විට බලාපොරොත්තු වූයේ විනිශ්චය මණ්ඩලය සමඟ චිත්‍රපට නැරැඹිමත්,
සම්මාන රාත්‍රිය සඳහා ආසන පැනවීමත් පිළිබඳ වගකීමය. කර්තෘතුමන්ගේ හා පාලන අධිකාරියේ
අභිමතය පරිදි මෙම කටයුත්ත සිදු කළ ද යම් හෙයකින් පුංචි හෝ වරදක් ඇති වුවහොත් එයින්
වන හානිය සුළුපටු නැත.
නළු නිළියන් සමහරු උළෙලට පැමිණීම හා නොපැමිණීම තීරණය කරනුයේ
ද තමන්ට හිමි ආසන පිළිබඳ සොයා බැලීමකින් වීම එකී ප්‍රශ්නය තවත් උග්‍ර කරන්නක් විය.
වසර ගණනාවක් මෙම කාර්යය කිරීම නිසාම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
ශාලාවේ ඇති ආසන සංඛ්‍යාවත් ඒවා තිබෙන තැනුත් මතකයෙන් කීමේ හැකියාවක් මට තිබිණි.
සරසවිය පුවත්පතේ වැඩිම වසර ගණනක් සේවය කළ කාන්තාවවීමේ භාග්‍යයට ද මම උරුමකම් කීමි.
ග්‍රැන්විල් සිල්වා මහතාගේ සිට අනුර බණ්ඩාර රාජගුරු දක්වාම මම සේවය කළෙමි. සරසවියට
පැමිණ වසර දොළහකට පසු මට නියෝජ්‍ය කර්තෘ පදවිය ලැබුණේ සුසිල් ගුණරත්නයන් සරසවියේ
ප්‍රධාන කර්තෘවරයාව සිටි අවධියේය.
ඉන් වසර කිහිපයකට පසු කිසිදු බලාපොරොත්තු සහගත නොවූ මොහොතක සරසවියේ කර්තෘ පදවිය භාර
ගැනීමට සිදු විය. එවක ලේක්හවුස් සභාපතිතුමන් වූයේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාය.
එතුමන් එකවරම හදිසිියේම කර්තෘ පදවිය මට බාර දෙද්දී මා එය මුලින් ප්‍රතික්ෂේප කළෙමි.
ඒ එවකට මගේ දරු දෙදෙනා කුඩා බැවිනි. ඒ මවක ලෙස ඔවුනගේ යුතුකම් ඉටු කළ යුතුව තිබූ
බැවිනි. එහෙත් පැය භාගයක් ඇතුළත තීරණය ගත යුතු යැයි සභාපතිතුමා නියෝග කළේය. මම
සරසවියට පැමිණ ඒ පිළිබඳව පැවසීමි. එහිදී වත්මන් සරසවිය කර්තෘ අරුණ ගුණරත්නත්,
නෙළුම් විමලරත්නත් මා හට පැවසුවේ අපි සියලු දෙනා සහයෝගය දෙන්නම්, බය නැතුව තනතුර
භාරගන්න යනුවෙනි. මම කර්තෘ මණ්ඩලයේ සියලු සාමාජිකයන් පිළිබඳ විශ්වාසය තබා ගැහෙන
හදින් යුතුව තනතුර භාර ගතිමි.
ඒ සමඟ මට අභියෝග දෙකක් පැවරිණි. ඉන් එකක් වූයේ මාස
දෙකක් ඇතුළත සරසවිය සම්මාන උළෙල පැවැත්වීමය. ඔහු ඒ සඳහා ඒකමතිකව දින නියම කළේය.
අනෙක් කරුණ වූයේ මාස තුනක් ඇතුළත සරසවිය අලෙවිය දෙගුණ කළ යුතු බවය. එතෙක් සම්මාන
උළෙල සඳහා ලබා තිබූ අත්දැකීම් නිසාම සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු
ලැබීමට මට හැකි විය. පුවත්පත් අලෙවි ඉලක්කය සපුරාලන්නට දෙමසකින් මා සමත් වූයේ මගේ
හැකියාව මත නොව, කර්තෘ මණ්ඩලයේ සියල්ලගෙන් ලැබුණු නොමසුරු සහෝදර දායකත්වය නිසාමය.
