|
මුල්ම පත්තරයේ කුරුලු උජාරුව
සුනිල් මාධව ප්‍රේමතිලක
ඒ දවස මට අද වගේ මතකයි. ඒ වන විට මගේ පියාණන් මීමන ප්‍රේමතිලක සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාය. තාත්තාට ආයතනය මඟින් අලුතින් අරඹන ලද පුවත්පතක් භාර දී තිබිණ. මා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සමු ගත්තා පමණය. තාත්තා නිසා මට ද ඒ වන විටත් පත්තර උණ වැලඳී තිබිණ. එබැවින් මම ද කුඩා කළ සිට ලේක්හවුසියට යාමට පුරුදුව සිටියෙමි.
මේ වන විට මගේ වයස අවුරුදු දහ අටක් දහ නවයක් පමණ විය. මගේ උණ නිසාම තාත්තා මට පත්තරයට ලියන්නට අවස්ථාවක් ලබා දුන්නේය. එබැවින් මම සිළුමිණට එක් වීමි. වැඩි දවසක් යන්නට මත්තෙන් තාත්තා අලුත් පත්තරයට ද ලිපියක් ලියන ලෙස ඉල්ලුවේය. මාතෘකාවක් පැවසුවේ නැත. වැඩිමනත් යමක් නොසිතා මම කුරුල්ලකු ගැන ලියා ලිපිය තාත්තාට බාර දුනිමි. ඒ දිනය මට අද වගේ මතකය. 1963. 04. 10 වැනිදාය. සිංහල අවුරුද්දත් අත ළඟය. ඒ සරසවිය පත්තරයේ උපත සිදු වූ දවසය. එදින මෙය මුල්වරට මුද්‍රණය වන බව මම දැන නොසිටියෙමි. මා සොයාගෙන පැමිණි එවක තාත්තාගේ කාර්ය සහායක ලෙස කටයුතුª කළ පියසේන අයියා මා කැඳවාගෙන ගියේ තාත්තා ළඟටය. ඒ වන විටත් ලේක්හවුස් මුද්‍රණාලය ළඟ ආයතනයේ ප්‍රධානීන් පිරී සිටියහ. සරසවියේ ෆෝමන් ලෙස කටයුතු කළ කර්තේලිස් බාස් මෙන්ම මගේ තාත්තා ද යන්ත්‍රය අසලට වී සුබ හෝරාව එනතුරු බලා සිටියේය. එස්මන්ඩ් වික්‍රමසිංහයන්, රංජිත් විජයවර්ධන ඇතුළු ආයතන ප්‍රධානීන් ඉංග්‍රිසියෙන් මොනවා දෝ කියවනවා මට යාන්තමින් මතකය. සුබ හෝරාවේ මේ ලොකු ලොක්කන් අතරින් කිසිවකුගේ අතින් රොටරි මැෂිමේ බොත්තම තදවිණි. සරසවිය කොළ අතරේ ඇදී ගොස් අනෙක් පසින් එළියට ආවේ ගෞතමදාසයන්ගේ තෙලි තු¼ඩින් ඇඳි නැට්ටුවකුගේ රුවකින් කවරය සැරසීගෙනය. කර්තේලිස් මුද්‍රණය වී ආ මුල්ම කොපිය මාගේ පියා අතට පත් කරනු මම දුටුවෙමි. එය පියාණන් විසින් සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්තරය බැගින් බෙදා දෙනු ලැබිණ. ඒ අයුරින් මුද්‍රණය වූ පුවත්පතක් මා අතට ද දුන්නේ තාත්තාය. මා එය අතට ගෙන මුල් පිටුව හොඳින් කියවා බැලූවෙමි. එහි සඳහන් වූයේ මේ අලුත්ම ලේක්හවුස් ප්‍රකාශනය පවුලේ කාටත් රස විඳීය හැකි විවිධාංගයන්ගෙන් සමන්විත කලා මංජුසාවකි යන්නය. එහි මිල සටහන් කර තිබුණේ ශත විසි පහක් ලෙසනි. පත්තරයේ සුවඳ මගේ නැහැය විදගෙන ගියේය. මම එය