වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සත්වැනි කලාව, පැපරාසි සහ සරසවිය

සත්වැනි කලාව, පැපරාසි සහ සරසවිය

සිනමාව පිළිබඳ මගේ ආදරය උපන්නේ කවදාදැයි මා දන්නේ නැත.එහෙත් පවුලේ එකම දරුවා නිසා දෝ මගෙ හුදකලා ජිවිතයට මහත් අස්වැසිල්ලක් වූයේ අති දැවැන්ත සිනමා රූපයන්ය. අදටත් මිතුරු සමාජයක ඇලී ගැලෙන්නට වඩා මගේ මනාපය හිමිවනුයේ අඳුරු සිනමාහලකට වී එහි එන මායා ලෝකයට පිවිසෙන්නටය. මා පාසල් යන අවදියේ සිතා සිටියේ සිනමා පුවත්පත් කලාවේදියකු වන්නට නොවේ.සිනමාකරුවකු වන්නටය. එහෙත් අසීමිත චිත්‍රපට නරඹන්නටත් ඒ පිළිබඳ තොරතුරු සොයන්නටත් මා තුළ ඇති නොතිත් ආසාව මා සිනමා පුවත්පත් කලාවේදියකු බවට පත් කළේය.

සිනමා පුවත්පත් බිහි වූයේ ඇයි ? එය කාවෙනුවෙන් ද ? මේ වූ කලී අපූරු ප්‍රශ්නයකි.ඇතැම් සිනමා පුවත්පතක් බිහි වනුයේ සිනමා රසිකයන් වෙනුවෙනි. ෆිල්ම්ෆෙයාර් වැනි සඟරා ඉලක්ක ගතවනුයේ රසිකයන්ය.අමෙරිකන් සිනෙමටොග්‍රැෆර් වැනි සඟරා අයත් වනුයේ සිනමාකරුවන්ට මෙන්ම සිනමාව හදාරන්නන්ටය. එහෙත් සරසවිය අයත්වනුයේ කාට ද? මේ සියල්ලන්ටය.එහි සිනමාව පමණක් නොව විවිධ කලාවන්ට ඉඩ ඇත්තේය.

සිනමා කලාකරුවන් එය අපේ පත්තරය යැයි කියද්දී සෙසු කලාකරුවන් ද එය අපේ පත්තරයැයි කියා අයිතිවාසිකම් කියති.වසර පනහක් එය හා බැඳුණු පාඨකයන් එය ඔවුන්ගේ පත්තරයකැයි කියති.මේ ආකාරයෙන් විවිධ කලාකරුවන් විවිධ ආකාරයෙන් අයිතිවාසිකම් කියන එමෙන්ම එසේ සියල්ලනටම අයිතියක් ඇති සරසවිය වර්ගයේ පුවත්පතක් ලොව කොහේ හෝ ඇත්දැයි සොයා බලන ලෙස මම ඉල්ලා සිටිමි.

මිනිස් වර්ගයා අනුන්ගේ තොරතුරුනොසොයා නොබලන්නට ලෝකය මෙතරම් දුර ගමනක් නොයනු ඇති වග මම විශ්වාස කරමි.සුප්‍රසිද්ධ මිනිසුන්ගේ ජිවිත පිළිබඳ විමසා බැලීම එහි එක් අංගයකි.ඒ අවශ්‍යතාව මත සන්නිවේදනය පුළුල්වූ අතර ඒ මත දැනුම ද ගලා ගියේය. එහි එක් කෙළවරක් වනුයේ මිනිසුන් පිළිබඳ රහස් දැක තිබූ ආසාවය. ශත වසර ගණනාවකට එපිට ලෝකය වඩා පටු එකක්ව තිබිය දී මේ ඕපාදූප දැන ගැනීමේ අවශ්‍යතාව ට ද සීමා මායිම් තිබිණ.