මාගේ කර්තෘත්වය යටතේ මට අවශ්‍ය වූයේ පවුලේ සැමට එකවර කියවිය හැකි පුවත්පතක්
ආකර්ෂණීය අයුරින් පාඨකයන්ට පිළිගැන්වීමය. අපේ පවුලේ සිනමා පත්තරය පාඨය මුල් කොට මා
සරසවිය එළි දැක් වූයේ ජනප්‍රිය සංස්කෘතියට සමගාමීව සම්භාව්‍ය සිනමාවත් වානිජ
සිනවාවත් එක් වූ පුවත්පතක් ලෙසිනි. ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් එවක නිකුත් කළ
වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ පැහැදිලිව සඳහන් කොට තිබුණේ සරසවිය පුවත්පතේ වාර්තාගත
අලෙවියක් මගේ කර්තෘත්වය අවදියේ සිදු වූ බවකි.
මා කර්තෘත්වය දැරූ අවදියේ සම්මාන උළෙලයන් දෙකක් පැවැත්විය. ප්‍රථම සම්මාන උළෙල සඳහා
ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ දකුණු ඉන්දීයානු සිනමාකරු මනි රත්නම් මහතාය. ආචාර්ය
ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය
වැනි සිනමාවේ ප්‍රවීණතමයන් හා සම්මාන ප්‍රදානයට මට අවකාශ උදා වූයේ ද මෙම සම්මාන
උළෙලෙනි. දෙවැනි සම්මාන උළෙල සඳහා සභභාගි වූයේ විශිෂ්ට කේරළ සිනමාකරු අධූර් ගෝපාල්
ක්‍රිෂ්ණන්ය. මනි රත්නම් පැමිණි විට සරසවිය අනුග්‍රහයෙන් මරදානේ සිනෙසිටි ශාලාවේ
ඔහුගේ චිත්‍රපට ඇතුළත් චිත්‍රපට සතියක් ද පැවැත්විණි. සිනමා සක්විති ගාමිණී
ෆොන්සේකා වෙනුවෙන් මෙන්ම සෝනියා දිසා වෙනුවෙන් ද විශේෂ කලාපයන් නිකුත් කරන ලද්දේ
මගේ කර්තෘත්වය දරන කාලයේදීය. එමෙන්ම ගායන ශිල්පිනි ජී. එස්. බී. රාණි පෙරේරාගේ
උපහාර උත්සවය වෙනුවෙන් සරසවියේ මාධ්‍ය දායකත්වය එක් කිරීමට ද මට හැකි විය.
2004 වසරේ පැමිණි සුනාමි ව්‍යසනයෙන් අසරණ වූ ජනතාවට පිහිටවීමට නළු නිළියන්, ගායක
ගායිකාවන් හා එක්ව සුවිශාල සමාජ සත්කාරයක් ද කරන්නට මට හැකි වූ බව මා සඳහන් කරන්නේ
දැඩි ආඩම්බරයෙනි.
2005 වසරේ සරසවිය සම්මාන උළෙලට සමගාමීව සරසවිය සම්මාන උලෙළ ඉතිහාසයේ ප්‍රථම වරට
මහනුවරදී චිත්‍රපට උළෙලක් පැවැත්වීමට පාලන අධිකාරිය මා හට බාර කෙරිණි. එය මහත් සේ
සාර්ථකත්වයක් ලැබුවේ පාලන අධිකාරියෙන් මෙන්ම නුවර සිනමා ශාලා හිමියන්ගෙන් මට
ප්‍රශංසා ලබා දෙමිනි.
2007 වසරේ සරසවිය සම්මාන උළෙලට සමගාමීව උළෙලක් මහනුවර
පැවත්විණ. මහනුවර ප්‍රදේශයේ පැවැති මුල්ම සිනමා උළෙල වූ හෙයින් ජනතාව එය නැරැඹුවේ
පොරකමිනි. නළු නිළියන් විවෘත රථයක නංවා අලි ඇතුන් සහිත පෙරහැරකින් නුවර කුවීන්ස්
හෝටලයේ සිට රීගල් සිනමා ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබුවේ රසික ජනතාවගේ ඔල්වරසන් හඬ
මධ්‍යයේය.
කිසිම පුවත්පතකට ලිපි ලබා නොදුන් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ බිරිය සුමිත්‍ර
ෆොන්සේකාගෙන් සරසවිය සඳහා සාකච්ඡාවක් ගැනීමට මට හැකි වීම ද මා ලැබූ විශාල
ජයග්‍රහණයක් කොට සලකමි.