පෙරළුවෙමි. එහි දෙවන පිටුව දැක මම පුදුමයට පත් වූයේ එහි කුරුල්ලකුª පිළිබඳ මා පියාණන්ට ලියා දුන් ලිපිය පළ වී තිබූ බැවිනි. කුරුලු උජාරු ලෙස නම් කොට චිත්‍රයක් ද ඇතුළත් කොට පළ කර තිබූ ඒ ලිපිය මා ලියා තිබුණේ පිළිහුඩුවා ගැනය. එදා ඒ ලිපිය අදත් මට අමතක වී නොමැති තරම්ය. මම කොපමණ අමාරුවෙන්ද මගේ මේ නිල් පාට සොයා ගත්තෙ. උඩ තියෙන අහසත් නිල්, බිම තියෙන පොළොවත් නිල්. බැලු බැලු තැන නිල් පාටයි. මගෙ පාට අරගෙන ඇඳල තිබෙන පින්තූර දුටු විට මිනිසුන් රසවත් වන්නේ මොන කාරණයක් හින්දවත් නොවෙයි, ඒකෙ මගේ පාට තියෙන හින්දමයි. හැබැයි මට නම් ඒ පින්තූර පේන කොටත් තරහයි. ඒ වුණාට මගෙ ලස්සන පාට අරගෙන ඇඳල තිබෙන පොඩි පොඩි මල් කිනිති පේන කොට නම් මට සංතෝසෙ ඉන්න බැහැ. නිතරම ගලා යන දිය දහර අසලට වී මා බලා සිටින බව ඔබ දැක ඇත. ඒත් ඒ ගලා යන දිය පහරේ තිබෙන මගෙ ලස්සන නිල් පාට දෙසමයි මා බලාගෙන ඉන්නෙ. මා ගැන කවි හදන්නයි, මගෙ පින්තූර අඳීන්නයි මගේ පාට අරගෙන ලෝකය ලස්සන කරන්නයි මිනිස්සුන්ට හොඳයි. මගේ මේ පොඩ්ඩක් දිගට තිබෙන හොට ගැන නම් මහා ලොකුවට කතා කරනවා. ඒ මිනිසුන්ගේ හැටිමනෙ ඉතින්. එය තාත්තා පළ කර තිබුණේ සුනිල් ඇම්. ප්‍රේමතිලක ලියයි යනුවෙනි. මා පත්තරය පෙරළමින් එය බලද්දී තාත්තා මට කතා කළා මතකය. එතන සිටි ආයතන ප්‍රධානීන් සියල්ලන්ටම මාව පෙන්නුවේ මම ඔහුගේ ලොකු පුතා බව පවසමිනි. සරසවිය එළි දැක්වීම නිමිති කොට ඒ වෙනුවෙන් සංග්‍රහයක් ද ලක ලෑස්ති කර තිබිණි. එය භුක්ති විඳින අතරේ එවක ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා කිරිබත් සහිත ට්‍රේ එකක් අතින් ගෙන මා වෙත දිගු කළ He is a next man යනුවෙනි. එතුමන් එවැන්නක් පවසමින් අදහස් කළේ තාත්තාගෙන් පසු ඒ තැනට මා එනු ඇතැයි අදහස් කරමින්දැයි මම නොදනිමි. කෙසේ වුව ද මුල් පත්තරයේ පටන් කලාප කීපයක් මුද්‍රණය කිරීමෙන් පසු තාත්තා එය විමලසිරි පෙරේරා මහතාට භාර දුන්නේය. සිළුමිණ පමණක් කරගෙන යාමට තාත්තා බාර ගත්තේය. සරසවිය පත්තරයේ දෙවැනි කලාපය වෙනුවෙන් මා ලියනු ලැබුවේ ගිරවකු ගැනය. තාත්තා එය දෙවන කලාපයේ දහසය වන පිටුවේ පළ කළේ සුනිල් මාධව ප්‍රේමතිලක ලියයි යනුවෙනි. එදා සරසවිය මුල් කලාපයට ලියනු ලැබූවන් අද ජීවතුන් අතර සිටිනවාදැයි මම නොදනිමි. එසේ නොවුණහොත් පනස් වැනි වියට පා තබා ඇති සරසවියට ආරම්භයේ ලියූ අය අතර අද ජීවතුන් අතර ඇති එකම පුද්ගලයා මම වෙමි. |