එමෙන්ම දැන ගත යුතු ලෝකයට ද සීමාවන් තිබිණ. ජනප්‍රිය චරිතයන්ගේ රහස් තොරතුරු අතර වඩාත් ඉල්ලුමක් ඇත්තේ නළු නිළියන්ටය. ඒ ඔවුන් සාමාන්‍ය මිනිසුන් අතර අසාමාන්‍ය මිනිසුන් කොටසක් ලෙස සලකන බැවිනි.සිනමා නළු නිළියන් බිහි වන්නට පෙර ද නළු නිළියන්ගේ තොරතුරු දැන ගැනීමේ දැඩි ආසාවක් මිනිසුන් ට පැවැති වග අතීතය සොයා බලද්දී පෙනෙන කරුණකි.නළු නිළියන් කෙරෙහි රසිකයන්ගේ ආදරය ඇති වූයේ චිත්‍රපට බිහි වන්නටත් කලින්ය. අපේ රටේ පවා ඇතැම් ටවර් හෝල් නළු නිළියන්ගේ ගෙවල් අබියස ඔවුන් දකින තුරු බලා සිටි රසිකරසිකාවියන් විරළ නොවුණ වග පැරැන්නෝ කියති.

සිනමාව බිහි වන්නට පෙරාතුව බිහි වූ අමෙරිකානු සංගීත නාට්‍යයන්ගේ නළුනිළියන් පිළිපඳ ඇතැම් ඕපාදූප එරට පුවත්පත් වල පළ විය.සිනමාව වඩා පුළුල් ලෙස පැතිර යද්දි සිනමා නළු නිළියන් ඒ සියල්ල අබිබවා ඉදිරියට ගියහ.සිනමාව ව්‍යාප්ත විමත් සමග එහි වූ ජීවමාන රූප පිළිබඳ ඇති වූ පුදුම සහගත හැඟීම අනුක්‍රමයෙන් මැකී යාමත් එයටත් වඩා එමගින් වඩා හොදින් කතා කියන්නට හැකි බව අවබෝධ කර ගැන්මත් සමග සිනමා නළු නිළියන් බිහි වන්නට පටන්ගත්හ. එමෙන්ම ඔවුන් එක රැයකින් රට පුරා පැතිර ගියහ. සාමාන්‍ය මිනිසුන් මෙන් නොව ඔවුන්ට සිය දහස් ගණනක් හමුවේ හෝ සටන් කළ හැක. ආදරය පාන්නට හැක. ඔවුන් එබැවින් අලුත් මිනිස් කොට්ටාශයක් බඳු විය.එබැවින් ඔවුන් කන බොන අඳීන පලඳීන ආකාරය දැක ගන්නට සෙසු මිනිසුන් ගේ වුවමනාවක් තිබීම පුදුමයක් නොවේ. ඔවුන් ගැන දැන ගන්නට තිබුණ ඉල්ලුම ඉතා ඉහළ එකක් විය.

සිනමා තරු බිහිවීමත් සමග සිනමා පත්තර කලාවක් බිහිවනුයේ ද ඒ මුල් අවශ්‍යතාව නිසාමය.මේ අවශ්‍යතාව වටහා ගත් බොහෝ රටවල මුලින් සිදුවූයේ ජාතික පුවත්පතක ඉඩක් වෙන්වීමය.පසුව එයට ඇති ඉල්ලුම සමග සිනමාව වෙනුවෙන් වෙනමම පත්තර කලාවක් බිහි විය. එය වෙනත් වෘත්තිකයන් සඳහා වෙන් වූ පුවත්පත් වලට වඩා වෙනස් එකක් විය.