ගාමිණී ෆොන්සේකා පිළිබඳ ඈ කළ ඒ මතක ආවර්ජන ලිපිය ලියනු
ලැබුවේ නෙළුම් විමලරත්න විසිනි. සුමිත්‍රාගෙන් තොරතුරු ගැනීම ඉතාම සුක්ෂමව කළ යුතු
දෙයක් වූයෙන් අපි දෙදෙනා හාරා අවුස්සමින් ගාමිණී ගැන කදිම ලිපියක් ලිව්වෙමි. එය
පත්තරයේ පළවීමත් සමඟ ගාමිණී ෆොන්සේකා මහත් සතුටට පත් වූ බවක් අපට අසන්නට ලැබුණේ ඒ
සඳහා ලැබුණු ප්‍රතිචාර මතය.
සරසවියේ ගත කළ කාලයේදි මගේ හද කම්පා කළ සිද්ධීන් තුනක් විය. ඉන් එකක් වනූයේ ජනකාන්ත
නළු විජය කුමාරණතුංගයන්ගේ හදිසි මරණයයි.
සරසවියේ අපට මහත් ලෙන්ගතුව සිටි විජය අප
අතහැර ගිය දවස වූයේ අප රාජකාරිවල නිරතව සිටි දිනකදීය. දිනමිණ පත්තරයේ සිටි ඇම්. ඩී.
ධර්මසිරි දුවවිත් කෑගසා අපට පැවසුවේ විජය කුමාරතුංගයන් වෙඩි තබා මරා දමා ඇති
ආ රංචියයි.
උන් හිටි තැන්ද අමතක වූ මම හඬා වැටුණෙමි. සියලු දුක් වේදනා විඳ දරා
ගනිමින් ඔහු වෙනුවෙන් විශේෂ සරසවිය පත්තරයක් සැලසුම් විණි. එය පසුදා අලෙවි වූයේ උණු
කැවුම් ලෙසිනි.
සුනිල් හොරේෂස් නම් වූ මගේ ආදරණිය ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සගයා අකාලයේ රිය අනතුරකින් අප
අතහැර ගිය දිනය ද මට මහත් කම්පාවක් ඇති කළ සිද්ධියක් විය. කිසිම ඥාතියකු නොසිටි
සුනිල් හොරේෂස් සිනමා මාධ්‍ය කලාවේ අති දක්ෂයකු විය.
ඔහුගේ අභාවයෙන් පසු මම ඔහු
වෙනුවෙන් සත් දිනකින් දානයක් ප්‍රීතිපුර ළමා නිවාසයට දෙනු ලැබුවේ ඔහු සතු ගුණ
යහපත්කම නිසාමය. තෙවන වරටත් මා සිත කම්පා කරනු ලැබුවේ සරසවියේ සුසිල් ගුණරත්නයන්ගේ
හදිසියේ වියෝව සැලවීමත් සමඟය. ටටා බායි දීප්ති කියා බ්‍රීෆ් කේසය රැගෙන සරසවියේ
සහෘදයන්ට පවසා සඳුදා නැවත හමුවෙමු කියා සරසවියේ පඩි පෙළ බැස ගිය සුසිල් ගුණරත්න ආයේ
කෙදිනකවත් සරසවියට ගොඩ වැදුණේ නැත. ඒ හදිසි හෘදයාබාධයත් සමඟය.
මීට වසර තිහකට පෙරාතුව ලේක්හවුස් රැකියාවට පැමිණි මම එයින් පුරා වසර විසි පහක්ම
සරසවිය මෑණියන්ගේ ඇකයේ සිට පුවත්පත් කලාවේ සියලු අංශයන් තරණය කොට පත්තරවල මුල්
පුටුව හොබවන්නට වාසනාවන්ත වූවෙමි.
සරසවිය පුවත්පතේ ප්‍රථම හා එකම කාන්තා කර්තෘවරිය වීමට පමණක් නොව ලංකාවේ සිනමා
පුවත්පතක ප්‍රථම හා එකම කර්තෘවරිය වීමේ සුවිශේෂීී භාග්‍යය ද මට හිමි වූයේ සරසවියට
පින්සිදු වන්නටය.
මගේ ජීවිතයේ සුවිශේෂ වූ භාග්‍යයන් රැසක්ම ලබා දුන් සරසවිය සිය
අභිමානවත් ගමන් මෙඟ් පනස් වන වසරට පිය මැන ඇත්තේය. සරසවියේ වයසින් හරි අඩක් මට එහි
ගත කිරීමට මා වාසනාවන්ත වීම ගැන මට ඇත්තේද මහත් වු අඩම්බරයකි. කලා ලොවේ අභිමානය වූ
සරසවිය තවත් චිරාත් කාලයක් කලා ක්ෂේත්‍රයට සරසවියක්ම වේවා!
චන්දන දයාසිරිවර්ධන
ඡායාරූපය - උපාලි ෆොන්සේකා
|