ලෝක සිනමාව කතා කියන්නට පටන් ගනිද්දී එයට දායක වූ නළු නිළියන්ගේ නම් හෙළි කිරීමට ඒවායේ නිෂ්පාදකවරු කැමැති නොවූහ.එයට හේතු වූයේ නළු නිළියන් තම නමින් ජනප්‍රිය වන විට ඔවුන් වැඩි මිලක් අය කරනු ඇතැයි ඇතිවූ සහේතුක බියයි. එබැවිනි ලොව මුල් යුගයේ සිනමා නළු නිළියන් හැඳීන්වූයේ ඒ ඒ චිත්‍රපට සමාගම් වල නම් වලිනි. පසුකලක නමින් හඳුන්වාදෙන ලද මුල් යුගයේ නිළියක වන ෆ්ලෝරන්ස් ලෝරන්ස් මුලින්ම හඳුන්වා දෙන ලද්දේ බයෝග්‍රාෆ් ගර්ල් යනුවෙනි.ඒ ඇය රඟපෑවේ ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත්ගේ බයෝග්‍රාෆ් සමාගමේ චිත්‍රපට වල පමණක් බැවිනි. එමෙන්ම තවත් පුරෝගාමි නිළියක වන මේරි පික්ෆෝඩ් හැඳීන්වූයේ ලිට්ල් මේරි යනුවෙනි.

1914 වසර පමණ වන විට හොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් වූ ලුවී.බී.මේයර්,අර්වින් තැල්බර්ග් විසින් චිත්‍රපට නළු නිළියන් ඔවුන්ගේ නම් වලින් හෙළිදරව් කරමින් තරු සංකල්පය ගොඩ නැගීමත් සමග නළු නිළියන් ගේ මිල ද ඉහළ ගියේය. එපමනක් නොව ඔවුන් පිළිබද තොරතුරු දැන ගැනීමේ රුචිකත්වය ද ඉහළ ගියේය.සමාගම් මගින් ඒ සඳහා ඉල්ලුමක් ද ඇති කළේය.සිනමා තරු යනු ඉහළ ජනප්‍රියත්වය මෙන්ම කුසලතාවන්ද දෝතින් දරන්නෝ වූහ. සාමාන්‍ය මිනිසුන් අතර අසාමාන්‍ය හැකියාවෙන් පෙලෙන්නන් ලෙස බැලූ බැල්මට පෙනෙන ඔවුන් පිළිබඳ තොරතුරු වලට ඉහළ ඉල්ලුමක් පැවතීම පුදුමයක් නොවේ.

මුල් වරට සිනමා සඟරා එළිදකිනුයේ මේ මිනිස් අවශ්‍යතාව වටහා ගෙන එයට සරිලන්නටය.1910 වසරේ අමෙරිකාවේ බිහි වූ මොෂන් පික්චර් ස්ටෝරි සඟරාව මේ ආකාරයෙන් එළි දුටු මුල්ම සිනමා සඟරාව ලෙස සැලකිය හැක්කේය.එහෙත් වඩාත් මේ සංකල්පය එළි දුටුවේ 1912 වසරේ දී එළි දුටු ෆොටෝ ප්ලේ සඟරාව සමගය. එහි වඩා ඇතුළත් වූයේ ඒ යුගයේ ජනප්‍රිය සිනමා නළු නිළියන්ගේ රූපයන්ය. ඒ සිනමා තාරකා සංකල්පය බිහි වන්නට විළිලන කාලයයි. මේ කාලයේ සිනමා කෘතින් පිළිබඳ විචාර ද පළ වන්නට පටන් ගෙන තිබිණ.

එක් අතකින් හොලිවුඩ් මුල් කර ගත් සිනමාව තාරකා සංකල්පය එළි දක්වද්දී ප්‍රංශය කේන්ද්‍ර කර ගත් සිනමාව විචාරක කලාවකට මුල පිරුවේය. 1912 වසරේ දී ඉතාලි විද්වතකු වන රිකියොට්යේ කැනුඩෝ විසින් සිනමාව යනු ලොව සත් වැනි කලාවයැයි හඳුන්වා දීමත් සමග මේ විචාර කලාවට මුල පිරුණි. 1920 පමණ වන විට සිනමා සඟරාවන් මගින් සිනමා තරු පිළිබඳ ඕපාදූපයන්ට වඩා වැඩි යමක් බලාපොරොත්තු වන පාඨක පිරිසක් ද එසේ ලියන ලේඛක පිරිසක් ද බිහි වෙමින් පැවතිණ.එම වසරේ එළි දුටු බොක්ස් ඔෆිස් සඟරාව මෙන්ම අමෙරිකන් සිනෙමටෝග්‍රැෆර් සඟරාව ද මේ ඉතිහාසයේ වැදගත් ලකුණු වෙයි.

අද දක්වා පවත්වා ගෙන යන ලොව පැරණිතම සිනමා සඟරාව වනුයේ ද අමෙරිකන් සිනෙමටෝග්‍රාෆ් ය. 1932 වසරේ දී බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය මගින් ආරම්භ කරන ලද සයිට් ඇන්ඩ් සවුන්ඩ් සඟරාව තරම් ලොව පුරා විශිෂ්ට සිනමාවක් ප්‍රාර්ථනා කළ සිනමාකරුවන්ගේ සහ රසිකයන්ගේ ආදරයට ලක් වූ වෙනත් සඟරාවක් නැති තරම්ය.එය ලොව පුරා විවිධ රටවල තරුණ සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ ලෝකයට හඳුන්වා දුන්නා පමණක් නොව ලොව පුරා සිනමා විචාරකරණයේ ද ඉමහත් බලපෑමක් කිරීමට සමත් වූයේය. දස වසරකට වරක් පිළිගත් සිනමාකරුවන් සහ විචාරකයන්ගේ ඡන්දයෙන් ලෝකයේ බිහි වූ හොඳම චිත්‍රපට දහය කුමක්දැයි විමසා බලන මත විමසුම ලොව සමකාලීන සිනමාකරුවන් හා විචාරකයන් ඒ ඒ වකවානුවල දී සිනමාව පිළිබඳ සිතන පතන ආකාරය කුමක්දැයි විමසා බලන කැඩපතක් වැන්න. අන්තර්ජාලය බිහි වන තුරුම හුදකලාව සිට ලොව පුරා සිනමා කෘතින් පිලිබද විමසා බැලූ මා වැන්නන්ගේ ආදරය දිනා ගත්තේ සයිට් ඇන්ඩ් සවුන්ඩ් සඟරාවයි. එය ලෝක සිනමාව පිළිබද එබී බැලීමට අපට තිබූ එකම කවුළුවයි.

මේ ඇතැම් සිනමා සඟරා ලෝකයේ සිනමා විචාර මතවාද වලට පමණක් නොව ඒ ඒ රටවල දේශපාලනයට ද එබිකම් කළේය.දෙවන ලෝක මහා යුද්ධය කෙළවර බිහි වූ ඉතාලි නවතාත්වික වාදයට මග පෑදුවේ එරට බිහි වූ සිනමා නම් සඟරාවයි. පුදුමය නම් එහි සංස්කාරකවරයා වූයේ විට්ටෝරියෝ මුසොලිනි වීමයි. ඔහු ඉතාලි ආඥාදායක බෙනිටෝ මුසොලිනි ගේ පුත්‍රයාය. ප්‍රංශ සිනමා න්‍යයාචාර්ය ආන්ද්‍රේ බසීන්ගේ සංස්කරණයෙන් බිහිවූ කැහියා ඩු සිනමා සඟරාව 1960 මුල දී ලොව පුරා මහත් තරුණ සිනමාකරුවනට ආශ්වාදයක් ගෙන දුන් ප්‍රංශ නවරැල්ලට මග පෑදුවේය. ඉන් වසර ගණනාවකට පසු ප්‍රංශ ජනාධිපති චාර්ල්ස් ඩිගොල් ට එරෙහි කැරලිකාර තරුණයන්ට ආශ්වාදයක් ගෙන දුන්නේ ද කැහියා ඩු සිනමා සඟරාවයි. සයිට් ඇන්ඩ් සවුන්ඩ්,සිනමා,කැහියා ඩු සිනමා වැනි තරුණ සිනමාකරුවන්ගේ සිනමා ප්‍රකාශන හැට හැත්තෑව දශකයේ ලොව පුරා බහුල වූයේය.

ආසියානු කලාපයේ බොහෝ සිනමා පත්තරවලට මග පෑදෙන්නේ එහි සිනමාවනට බලපෑම් කළ ඉන්දියානු ආකෘතිය විම වැදගත් කරුණකි.ඉන්දියානු මුල්ම සිනමා සඟරාව 1920 වසරේ කල්කටාවේ දි බිහිවිණ. ඒ බෙංගාලි බසින් ප්‍රකාශයට පත් වුන බිජෝලි නම් සඟරාවයි.එහෙත් ඉන්දියානු සිනමා සඟරාවේ හැඩතළ නිර්මාණය කරන ලද්දේ ඉන්දියාවේ ද ටෛම්ස් ගෲෆ් මගින් ප්‍රකාශයට පත් කරන ලද ෆිල්ම්ෆෙයාර් සඟරාවයි.1951 වසරේ දී මුල් වරට එළි දුටු ෆිල්ම්ෆෙයාර් සඟරාව 2005 වසරේ දී වෙනත් සමාගමක අයිතියට පවරන තුරුම ප්‍රකාශයට පත් කරන ලද්දේ ටෛම්ස් ගෘෆ් මගිනි.ඉන්දියානු තරු සංකල්පයට රුකුලක් වූ සිනමා සම්මාන උළෙල එහි හැඩය වැඩි කළේය.

හොලිවුඩ් හි ඇකඩමි සම්මාන උළෙල ලෝකයේ කෙතරම් ජනප්‍රිය ද ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඉන්දියානු කලාපය පුරා එතරම්ම ජනප්‍රියය.ජනප්‍රිය ඕපාදූප වලින් පිරි ෆිල්ම්ෆෙයාර් වර්ගයේ සිනමා සඟරා පසුකාලින ව ඉන්දියාව පුරා එළි දුටුව ද ඒ එකකටවත් ෆිල්ම්ෆෙයාර් අබිබවා යන්නට නොහැකි විය.ඉන්දියානු සිනමා සඟරා බහුතර ය සිය සිනමා නළු නිළියන් පිළිබඳ දේවත්වය ආරූඩ කරමින් ප්‍රතිරූප මවන්නට ද එමෙන්ම හිටි අඩියේ ඔවුන්ගේ සළු පිළි ප්‍රසිද්ධියේ උනා දමන්නට ද සමත්ය. එය වඩා තරගකාරි ලෝකයක පාඨතයන් දිනා ගන්න පහසුම ක්‍රමයයැයි ඔවුහු සිතති.

මෙලෙස ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අප්‍රසිද්ධ ජීවිතය එළි දරවු කරන පුවත්පත් කලාවේදින් හඳුන්වා දෙනු ලබනුයේ පැපරාසි යන නමිනි.බ්‍රිතාන්‍ය ඩයනා කුමරියගේත් ඇයගේ පෙම්වතා වූ චැරියට්ස් ඔෆ් ෆයර්, චිත්‍රපටයේ නිෂ්පාදක ඩොඩී අල් ෆයේඩ් ගේ මරණයත් සමග පැපරාසි නම ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුව ද පැපරාසි යන නම ඇතිවනුයේ හැට දශකයේ චිත්‍රපට චරිතයකින් විම විශේෂයකි. ඒ ඉතාලි සිනමාකරු ෆෙඩ්රිකෝ ෆෙලිනිගේ ල ඩොල්ස් විටා චිත්‍රපටයේ එන අනුන්ගේ ඕපාදූප සොයන කැමරා ශිල්පියාගේ නමයි. එහෙත් මේ පැපරාසි පත්‍ර කලාව වඩා හොඳීන් සිනමාව අරබයා ප්‍රයෝජනයට ගත්තේ ඉන්දියානු සිනමා පත්තර කලාවයි. හතළිහ දශකයේ අතිශය ජනප්‍රිය දෙමළ නළුවකු වූ ත්‍යාගරාජ් භගවතාර් අතින් ලක්ෂ්මිකාන්ත් නම් මාධ්‍යවේදියා මිය ගියේ ද මෙබඳු පත්තර කලාවක් හේතුවෙනි.කෙසේ වෙතත් පැපරාසි සිනමා පත්තර කලාව යනු දීර්ඝ අනාගතයක් සහිත එකක් නොවේ.

මෙරට සරසවිය බිහිවීමට මත්තෙන් බිහි වූ පුවත්පත් බහුතරය පැපරාසි පත්තර කලාවක් නොවුවත් එහි බහුතරයන් පිරි තිබුණේ හුදු නීරස කතාවලිනි.එහෙත් 1962 වසරේ ආතර් යූ.අමරසේනගේ සංස්කරණයෙන් බිහි වූ විසිතුර එම සම්ප්‍රදායෙන් වෙන්ව නිකුත් වූ මුල්ම පුවත්පතයි. අනතුරුව සරසවිය බිහිවනුයේ සිනමා පත්තරයත් හැටියට නොවේ.එහි මුල්ම කවරය සැරසෙනුයේ සිනමා තරුවක ඡායාරූපයකින් නොව ජී.එල්.ගෞතමදාසගේ චිත්‍රයකිනි. එය සරසවිය සිනමා පත්තරයක් හැටියට හංවඩු ගැසෙන්නේ සිනමා උළෙල සමගය.එහෙත් මුල් දවසේ පටන්ම සරසවිය සිනමාව හා සම්බන්ධවූයේය.ඒ එහි පළවූ විවිධ ලිපි නිසාවෙනි.සරසවිය සිනමා උළෙල ආරම්භයේ ගම් පෙරළිය චිත්‍රපටයට සම්මාන ලැබීම සරසවිය සතු ප්‍රමිතියේ මහිමය කියා පායි.

පනස් වසරක් ගෙවා සරසවිය පැරණි පුවත්පත් පිටු පිරික්සද්දී කැපී පෙනෙන දෙය නම් එය මෙරට සිනමාවට පමණක් නොව පුවත්පත් කලාවන්ට ද සම්ප්‍රදායන් ගොඩ නැගූ බවය. පසුකාලින සිනමා සම්මාන උළෙලයන් කවරක් පැවතිය ද මෙරට සිනමා සම්මානයක ප්‍රමිතිය නීර්ණය කරන ලද්දේ සරසවියට සාපේක්ෂවය.කවර සිනමා සම්මාන උළෙලක සම්මාන ලබා ගත්ත ද සරසවිය සම්මානයක් දිනා ගැනීම තරම් වටිනාකමක් නැති හැඟීමක් සිනමා කේෂත්‍රයේ ඇති වග නොරහසකි.සරසවිය සම්මතය අනුව සිනමා වෘත්තිකයන්ගේ ගරුත්වය හා පෞද්ගලිකත්වය රැක ගැනීමේ වගකීම එය සතු වෙයි.මේ නිසාම අදටත් විකිණිය හැකි ලාබ පුවතක් පළ කරන වාට වඩා සිනමාවේ ගරුත්වය ආරක්ෂා කිරීමට සරසවිය බැඳී සිටී.

එබැවින්ම සරසවිය නිර්මාතෘවරුන් විසින් එය පුවත්පත් ලෝකයේ උඩු ගං බලා යන පුවත්පතක් බවට පත් කළහ.සරසවිය ජාතික වගකීමක් ලෙස එහි කතුවරු සැලකූහ.සම්ප්‍රදායික ව්‍යාපාර ලෝකයක එය පහසු කටයුත්තක් නොවුනත් සරසවිය වසර පනහක් පවතිනුයේ ඒ ප්‍රතිපත්තියට පින්සිද්ධ වන්නටය. එමෙන්ම සම්ප්‍රදායේ ඇලී ගැලි ඉන්නට සරසවියට නොහැකිය.එය කාලය සමග වෙනස් විය.ටෙලිවිෂන් යුගය පැමිණෙද්දි සරසවිය එය සමග මිශ්‍ර විය. වචනයේ පරිසමාප්ත අර්ථය මෙන්ම එය සියලු කලාවන්ට තෝතැන්නක් විය. මෙරට සිනමා පත්තර කලාවට කෙතරම් ඉතිහාසයක් තිබුණ ද කලා සහ සරසි හැරුණු විට කිසිම සිනමා පුවත්පතක් දස වසරක් අඛණ්ඩව පළ වූයේ නැත.බොහෝ සිනමා පුවත්පත් උපන්ගෙයි ම මිය ගියේය. වඩා පහසු යැයි හැඟුනද කලා පුවත්පතක් පවත්වා ගෙන යෑම පහසු කටයුත්තක් නොවේ. සරසවිය ඒ දුෂ්කර මග ජය ගත්තේය.

පසුගිය දශකයේ දී තොරතුරු තාක්ෂණ සම්ප්‍රදායන් උඩු යටිකුරු වීම වඩාත් දැනුනේ ලෝකයේ සිනමා පත්තර කලාවටය. එහි ඕපාදූප කොටස අන්තර්ජාලය සහ ක්ෂණික පුවත් සේවාවන් ඩැහැ ගත්තේය. පිටු පෙරළමින් කල් මරනවාට වඩා දුරකථනයෙන් පත්තර කියැවීමේ කලාවක් ලොවට පිවිසියේය. නිව්ස්වීක් වැනි දැවැන්ත සඟරාවක් මුද්‍රිත ලෝකයෙන් සමු ගත්තේද ෆිල්ම්ෆෙයාර් සඟරාවේ අයිතිය හුවමාරුවූයේ ද එබැවිනි.ඇත්තද යනුවෙන් අසා කටකතා බවට පත්වන තොරතුරක් සැනින් කාටත් දැක ගන්නට කල් ගත නොවේ.ප්‍රවෘත්ති සපයන්නා බවට පත්ව ඇත්තේ වෙනදා එහි ග්‍රාහකයායය.

සඟරා සොයමින් සිනමාව අඳුරේ අත පත ගෑ පරම්පරාවට ලොව පුරා බිහි වන අලුත් චිත්‍රපට දකින්නට හැකි විය. චිත්‍රපට තනන්නට හැකි විය. චිත්‍රපට පහසුවෙන් අන්තර්ජාල හරහා මුදා හරින්නට හැකි විය.දැනුම තව දුරටත් මනසේ පුරවා ගන්නවාට වඩා ප්‍රායෝගික වීමේ යුගයක් තරුණයන් සතු විය.එම පරම්පරාවට තව දුරටත් නිර්මාණකරණයේ වාරණ වලංගු නැත. පුවත් හමුවේ මායිම් සිදුවන්නේ නැති ගාණට ලෝකය සමීප ව ඇත්තේය.සරසවිය අතීතය ඔස්සේ අනාගතය දැක ගත්තේය. එක අතකින් සතිපතා පුවත්පත ද අනිත් අතින් දිනපතා යාවත්කාලින වන අන්තර්ජාල අඩවිය ද සරසවිය අතීතයත් අනාගතයත් යා කරන්නේය.සරසවිය යනු එහි පින් බිමකි. ඒ පින්බිම සදාකල් පවතිනු ඇත්තේය. එය බිහි කොට මෙතුවක් පවත්වා ගෙන ගිය එයට සම්මාදම් වූ ලොකු කුඩා සියල්ලන්ට හිස නමා ආචාර කරන්නට මම මෙය අවස්ථාවක් කර ගනිමි.සරසවිය හැදූ වැඩූ සියල්ලට පින් සිදුවේවා.